Friday, May 3, 2024

රනිල් රාජපක්ෂ රතු මුහුදේ පශ්චාත් භාග අලෙවිය  සහ ප්‍රමිති බණ්ඩාරගේ පාර්ලිමේන්තු ජෝක්ස්

දෙසතියකට රුපියල් මිලියන 250ක් වැය කරමින් තමන් රතු මුුහුදේ ආරක්ෂාව සඳහා නාවික හමුදා නැවක් යවන බව රනිල් රාජපක්ෂ ඊයේ එනම් ජනවාරි 04 දා ප්‍රකාශ කළේය. මෙම මුදල ඇමෙරිකානු ඩොලර්වලින් 777,000ක් බව අන්තර් ජාතික මාධ්‍ය ප්‍රකාශ කරයි.

දෙමසක් රතු මුහුදේ ගත කිරීමට සිදු වුවහොත් වියදම බිලයනක් වනු ඇත. ඒ පළාත් පාලන ඡන්දය සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා සිටි මුදලය! ඒ සිය ස්වාමිවරුන් වන ඇමෙරිකානුවන් තෘප්ත කිරීම පිනිසය.

මෙම ඉල්ලීම කර ඇත්තේ ඇමෙරිකාව බව අද අයිලන්ඩ් පුවත්පත වාර්තා කර තිබේ.

යෙමනයේ බලය අල්ලා ගත් ඉරාන හිතවාදී යෙමන කැරලිකරුවන්, ත්‍රස්ත රාජ්‍යයක් වන ඊශ්‍රායලය ගසා හි මුදා හැර ඇති වර්ග සංහාරක යුද්ධයට විරුද්ධව  රතු මුහුද හරහා ඊශ්‍රාලය වෙත ගමන් කරන නැව්වලට පහර දීම ආරම්භ කර දැන සති ගණනාවක් ගත වේ.

දැනටමත් එවැනි ප්‍රහාර 30කට වඩා කර තිබේ.

මෙම වර්ග සංහාරක යුද්ධයේ මහ මොළකරු වන ජෝ. බයිඩන් සහ ඇමෙරිකා එක්සත් ජනපදය මුලදී උත්සාහ කළේ හූති ප්‍රහාරයන්ට එරෙහිව ඒකාබද්ධ යුද පෙරමුනක් ඇටවීමටය. එය වැරදුණේ කිසිදු යුරෝපා රටක් ඊට එකග නොවූ නිසාය.

හූති යුද බලය පිටුපස සිටින්නේ ඉරානයයි. ඉරාන යුද බලය පිටුපස රුසියාව සහ චීනය සිටී. යුක්රේනයට විරුද්ධ යුද්ධයේදී  රුසියනුන් යොදා ගන්නා ඩ්‍රෝන යාත්‍රා වැඩිහරියක් ඉරානයේ සාදන ලද ඒවාය.

රනිල් රාජපක්ෂ  රට ගෙන යන්නේ නොනිවෙන ගිනි ජාලාවකටය.

දරුවන් දස දහසකට වඩා ඝාතනය කරමින් පලස්තීනුවන් තිස් දහසක් පමණ ඝාතනය කර ඇති ඊශ්‍රායලයේ වර්ග සංහාරක යුද්ධයට විරුද්ධව කිසිදු පියවරක්  නොගත් බටහිර රටවල් 12ක් එක්ව, රතු මුහුදේ කැරෙන ඝාතන නතර කරන ලෙස නිවේදනයක් දින දෙකකට පෙර ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම මෙම වර්ග සංහාරක යුද්ධය නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලය හමුවේ ගෙන ආ යෝජනා සියල්ල සිය නිශේධ බලය යොදා නතර කල ඇමෙරිකා එක්සත් ජනපදය, හූති ප්‍රහාරයන්ට විරුද්ධව එම ආරක්ෂක මණ්ඩලයටම යෝජනාවක් ගෙන ආවේ හූති කැරලිකරුවන්ට එරෙහිව හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසය .

