Friday, May 3, 2024

ඩයනාගේ පුරවැසිභාවය පිළිබඳ ආගමන ප්‍රධානියාගේ දෙබිඩි පිළිවෙත ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්න කරයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පුරවැසිභාවය පිළිබඳ නඩුව පිලිබඳව ඉදිරිපත් කර ඇති  අභියාචනය අවසර ලබාදෙමින්, ආගමන විගමන පාලක ජනරාල්වරයා ඩයනා ගමගේ ඇතුළු වීමේ සහ පිටවීමේ තොරතුරු ඇතුළත් ලේඛනයක් ගොනු කළ අතර පසුව දිවුරුම් ප්‍රකාශයක් මගින් ආගමන විගමන පාලක ජනරාල්වරයා මෙම තොරතුරු කුමන ඩයනා ගමගේට අයත් දැයි තමන් නොදන්නා බවට ප්‍රකාශ කළේ කෙසේදැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 18 දින ප්‍රශ්න කළේය.

එසේ නමුත්  ඩයනා ගමගේ මෙරටට ඇතුල් වූ සහ පිටවූ විදේශ ගමන් බලපත්‍රවල ජායාරූපයෙහි සිටින්නේ මේ ඩයනා ගමගේය.

මුලින්  දැන සිටි ඩයනා පසුව ආගමන විගමන පාලක ජනරාල්වරයා ට නොදන්නා ඩයනා කෙනෙක්  වී තිබේ.

පළමුවරට අභියාචනාකරණයෙහි එහි  සභාපති බන්දුල කරුනාරත්න  සහ තවත් විනිසුරුවරයකු විසින් විභාග කරන ලද  එම නඩුව බෙදුණු තීන්දුවක් නිසා අභියාචනාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලදී. එහිදී දෙකට එක යන බෙදීමක් මත ඩයනා ගමගේට ලාංකික පුරවැසියකු නොවන බවට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල නිශ්ප්‍රභා කරන ලදී.

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සකු බවත් එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට ඇයට අයිතියක් නොමැති බවත් ප්‍රකාශ කරන Quo Warranto රීට් ආඥාවක් වැනි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනු කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සහ කේ.ස්වර්ණාධිපති මහතා එක්ව අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අයැදුම්පත්‍රයේ කරුණූ කාරනාවලට නොවිමසා ඒ වෙනුවට රාජ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් බවත් පෙත්සම්කරු පවසයි.

ඩයනා ගමගේ සිය නාමයෝජනා පත්‍රවලට අත්සන් කරන අවස්ථාවේ සහ 2020 මහ මැතිවරණය පැවැත්වීමේ දී සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ දී සහ  අයදුම්පත්‍රයට අදාළ සෑම අවස්ථාවකදීම ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවූ බව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ කියා සිටී. ඇය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තවදුරටත් ධූර දරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ වූයේ හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව ලිඛිතව ප්‍රකාශ කර ඇති බවයි. එසේ තිබියදී වත්මන් ආගමන විගමන පාලක ජනරාල්වරයා අපැහැදිලි ලෙස දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරන්නේ කෙසේදැයි අධිකරණය ප්‍රශ්න කළේය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පවතින සියලුම නීතිමය ප්‍රශ්නවලට අභියාචනා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන් අතර  පෙබරවාරි 12 වැනිදා  දෙපාර්ශවයටම කරුණු දැක්වීමට නියම කළේය. සියලු පාර්ශ්වවලට දැඩි කාලසීමාවන් අනුගමනය කරන ලෙස නියෝග කළේය.

ඩයනා ගමගේ මෙරට පුරවැසියෙකු නොවන බවට සාක්ෂි තිබියදී අභියාචනාධිකරණය මූලික විරෝධතාව මත තමාගේ මූලික ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව නීතීඥ හෆීල් ෆාරිස් මහතා මෙම අභියාචනා පෙත්සමට සහය පළ කරමින් කියා සිටියේය.

ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කිරීම නීතියෙන් නිවැරදි බවයි.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඉදිරිපත් කළ කරුණු දැක්වීම් මත අභියාචනාධිකරණය විසින් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළේද යන්න ඇතුළු සියලුම නීති ප්‍රශ්නවලට හ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමට අවසර ලබා දුන්නේය.

(ශ්‍රී ලංකාබ්‍රීෆ්)

Archive

Latest news

Related news