Sunday, April 28, 2024

ලංකාව අසම-සම වන නරකාදි වධක ලකුණු එකින් එක! – සුනන්ද දේශප්‍රිය

පාරාදීසය, ලෝකයේ උතුම් ම රට  යනාදී සරු පිත්තල කතා වලින් සරසා ඇති වත්මන් ලංකාව ලෝකයේ අසම-සම රටකි. ඒ මෙන්න මේ නිසාය.

සිය ඡන්ද ගණනවත් නොදන්න ජනාධිපති

  1. රටේ අධි බල විධායක ජනාධිපති රනිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයකින් හෝ තේරී පත් නොවූ අයෙකු නිසාය. කොළඹ දිසාවට තරඟ කළ ඔහු ලද මනාප ජන්ද සංඛ්‍යාව ගණන් නොකරන තරමට ඔහුගේ පක්ෂය දෙකේ කොළයට වැටී තිබුණි. ඔහුවත් ඔහු ලද ඡන්ද ප්‍රමාණය නොදනී.

රට කෑ ජනාධිපතිවරුන්ගේ රජ සැප

2. රට බංකොලොත් බවට ඇද දැමූ  හිටපු ජනාධිපතිවරුන් පස් දෙනෙකු වෙනුවෙන් මසකට රුපියල් 3,715,00 ක් වැය කරන නිසාය. මේ රජයට අයත් ලබා දී ඇති බංගලා අතහැරය. ඉන් හතර දෙනෙකුම ( හේමා ප්‍රේමදාස හැර) මූලික අයිතීන් කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලබා ඇති නිසාය. මොවුන්ගේ ඉන්ධන දීමනා පමණක් ලක්ෂ පහ ඉක්මවන නිසාය. 2024 වෙන්වෙන් පමනක් මහජන මුදල් මිලියන 110ක් මෙම අපරාධකරුවන්ට වැය කරන නිසාය.

3. ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරදිකරුවන් කරන ලද, හිරගෙදර කල්දේරම් බත් වැළදිය යුතු අයිය මලේ ජනාධිපතිවරු දෙදෙනෙකුටද එලෙස අසිරිමත් ලංකාවේ මහජන මුදලින් විශ්‍රාම වැටුප්, බංගලා, යාන වාහන ඇතුලු වරදාන දිගටම ගෙවමින් තිබෙන නිසාය.  ඒ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂය. රට ආර්ථික ප්‍රපාතයට ඇදැ දැමූ ආර්ථීක අපරාධකරු මහින්ද රාජපක්ෂ තවමත් පක්ෂයක නායකයෙකි.

4. සිර ගෙදර සිටිය යුතු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කර රුපියල් මිලියන 100ක දඩයක් නියම කරන ලද තවත් හිටපු ජනාධිපතිවරයකු ද මහජන මුදලින් සියලු ගේ වරදාන භුක්ති විදිමින් සිටින නිසාය.  මෙම අපරාධ සහායක මෛත්‍රීපාල සිරිසේන වරදකරු වූයේ 2019 අප්‍රේල් 21 දින සිදුවූ සමූහ ඝාතක පාස්කු ඉරිදා ප්‍රහාරයන් වැලැක්වීමට ගතහැකිව තිබූ පියවර නොගැනීම සම්බන්ධයෙනි. ඔහු ද තවමත් පක්ෂ නායකයකු වන අතර වාචාල පාර්ලිමේන්තු   මංත්‍රීවරයකුද වේ.

5. එම සිරිසේනම තමන් යටතේ වූ තිබූ අමාත්‍ය මණ්ඩලය ලවා, ජනාධිපති ධුරය හැර යාමෙන් පසු ද සුවිසල් ජනාධිපති නිල නිවස සිය විශ්‍රාමික පදිංචියට ලියා ගත් නිසාය. මහජන විවේචන නෙසළකා  ශ්‍රේෂ්ධාධිකරණය එම නිවසින් එළියට දමන තුරුම මෙරට ඉහලම දේශපාලන තනතුර දැරූ සිරිසේන එහි ලැග සිටි නිසාය.