ජන ඝාතක යුද්ධය නතර කිරීමට විරුද්ධ ජෝ බයිඩන්ට දැන් සිය වෙළද මාර්ග ආරක්ෂා කර ගැනීමට හදිසියක් ඇති වී තිබේ.

එම යෝජනාවට එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, බහරේනය, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, නවසීලන්තය, සිංගප්පූරුව සහ එක්සත් රාජධානිය යන රටවල් මෙම ප්‍රකාශයට අත්සන් තබා ඇත.

රනිල් රාජපක්ෂ පැන පැන දෙන්නට යන්නේ ඒ හදිසියටය.

ඇමෙරිකානු යෝජනාවට ප්‍රතිචාර දැක් වූ රුසියාව කියා සිටියේ මෙම ප්‍රහාර වැළැක්වීමට නම් කළ යුත්තේ ගාසා තීරයේ යුද්ධය නතර කිරීමත් යේමනයේ යුද්ධයට දේශපාලන විසඳුමක් ලබා දිම බවත්ය.

ඇාමරිකාව හූති   කැරලිකරුවන්ගේ දිගුකාලීන මූල්‍ය සැපයුම්කරු ඉරානයට ද අනතුරු ඇඟවීය.

ඉරානයේ පවතින උග්‍ර ඉස්ලාමිය රාජ්‍ය, පසුගිය වසර ගණනාවක්  විවිධ බාධක මැද ශ්‍රී ලංකාවවේ පාලක කල්ලීන්ට සහාය දුන්නේය.

දැන් රනිල් රාජපක්ෂ නාවික හමුදා නැවක් යවන්නට යන්නේ එම ඉරාන සහාය ලබන යේමනයේ හූති හමුදාවන්ට විරුද්ධවය.

පසුගියදා හූති හමුදා මාලදිවයින අසළ දී ඊශ්‍රාලයට ගමන් කරමින් සිටි තෙල් නැව් දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එක්ක කළේය.

යෙමන හූති හමුදා නායක කියා සිටින්නේ තමන් ඇමෙරිකා එක්සත් ජනපද යුද බලය සමඟ හැප්පීමට සුදානම් බවයි.

මේ අතර ඊශ්‍රාල ත්‍රස්ත රාජ්‍යය දැන් ලෙබනනය කරාද යුද්ධය ව්‍යාප්ත කරමින් සිටී.

පසුගිය 07වන දින ඊශ්‍රාල – ඇමෙරිකානු බෝම්බ ප්‍රහාර මගින් සිවිල් ජනයා 270ක් ඝාතනය කරන ලදී.

ඊශ්‍රාලයේ අන්තවාදී ඇමැතිවරුන් ප්‍රකාශ කරන්නේ ගසා තීරයේ ඊශ්‍රාල ජනපද ඇති කරන බවයි. දැනටමත් ඊශ්‍රාල පුවත්පත්හි ගසා තීරයේ බලහත්කාරයෙන් පදංචි  වීමට කැමැති යුදෙව්වන්ගෙන් ඉල්ලුම් පත්‍ර කැදවමින් තිබේ.

රනිල් රාජප්ක්ෂ මුක්කු ගහන්නට යන්නේ මේසා දරුනු මානව අපරාධයකටය.

අද පාර්ලිමේන්තුවෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම ප්‍රශ්නය මතුකරමින් ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටක් මේසා වියදමක් දරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය. ඔහු කියා සිටියේද මෙම මෙහෙයුම සඳමා ඩොලර් මිලියන 250ක් වැය වන බවයි. එය ජනප්‍රිය වී වැරදි ගණනකි. එසේ නමුත් ඔහු ඉදිරිපත් කළ කරුණ නිවැරදිය. එනම් රතු මුහුද ආරක්ෂා කර ගැනීම ඇමෙරිකාවට බාර දී මෙරට ජනයාගේ බදු සල්ලි මෙරට ජනයාගේ යහපත සඳහා යෙදවිය හැකි බවයි.

