Sunday, April 28, 2024

රාජ්‍ය බැංකු විකිණීමේ රනිල් රාජපක්ෂ – අයිඑම්එෆ් සැලැස්ම එළි දකී!

ආණ්ඩුවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ අධ්‍යක‍ෂ ජනරාල්වරයා විසින් පසුගිය ඔක්තෝබර් 04 වැනි දින සියලූ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා වන වැඩ මුළුවක දී රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය පිළිබඳ ලේඛනයක් ප්‍රකාශයට පත්කර ඇත. සමාගම් පනත යටතේ ලියාපදිංචි පරිපාලන සමාගමක් යටතට පත් කිරීමට නියමිත රාජ්‍ය ව්‍යවසායන් 31 ක් පිළිබඳව එහි අන්තර්ගතව ඇති අතර ඒ අතර රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, HDFC බැංකුව හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඇතුළත්ව ඇත. ඍජුවම එම පරිපාලන සමාගම වෙත පැවරීමට නියමිත ආයතන 41 ක් අතර ඉතිරි රාජ්‍ය බැංකුව වන ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව ඇතුළත්කර ඇත.

යටිකූට්ටු කුමන්ත්‍රණ 

එසේම ඔක්තෝබර් 05 දින මහ බැංකු අධිපතිවරයා සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඉහත කරුණ පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ඉහත ලේඛනයට රාජ්‍ය බැංකු අයත් නොවන බව එතුමා විසින් පවසා ඇත. මෙම ප්‍රකාශ කෙසේ වුව ද රජය විසින් ඉදිරිපත් කළ පසුගිය අයවැය ලේඛනය තුළ රාජ්‍ය බැංකුවල කොටස් 20% ක් තැන්පතුකරුවන්ට හා සේවකයින්ට විකිණීමට යෝජනා ඉදිරිපත් කර ඇත. එසේම ලාභ ලබන රාජ්‍ය බැංකුවක් වන ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව විකිණීමට මේ වනවිටත් යටිකූට්ටු කුමන්ත්‍රණ දියත් වෙමින් පවතී. රාජ්‍ය දේපළ නොවිකුණන බවට මහජනතාවට ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත්කර පත් වූ ව්‍යවස්ථාදායකය හා එම ව්‍යවස්ථාදායකයේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙක් සිටින වත්මන් ආණ්ඩුවේ මෙම හැසිරීම පිළිබඳව බැංකු පද්ධතියේ බහුතර සේවක ප්‍රජාව නියෝජනය කරන වෘත්තීය සංගමය ලෙස අපගේ බරපතල විරෝධය හා අප්‍රසාදය පළකර සිටිමු.

දේශපාලන හා විවිධ අයථා බලපෑම් 

රාජ්‍ය බැංකු සියල්ලම රජය විසින් පවරනු ලබන සියලූ ලාභදායී නොවන සේවාවල නිරතවන අතර බැංකු පද්ධතිය තුළ තරඟකාරීව සේවාව සපයනු ලබන්නේ බලවත් අඩුපාඩු හා දුෂ්කරතා රැසක් මැදය. රාජ්‍ය බැංකු දිවයින පුරා ගම් නියම්ගම්වල සිය ශාඛා පිහිටුවා සමස්ත ජනතාවට සේවය සපයනු ලබන්නේ මූලිකව ලාභයම අපේක‍්ෂාවෙන් නොවන අතර රටේ සෑම මට්ටමකම ජනයාට බැංකු සේවාව ගලා යායුතු බැවිනි. පෞද්ගලික ව්‍යවසායන් තුළින් එවන් කැපවීමක් කිසිවිට අපේක‍්ෂා කළ නොහැක. තවද පෞද්ගලීකකරණය වනාහී නව ලිබරල් ධනවාදය තුළ මේ වන විට යල් පැන ගිය උපකරණයක් වන අතර ධනවාදී යුරෝපීය රටවල් පවා මේ වනවිට එම සංකල්ප බැහැර කරමින් සිටී. ලෝකයේ විශාලතම රාජ්‍ය බැංකු 30 අතර ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක රැඳී සිටින්නේ ඒවා තිරසාරව පවත්වා ගෙන යාමට සිදු කරන දහසකුත් එකක් දේශපාලන හා විවිධ අයථා බලපෑම් මැදය.

අපි දිවි පරදුවට තබා  පියවරක් ගන්නවා

එබැවින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය හා මහ බැංකු අධිපතිවරයා විසින් කරනු ලබන පරස්පර ප්‍රකාශයන් පිළිබඳව පැහැදිලි හා නිශ්චිත ප්‍රකාශයක් රජය විසින් වහා සිදුකළ යුතුව ඇත. විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවල අයිතිකරුවන මුදල් අමාත්‍යාංශය හා එහි ලේකම්වරයා විසින් රටේ මහජනතාවට කඩිනම් පැහැදිලි කිරීමක් කළ යුතු බව අවධාරණය කර සිටිමු. එසේම ඉතිහාසය පුරාම රාජ්‍ය බැංකුවල රාජ්‍ය අයිතිය මෙන්ම ඒවා විවිධ දේශපාලන අයථා බලපෑම් හා ව්‍යාපාරික මාෆියාවන් වෙතින් මුදවා ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කළ සංගමයක් ලෙස මේ මොහොතේ ද ඒ වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට අප පසුබට නොවන බව ද තරයේ අවධාරණය කරමු. එසේම මහ ජනතාවට අයත් මෙම ජාතික සම්පත් රැකගැනීම සඳහා සබුද්ධිකව පෙරට ඒම රටේ සමස්ත පුරවැසියන් සතු වගකීමක් බව මේ මොහොතේ රටවැසි ඔබසැම වෙත ද අවධාරණය කර සිටිමු.

රන්ජන් සේනානායක
ප්‍රධාන ලේකම් –  ලංකා බැංකු සේවක සංගමය

Archive

Latest news

Related news