ත්‍රස්තවාදයට පණ පෙවූ පොලිස් ඇමති

6. සිර ගෙදර සිටිය යුතු පුද්ගලයකු රටෙහි වැදගත්ම ඇමති ධූරයක් වන මහජන ආරක්ෂක ඇමැතිවරයා වන නිසාය. ටිරන් අලස් මේ පුද්ගලයා ඔහු විසින්ම පිළිගත් පරිදි ජන ඝාතක එල්ටීටීඊ සංවිධානයට බොට්ටු ගැනීමට බැසිල් රාජපක්ෂ රුපියල් මිලියන 180ක්  ලබා දුන්නේ ඔහුගේ කාර්යාලයේ දී ය. එම මුදල දුන්නේ අලස් විසින් හදුන්වා දෙන ලද ඔහුගේ මිතුරකු වූ එමිල් කාන්තන්ටය. එනයින් අලස් ද අපරාධ සහායකයෙක් වන නිසාය. මෙවැනි චෝදනා ඇති සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට මඟ සැලසූ පුද්ගලයකු මහජන ආරක්ෂාව බාරව සිටින එකම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රට ලංකාවය වන නිසාය.

7. මෙම පොලිස් ඇමතිම සතුව බදු නොගෙවන අක්වෙරළ සමාගම් දෙකක් ඇති බව ද එම මුදල් යොදවා මිලදී ගන්නා ලද ලංඩන් නගරයේ නිවාස දෙකක් ඔහු සතු බව පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළි කළ නිසාය. රටෙහි නීතිය සහ සාමය පවත්වා ගෙන යාමේ වගකීම සතු මෙම ඇමතිවරයා ඔහු සතු අක්වෙරළ සමාගම් සහ ලංඩනයේ නිවාස සම්බන්ධයෙන් ජනමාධ්‍ය විමසූ විට ප්‍රතිචාරයක් දැක්වූයේ නැති නිසාය. මෙම වත්කම් ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වත්කම් ප්‍රකාශනයෙහි දක්වා නැති නිසාය. මෙම අපරාධ සම්බන්ධයෙන් ඔහු නිරපේක්ෂ මුක්තියක් බුක්ති විදින නිසාය.

පොලිස් ඇමතිගේ වධක පොලිසිය

8. වධහිංසා සහ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සිර ගෙදර සිටිය යුතු දඩුවම් ලද වධකයකු රටෙහි නීතිය සහ සාමය පවත්වා ගතයුතු පොලිස් සේවයේ ප්‍රධානියා වන පොලිස්පති ධූරය දරණ නිසාය. දේශබන්දු තෙන්නකොන්ය.  මෙම පොලිස්පති සැකකරුවන්ගේ නිරුවත බලමින්  ඔවුන්ට කසයකින් පහර දී තෘප්තියට පත් ලිංගික වධකයකු නිසාය. එම සැකකරුවන්ගේ ලිංගෙන්ද්‍රියන්හි සිද්ධාලේප ගලවන ලද දුෂ්ඨයකු වන නිසාය. එම අපරාධය වෙනුවෙන් ලක්ෂ පහක වන්දියක්ද නීතිමය පියවරද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද නිසාය. වධකයකු පොලිස්පතිවී සිටින එකම රට මෙය නිසාය.

9. පෙර කී දූෂිත පොලිස් ඇමතිවරයාගේ පොලිස් සේවයේ දෙවැනියා ලෙස පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු  කර රුපියල් මිලියන 75ක් දඩයක් නියම කල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත් කර ගෙන සිටින නිසාය.

10. එකී ඇමැතිවරයා විසින්ම මෙරට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවෙහි ප්‍රධානියා ලෙස පත් කර ගෙන ඇත්තේ පොලිස් දෙපාර්ථමෙන්තුවෙහිම පරීක්ෂණයක් මගින් දූෂනයක් සම්බන්ධයෙන් වරදකරු කරන ලද තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නිසාය.

දඩුවම් නියම වූ හොරක් පාර්ලිමෙන්තුවේ සභානායක

11. රුපියල් මිලියන 45ක වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය විසින් වරද කරු කරන ලද ජනාධිපතිවරයාගේ ප්‍රධාන අධාරකරුවකු වන පුද්ගලයකු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමෙන්තු සංවිධායක වන නිසාය. ඇමැති ප්‍රසන්න රණතුංගය. (ඔහු එම තීන්දුවට විරුද්ධව අභියාචනා කර තිබේ.) වෙනත් රටවල අභියාචනාධිකරණ තීන්දු එනතුරු අපරාධකරුවන් දේශපාලනයෙන් සමු ගෙන සිටින නමුත් මෙම පුද්ගලයා තවමත් දේශපාලන ගණංකාරයෙක් වන නිසාය.

