Saturday, April 27, 2024

සංචාරයකට ජිනීවා ආ ඇල්ජීරියානු හිටපු ආරක්ෂක ඇමතිට ස්විට්සර්ලන්තයේ දී යුද අපරාධ චෝදනා මත නඩු පවරයි

ඡායාරූපය: Khaled Nezzar 2002 දී. ඔහු දැන් 85 හැවිරිදි වියේ පසුවන අතර මිය යන බව වාර්තා වේ. Keystone / Amel Pain (Swiss Info අනුග්‍රහයෙනි)
ස්විට්සර්ලන්තයේ නීතිපති කාර්යාලය විසින් හිටපු ඇල්ජීරියානු ආරක්ෂක අමාත්‍ය කාලෙඩ් නෙසාර් Khaled Nezzar හට යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ෆෙඩරල් අපරාධ අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.
1990 දශකයේ මුල් භාගයේ ඇල්ජීරියානු සිවිල් යුද්ධයේදී හමුදාවේ සහ රහස් සේවාවන්හි ප්‍රධානියා වූ කාලෙඩ් නෙසාර්, වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ නින්දිත ක්‍රියාවන්, ශාරීරික හා මානසික ඒකාග්‍රතාවය උල්ලංඝනය කිරීම් අනුමත කර, සම්බන්ධීකරණය කර සහ දිරිමත් කර ඇති බවට සැක කෙරේ. අත්තනෝමතික රඳවා තබා ගැනීම් සහ දඬුවම් පැමිණ වීම සහ නීති විරෝධී මිනී මැරුම් සම්බන්ධයෙන් නඩු පවරා ඇති බව ස්විස් නීතිපති කාර්යාලය (OAG) පසුගිය අඟහරුවාදා මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශ කරන ලදී.
අධිචෝදනා පත්‍රයට අනුව, ස්විස් නීතිපති කාර්යාලය චෝදනා කරන්නේ, Khaled Nezzar, ආරක්ෂක අමාත්‍යවරයා සහ උසස් රාජ්‍ය කමිටුවේ සාමාජිකයෙකු ලෙස, විශ්වාසවන්ත පුද්ගලයින් ප්‍රධාන තනතුරුවලට පත් කළ බවත්, ඉස්ලාමීය විරුද්ධකම්පෑම තුරන් කිරීම අරමුණු කරගත් ව්‍යුහයන්  සහ ක්රියාකාරී සැලැස්ම දැනුවත්ව සහ හිතාමතාම නිර්මාණය කළ බවත්ය. . මෙයින් පසුව සිදු වූයේ යුද අපරාධ සහ විපක්ෂයට සහාය දෙන   බවට චෝදනා ලැබූ සිවිල් වැසියන්ට පුලුල්ව හා ක්‍රමානුකූලව හිංසා පීඩා පැමිණවීමයි.
නීතිපති කාර්යාලය විසින් 1992 සහ 1994 අතර සිදු වූ සිද්ධීන් 11ක් ලේඛනගත කර ඇත. වින්දිතයන් යැයි කියනු ලබන පුද්ගලයන් වධ හිංසාවලට ලක් වූ අතර, ඒවාට අධෝමුඛයෙන් ජලය සිරුරට ඇතුළු කිරීම සහ විදුලි සැර වැදීම්, වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි මෙන්ම ඔවුන්ගේ කායික හා මානසික ඒකාග්‍රතාවය උල්ලංඝනය කිරීම් ද සිදු වී කිබේ.
නෙසාර් දැනුවත්ව සහ හිතාමතාම මෙම අපයෝජනයන් අනුමත කිරීම, සම්බන්ධීකරණය කිරීම හෝ නියෝග කළ බව පැමිණිල්ල පවසයි.
දැනට 85 හැවිරිදි වියේ පසුවන Khaled Nezzar අත්අඩංගුවට ගෙන ඇත්තේ 2011 වසරේ ජිනීවා සංචාරයකදී ය. වධහිංසාවට ලක්වූවන් සහ NGO Trial International විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ස්විස් නීතිපති කාර්යාලය  විසින් ඔහුගෙන් ප්‍රශ්න කරන ලදී.
නීතිපති කාර්යාලය පසුව යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කළේය.
2017 දී, නීතිපති කාර්යාලය විසින් 1990 ගණන්වල මුල් භාගයේ ඇල්ජීරියාවේ සන්නද්ධ ගැටුමක් නොතිබූ බව යන පදනම මත නඩුව අවසන් කරන ලදී.
2018 දී, ෆෙඩරල් අධිකරණය නීතිපති කාර්යාලය විසින් නඩුව වසා දැමීම අවලංගු කිරීමේ තීරණය ප්‍රසිද්ධියට පත් කළ අතර විමර්ශනය නැවත ආරම්භ කිරීමට නියෝග කළේය. ට්‍රයල් ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව, 1992 සිට 2000 දක්වා කාලය තුළ ඇල්ජීරියාවේ පුද්ගලයන් 200,000 ක් මිය ගොස් හෝ අතුරුදහන් වී තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලෝකයේ සියලුම රටවලින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවැනිම ඉල්ලීමක් කර තිබේ. රට තුල යුද අපරාධ සම්බන්ධයෙන් ස්වාදීන පරීක්ෂණයක් නොපැවැත්වෙන බැවින් එක්සත් ජාතීන් ඉල්ලා සිටින්නේ විශ්වමය අධිකරන බලය යටතේ ශ්‍රී ලංකාවෙහි දී යුද අපරාධ කළ බවට චෝදනා ලබා සිටින පුද්ගලයින්ට නඩු පවරන ලෙසය.

සේ. පියවර්ධන

( ඇසුර ස්විස් ඉන්  ෆෝ)

 

Archive

Latest news

Related news