Saturday, April 27, 2024

රනිල් රාජපක්ෂ මිත්‍යාවෙන් වැසිය නොහැකි මෙරට දරුවන්ගේ ඛේදවාචකය: වාර්ෂික අඩුබර උපත් ප්‍රමාණය 14.6%ක් දක්වා ඉහළට

අර්ථික අර්බුදයත් සමග ශ්‍රී ලංකාව තුළ උද්ධමනය, විශේෂයෙන් ම ආහාර උද්ධමනය ඉහළ ගිය අතර, ආහාර අනාරක්ෂිතතාවය ද ඉහළ ගියේ ය.
දිනකට ගනු ලබන ප්‍රධාන ආහාර වේල් තුනට පවා එය බලපෑම් සිදු කළ අතර, ආහාර සපයාගැනීමට නොහැකිව කුසගින්නේ පසුවන පවුල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් මාධ්‍යවලින් වාර්තා කරනු ලබයි.
ආහාර අනාරක්ෂිතභාවයකට පොදුවේ විශාල පිරිසක් නතුවද්දී ඒ අතරින් ඇතැම් විශේෂ කණ්ඩායම් ඒ නිසා දැඩි පීඩාවකට පත් ව සිටිති.
එලෙස පීඩාවට පත් ව සිටින අය අතුරින් මෙම තත්ත්වය බරපතළ ලෙස බලපාන කණ්ඩායමක් ලෙස ගර්භණී මවුවරුන් සහ කිරිදෙන මවුවරුන් හඳුනාගත හැකි ය.
ඔවුන්ගේ සෞඛ්‍ය සෘජුවම උපදින දරුවාට බලපාන බැවින් ඔවුන් මුහුණ දෙන පෝෂණ ගැටලු ප්‍රජාවේ ඉදිරිපැවැත්මට වැඩි බලපෑමක් ඇති කරයි.

ශ්‍රී ලංකාවේ තත්වය

කෙසේ වෙතත්, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය හේතුකොට ගෙන මාතෘ පෝෂණ තත්ත්වය යහපත්ව පවත්වාගැනීම අභියෝගාත්මක වී තිබේ.
අගෝස්තු පළමු සතියේ යෙදී ඇති, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙන, “ගෝලීය මවුකිරි ලබා දීමේ සතිය”ට සති කිහිපයකට ප්‍රථම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක ශ්‍රී ලංකාවේ මාතෘ පෝෂණය මේ වන විට මුහුණ දී තිබෙන තත්ත්වය පැහැදිලි කර තිබේ.
“Foregoing Meals to Make – do: The impact of Sri Lankan’s economic crisis on maternal nutrition” ලෙස නම් කර ඇති එම වාර්තාව 2022 දී එම ආයතනයෙන් නිකුත් කළ “We are near total breakdown” වාර්තාවේ පසු විපරමකි. මෙම වාර්තාවෙන් තොටලඟ, මට්ටක්කුලිය හා දෙමටගොඩ ආශ්‍රිතව ජීවත්වන අඩු ආදායම්ලාභී ගැබිණි හා කිරිදෙන මවුවරුන් පිළිබඳ අධ්‍යයනයක් සිදු කර තිබේ.
ලෝක බැංකුව විසින් 2023 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කර ඇති අන්දමට 2021 වර්ෂයේ දිළිඳුබව ජනගහණයෙන් 13.1%ක් ලෙස හඳුනා ගෙන ඇති අතර, 2022 වර්ෂයේ දී එම අගය 25%ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2021ට සාපේක්ෂ ව එම වැඩි වීම ජනගහණයෙන් මිලියන 2.5ක පුද්ගලයන්ගේ වැඩිවීමකි. 2023 වර්ෂය අවසාන වන විට එම අගය 27.5%ක් දක්වා ඉහළ යනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.
ජනතාව දිළිඳුබවට ඇදවැටීමත් සමග ඔවුන්ගේ ක්‍රය ශක්තිය (භාණ්ඩ මිලදී ගැනීමට ඇති හැකියාව) පහළ වැටේ. එම තත්ත්වය අනුව මාතෘ පෝෂණයට අදාළ සමබල ආහාරවේලක් සපයාගැනීමට නාගරික ව ජීවත්වන බොහෝ මවුවරුන්ට නොහැකි වී ඇති බව මෙම වාර්තාවෙන් නිරීක්ෂණය කර තිබේ.

මාතෘ පෝෂණය වැදගත් ඇයි?