ඝාතනයකට සිරගෙට ගිය බන්ධනාගාර ඇමති

12. සිර ගෙදර සිටිය යුතු, බීමතින් බන්ධනාගාර දෙකකට අනීතිකව ඇතුලු වී දෙමළ ජාතික සැකකරුවන් ඝාතනය කරනන්ට පිස්තෝලය ඇදගත් ඇමතියකු තවමත් ඇමැතියකුම වී සිටින නිසාය. කර්මාන්ත රාජ්‍ය ඇමති ඒ ලොහාන් රත්වත්තේය.ඒ බනධානාගාර රාජ්‍ය ඇමතිව සිටි කාලයෙහිය. බීමතින් බන්ධනාගාරය දෙකකට අනීතිකව ඇතුලු වී ඝාතනය සැකකරුවන් කරන බවට  තර්ජනය කළේය. මෙම සිදුවීම පිළිබඳව හිටපු විනිසුරුවරියක කරන ලද පරීක්ෂන වාර්තාව අනුව ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතු වුවද ඒ වෙනුවට යළිත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා දී තිබෙන නිසාය. මෙම අපරාධකරු මහජන මුදලින් යැපෙන නිසාය.

13. ජපන් රජය විසින්  අල්ලස් ඉල්ලා සිට බවට චෝදනා කළ පුද්ගලයකු අසිරිමත් රටේ ප්‍රවාහන ඇමතිව සිටින නිසාය. ඒ නිමල් සිරිපාල ද සිල්වාය. රෙදි නැතිව දිවීමට සමත් සිරිපාල 2005 සිට පත් වූ සෑම ආණ්ඩුවක් යටතේම ඇමැතිකම් දරා ඇති බල්ටි චෑම්ප් කෙනෙකු වන නිසාය.

පවුලට මහජන මුදලින් සතපවන කතානායක

14. පාර්ලිමේන්තුවෙහි ආදර්ශමත් ධුරයක් විය යුතු කතානායක ධූරයට අනීතික පියවර ගැන චෝදනා පිට චෝදනා එන නිසාය. කතානායක ඥති සංග්‍රහයේ මුදුන් පෙත්තටම ගොස් පවුලේ සිව් දෙනෙකුටම සිය දූරය යටතේ රැකියා දී මහජන මුදලින් සතපවන නිසාය.

ජනාධිපති ගජයාගේ සිට ආර්තික ඝාතකයෝ

15. ජනාධිපති රනිල් රාජපක්ෂගේ සමීපතමයකු වන බැඳුම්කර මංකොල්ලයේ මහමොළකරු අර්ජූන් මහේන්ද්‍රන්ට දඩුවම් පැමිණවීමට ගත් පියවරක් නැති නිසාය. මහ බැංකුව යටතේ පවත්නා වැඩකරන ජනයාගේ ඉතුරුම් ගිනුමක් වන සේවක භාරකාර අරමුදලට එම වංචාව මගින් කළ බිලියන 20ක පාඩුව අයකර ගෙන නැති නිසාය.

16. ගෝඨාභය රාජපක්ෂ විසින් කළ සීනි බදු මගඩියෙන් රුපියල් බිලියන 20ක් හොරා කෑ කූඨ ජාවාරම්කාරයන් කිසිදු දඩුවමකට යටත් නොවී තවමත් දේශපාලන රැකවරණ යටතේ ගසා කෑම දිගටම කරගෙන යන නිසාය.

17. ජීවිතය ගැට ගසා ගැනීම පිනිස උගස් කල සිය රන් ආභරණ යනාදිය බේරා ගැනීමට බැරි දස දහස් ගණනකට යන එන මං නැතිව තිබෙන අතර   ජනාධිපතිගේ දේශපාලන භාණ්ඩාගාරික ඇතුලු  රුපියල් බිලයන 52 ක බැංකු ණය නොගෙවූ තවත් ජාවාරම්කාර රොත්තක්ම  නිදහසේ ජොලියේ සිටින නිසාය.

අවසානයක් නැති නරකාදි ළකුණු 

18. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බූදයට මුහුණ දී සිටියද, අහම්බෙන් ජනාධිපති වූ රනිල් රාජපක්ෂ බලයේ සිටි මාස 15ට විදේශ සංචාර 15ක යෙදී ජොලි ද කර ඇති නිසාය.

19. මේ දූෂ්ඨකම් හි ලැයිස්තුව අවසානයක් කර නොහැකි තරම් දිග නිසාය.

06.03.24

Archive

Latest news

Related news