සජිත් ප්‍රෙමදාසට පිලිතුරු දෙමින්  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමති බණ්ඩාර තෙන්කොන් කියා සිටි කතා තනිකරම විහිළුය. ඔහු කීවේ ශ්‍රී ලංකාව ලෝකයේ ඕනෑම තැනක ත්‍රස්තවාදයට විරුද්ධ බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ගෝලීය වගකීම්වලට අනුව එවැනි ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කිරීම කළ යුතුම බවයි.

 හූති හමුදා ත්‍රස්තවාදීන් ලෙස නම් කර ඇත්තේ ඇමෙරිකාව පමණය.  ශ්‍රී ලංකාවේ හිතවත් රාජ්‍යයන් වන තුර්කිය, ඉරානය සහ තවත් බොහෝ මැද පෙරදිග රටවල් හූති හමුදා ත්‍රස්තවාදීන් ලෙස නම් කර නැතිවා පමණක් නොව ඔවුන්ට සහාය දක්වයි.

ප්‍රමිත බණ්ඩාරට අනුවද මේ  මෙහෙයුමෙහි වැය ඩොලර් මිලියන 250කි. එවැනි මුදලක් වැය කිරීම ඔහු සමාන කළේ ඉන්දියාව හදට රොකට්ටුවක් යැවීමටය. රොකට්ටුව යැවීම එරට අභ්‍යන්තර කරුණකි. ඉන්දියාව ශ්‍රී ලංකාව මෙන් බංකොළොත් රටක් නොව, බංකොළොක් බවින් ගොඩ ඒමට මෙරටට ඩොලර් බිලියන 4ක් දුන් එකම රටය! ඉන්දියාව යනු ලෝකයේ වේගයෙන්ම දියුණූ වන රටකි.

ප්‍රමිති බණ්ඩාර තමා මහ බොරුකාරයකු බව පෙන්වමින් ඉන්දියාවේ මිලියන 800ක් දුගීබවෙහි ජීවත්වන බව කීවේය. එනම් රඑට සම්සත් මිලියන 1400ක් වන ජනගහණයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයකි. බොරුව කොතරම් ලොකුදැයි බලන්න.

 නවතම සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ ඉන්දියාවෙහි දුපපත්කමෙහි සීමාවට යටින් ජීවත්වන ජනගහණය මිලියන 80ක් නොහොත් ජනගහනයෙන් 6.7%ක් බවයි. මේ බව ගූගල් සෙවීමකින් ඕනෑම අයකුට සොයා ගත හැකිය. 1977 දී 69.11% වූ ඉන්දියානු දුගී දර්ශකය 2021 වන විට 11% දක්වා පහත වැටී තිබුණි. සමස්ත දකුණු ආසියාවහෙිම දුගී බාවයේ සීමා යටින් ජීවත් වන ජනගහනය මිලියන 389 කි.

මෙම මුදල අලුතෙන් වැය කරන එකක් නොවන බව ප්‍රමිති බණ්ඩාර කීවද දෙසතියකට රුපියල් මිලියන 250ක් වැය බව බව කීවේ රනිල් රාජපක්ෂ මිස අප නොවේ.

එසේ වෙතත් සතියකට පෙර මෙරට නාවික හමුදාව කියා සිටියේ හූති  ඩ්‍රෝන ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ගුවන් ප්‍රහාරක අවි සිය නැව් සතුව නැති බවයි. එබැවින් නාවික හමුදාව තවම රතු මුහුදට යෑමට තීරණයක් ගෙන නැත. තවම නාවික හමුදාව රතු මුහුදට ගොස් නැත.

එම නැව් වලට රනිල් රාජපක්ෂගේ  තුවක්කුව හෝ කර සිය ඇාමරිකානු ස්වාමිවරුන්ට දී ඇති පශ්චාත් බාග පොරෙන්දුව ඉටු කල යුතුව ඇතැයි කවට කටකාරයෝ කියති.

සේස්ස පස්සට

සේ. පියවර්ධන

Archive

Latest news

Related news