Sunday, April 28, 2024

පාස්කු ප්‍රහාරය නොවැළැක්වීම ගැන නිලන්ත ජයවර්ධන අත්අඩංඟුවට ගන්න – අභියානාධිකරණයට පෙත්සමක්

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වලක්වා නොගැනීමට වගකිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මාර්තු 02 දා  අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය.

නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ ශැංග්‍රිලා බෝම්බයෙන් තම පුතු මිය ගිය සුරාජ් නිලංග නම් නම් පියකු විසිනි.

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට නිර්දේශ ලබාදී ඇති බවත්, පාස්කු ප්‍රහාරය ගැන පැවැති මූලික අයිතිවාසිකම් නඩුවල තීන්දුව ලබා දෙමින් මෙම ප්‍රහාරය වලක්වා නොගැනීමට නිලන්ත ජයවර්ධන වගකිව යුතු බවට තීනිදු කළ බවත් රිට් පෙත්සමේ සඳහන් වේ.

මෙම ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට අපරාධ වගකිමක් ඇතැයි ද, ඔහු ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් පොලිසියට පැමිණිලි දෙකක් යොමු කර පසුව එන්තරවාසියක් ද යොමු කළත් අපරාධ විමර්ශනයක් සිදු නොවූ බව ද පෙත්සමේ දැක්වේ.

එසේ හෙයින් අදාල පැමිණිලි විමර්ශනය කරවා අධිකරණයමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිට සහ පොලිස්පතිට නියෝග කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පෙත්සම් ගොනු කිරීම සඳහා අධිකරණයට පැමිණි සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

“පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම පිළිබඳ දීර්ඝ කාලයක සිට දැනගෙන සිටිමින්, ඔවුන් ප්‍රහාරයක් එල්ල කරන බවට 2019 අප්‍රේල් මාසයේ විදෙස් තොරතුරුකරුවන් දෙදෙනකුගෙන් ලැබුණු බුද්ධි තොරතුරුවලට නිසි ප්‍රමුඛස්ථානයක් නොදී කටයුතු කිරීම නිසා අප්‍රේල් 19 වැනිදා ලංකාවේ ස්ථාන කිහිපයක බෝම්බ පිපිරීම් සිදුවී පුද්ගලයෝ 267ක් තුවාල වුණා.. තවත් 400කට වැඩි පිරිසක් බරපතල තුවාල ලැබවා. ඒ අනුව මේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතාට අපරාධ වගකීමක් තිබෙන බැවින් විමර්ශනයක් සිදු කර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් අදාල සාක්කිද සමග පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් සිදු කළත් එම පැමිණිලිවලට අදාලව කිසිම විමර්ශනයක් සිදුවුණෙ නෑ. පැමිණිලි විමර්ශනය නොකිරීම ගැන පොලිස්පතිට නීතිඥවරයකු මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කළත් ඊට ද කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. ඒ අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා මෙම රිට් පෙත්සම ගොනු කිරීමට අපට සිදු වුණා.

මෙම ප්‍රහාරය මෙහෙයවූයේ කවුරුන්ද යන්න ගැන මේ වන විට සමාජයේ විශාල සාකච්ඡාවක් තියනව⁣. එවැනි තත්ත්වයක ප්‍රහාරය වලක්වා නොගැනීම සිදුවන්නේ ද පාස්කු ප්‍රහාරය මෙහෙයවූවන්ගේ බලපෑමක් මතද එසේ නැතිනම් ප්‍රහාරයට සහායක් ලබාදීමේ අරමුණෙන්ද යන්න බරපතල සැකයට තුඩුදෙන කරුණක්. මෙම ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ වීම සඳහා පමණක් නෙමේ මෙවැනි ම්ලේච්ඡ ඝාතන නැවත සිදු වීම වලක්වා ගැනීම සඳහාත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. මෙය සංවිධානවල හෝ පුද්ගලයන්ගේ බලපෑම් මත සිදු කළ යුත්තක් නෙමේ. හරිනම් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන ස්වේච්ඡාවෙන්ම විමර්ශන කළ යුතුයි. පොලිසිය තම ව්‍යවස්ථාපිත වගකීම ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස පොලිසියට එරෙහිව නියෝගයක් ගැනීම සඳහා පුරවැසියන් ලෙස අපට අධිකරණයේ පිහිට පැතීමට සිදුවෙලා තියනවා.”

නඩුව ⁣ගොනු කිරීම සඳහා නීතිඥ සු⁣⁣රේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂාක⁣⁣ා කු⁣⁣රේ ඇතුළු නීතිඥවරු පිරිසක්ද, සමාජ ක්‍රියාකාරිකයෝ පිරිසක් ද පැමිණ සිටියහ.

( වට්ස් ඇප් සටහනකි)

Archive

Latest news

Related news