ගර්භණී කාලය තුළ කළලය හොඳින් වර්ධනයවීමට මවගේ පෝෂණය ඉතා වැදගත් බව වෛද්‍ය සඳුනි පෙරේරා බීබීසී සිංහල වෙත පැවසුවා ය.
“කාන්තාවක් මසකට වරක් ඔසප් වෙන නිසා කාන්තාව නිරන්තරයෙන් ම තමන්ගේ පෝෂණ මට්ටම යහපත් ආකාරයෙන් තබාගත යුතු යි. ගර්භණී වූ විට මවගේ පෝෂණය කළලයේ වර්ධනය ඉතා වැදගත් වෙනවා. ඒ කාලයේ දී දරුවා වැඩෙන්නේ මවගේ ශක්තියෙන්. ප්‍රසූතිය සඳහා මව සූදානම්ව සිටීමටත්, ආබාධ හෝ අඩු බර අවධානමකට නොයා සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බිහි කිරීමටත් පෝෂණය බලපානවා,” වෛද්‍යවරිය පෙන්වා දෙයි.
දරුවෙකුගේ උපතින් පසු පළමු මාස හයේ දී දරුවාට ලබා දීමට නිර්දේශිත එකම පෝෂකය වන්නේ මවුකිරි පමණි. වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ එම කාලය තුළ ද මවුවරුන්ගේ පෝෂණය ඉතා වැදගත් බවයි.
“ප්‍රසූතිය කුමන ක්‍රමවේදයෙන් වුණත් ඒක ශාරීරිකව බලපාන දෙයක්. ඒ නිසා නැවත මානසිකව හා කායිකව යථා තත්ත්වයට පත්වෙන්න නම් මවකගෙ පෝෂණය වැදගත්. මාස හයට අඩු දරුවන්ට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නොමැති නිසා බාහිර දේවල්වලින් සිදුවන බලපෑම අවම කරගැනීම මවුකිරිවලින් සිදුවනවා. මවුකිරි හරහා මවගේ ප්‍රතිදේහ දරුවාට ලැබෙනවා. ඒ වගේම ඒ වයසේ දරුවෙක් රැකබලාගන්න විට මවගේ නින්දේ සිට සාමාන්‍ය දින චර්යාව වෙනස් වෙනවා. මේ දේවල්වලට සාර්ථකව මුහුණ දීමට දරුවෙකු බිහිකිරීමෙන් පසු කිරිදෙන අවධියේ මවකගේ පෝෂණය යහපත් තත්ත්වයක පවත්වා ගැනීමත් වැදගත් වෙනවා,” ඇය පෙන්වා දුන්නා ය.

නාගරික මාතෘ පෝෂණ අර්බුදය

නාගරික ව ජීවත්වන දෛනික වැටුප් කම්කරුවන්ගේ පවුල්වල උක්ත මවුවරුන්ගේ පෝෂණය සම්බන්ධ ගැටලු මෙම වාර්තාවෙන් නිරීක්ෂණය කර තිබේ.
ලෝක බැංකු දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාගරික දිළිඳුභාවය 2022 දී 15%කි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2022 ජනවාරි දත්තවලට අනුව කොළඹ නගරයේ ජීවත්වන එක් අයෙකුගේ අවම වියදම රු.9624ක් ලෙස ගණනය කර ඇති අතර එය 2022 දෙසැම්බර් වන විට රු.14859ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ හේතුවෙන් මවුවරුන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර මිලට ගැනීමට අවශ්‍ය ක්‍රය ශක්තිය බිඳ වැටී ඇතැයි වාර්තාව පෙන්වා දෙයි.
එපමණක් නොව, 2021-2030 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය තුළින් ද මෙම නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන අඩු ආදායම්ලාභී ගර්භණී හා කිරිදෙන මවුවරුන් පෝෂණය අතින් වැඩියෙන් ම අවදානමක සිටින බව හඳුනාගෙන තිබේ.
වාර්තාවේ දත්ත රැස්කිරීමේ දී ක්ෂමා සංවිධානය විසින් සම්මුඛ සාකච්ඡා පැවැත්වූ මවුවරුන් බහුතරයක් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අත්දැකීම් විස්තර කර තිබේ.
ආහාර පිසීම සඳහා විශාල මුදලක් දැරීමට සිදුවන නිසා බත් පර්සලයක් රුපියල් 200කට පමණ මිලට ගෙන සැමියා සමග බෙදාගෙන කෑමට ගන්නා බව එක් මවක් ප්‍රකාශ කර තිබූ අතර, තවත් මවක් ප්‍රකාශ කර තිබුණේ බොහෝවිට තමා ආහාර ගන්නේ වේල් දෙකක් පමණක් බවයි.

ඔවුන් බහුතරයක් පවසා තිබුණේ පෝෂ්‍යදායී ආහාරවේලක් ලබා ගැනීම මිල අධික නිසා කුස පුරවා ගැනීමට අවශ්‍ය ආහාර පමණක් ඔවුන් ලබා ගන්නා බවයි.

ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල මාතෘ පෝෂණ අර්බුදය

ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල මාතෘ පෝෂණ තත්ත්වය පිළිබඳ අපි ගාල්ල, කළුතර, රත්නපුර, කුරුණෑගල හා වවුනියාව ප්‍රදේශවල සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන් හත්දෙනෙකු සමග සාකච්ඡා කළෙමු.
එහි දී ඔවුන් ප්‍රකාශ කළේ, බොහෝ ප්‍රදේශවල මවුවරුන්ගේ පෝෂණ ඌණතා නිරීක්ෂණය කර ඇතිබව යි.
ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් ද කුසගින්න සඳහා ආහාර ගැනීම පමණක් සිදු කිරීම හේතුවෙන් ඔවුන්ගේ රුධිරයේ පැවතිය යුතු ප්‍රමාණයට වඩා හිමෝග්ලොබින් ප්‍රමාණය අඩු මට්ටමක පවතින බව ඔවුහු පෙන්වා දුන් හ.
තව ද එලෙස අඩු පෝෂණ තත්ත්ව යටතේ දරුවන් බිහි කිරීමේ දී දරුවාගේ උපත් බර 2.5kg ප්‍රමාණයට වඩා අඩු වීම ද ඔවුන් නිරීක්ෂණය කර තිබේ.
ක්ෂමා සංවිධානයේ වාර්තාවට අනුව, මවුවරුන් සිය ප්‍රෝටීන් අවශ්‍යතා සපුරා ගැනීමට බහුලව ම ආහාරයට ගන්නා බිත්තරයක මිල 2021 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2022 ඔක්තෝබර් මාසයේ දී 160%කින් මිල ඉහළගොස් ඇති අතර, මාලුවල මිල ද එම කාලය තුළ දී ම 124%කින් ඉහළ ගොස් තිබේ.
බොහෝවිට පහතරට තේ වතු ආශ්‍රිතව සේවය කරන දමිළ මවුවරුන්ගේ ආහාර වේලක ඇතුළත් වන්නේ බත් සහ පරිප්පු පමණක් බව ගාල්ල හා කළුතර ප්‍රදේශවල පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් නිරීක්ෂණය කර තිබේ.

අඩු බර උපත් ප්‍රතිශතය ඉහළට

පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ නිකුත් කර ඇති දත්තවලට අනුව කළලයට සති 12 දක්වා වන ගර්භණී මවුවරුන්ගෙන් BMI අගය පැවතිය යුතු මට්ටමට වඩා අඩු මට්ටමක සිටින මවුවරුන් ප්‍රමාණය ලියාපදිංචි මුළු සංඛ්‍යාවෙන්, 2021 වසරේ පැවති 13.9% සිට 2022 දී 14.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන් ම අඩුබර උපත් ප්‍රමාණය 2021 දී පැවති 12.7%සිට 14.6%ක් දක්වා ඉහළ ගොස් ඇත. 2021 දී අඩුබර ඇති අතදරුවන්ගේ ප්‍රමාණය 5.9%ක් වන අතර එය 2022 දී 6.7%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ත්‍රිපෝෂ දීමනාව සහ ආහාර වවුචර්පත් ක්‍රියාවලිය බිඳවැටීම

ක්ෂමා සංවිධානයේ වාර්තාවෙන් මෙලෙස මවුවරුන්ගේ පෝෂණය බිඳ වැටීමට එක් හේතුවක් ලෙස ක්‍රය ශක්තිය අඩුවීම පෙන්වා දී ඇති අතර, අනෙක් හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ ත්‍රිපෝෂ සහ ආහාර වවුචර්පත වැනි රජයේ සුබසාධන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීමයි.
1973 වර්ෂයේ සිට, රාජ්‍ය හිමිකාරීත්වය ඇති සමාගමක් යටතේ නිෂ්පාදනය කරන ත්‍රිපෝෂ පෝෂණ අතිරේකය ගැබිණි මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ට ලබා දෙයි. මාසිකව ග්‍රෑම් 750ක පැකට්ටු දෙකක් එලෙස නොමිලේ එක් අයෙකුට හිමි වේ.
ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙන්නේ මාතෘ පෝෂණයට අදාළ වියදම්වලින් 20%ක් ත්‍රිපෝෂ පරිභෝජනය කිරීමෙන් අඩුවන බවයි.
කෙසේ වෙතත්, ත්‍රිපෝෂ අඛණ්ඩව ලබා දීමට පසුගිය කාලයේ රජය අපොහොසත් විය.
ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් නැමැති රසායන ද්‍රව්‍යයක් අඩංගු වී ඇති බව හෙළි වීමත් සමග බෙදා හැරීම තාවකාලිකව නැවැත්වූ අතර, මූල්‍යමය හේතු නිසා ද කලක් ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරය වසා දමා තිබුණි.
අප සමග සාකච්ඡා කළ පවුල් සෞඛ්‍ය සේවිකාවන් පැවසුවේ පසුගිය මාස දෙකක කාලය තුළ ත්‍රිපෝෂ සැපයුම අඛණ්ඩව සිදු කෙරුණ ද එලෙස සැපයුම යථා තත්ත්වයට පත් කෙරුණේ මාස කිහිපයකින් පසුව බවයි. කෙසේ වෙතත්, පසුගිය මාස දෙක තුළ ප්‍රමාණවත් තොග ලැබුණු බව ඔවුහු ප්‍රකාශ කළ හ.
ගර්භණී කාලයේ දී සහ කිරිදෙන කාලය තුළ මාස දී මාස දහයක් සඳහා රු.2000 බැගින් රු.20,000ක ආහාර වවුචර් පත් ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ලියාපදිංචි මවුවරුන්ට ලබා දීම ආරම්භ කරන ලද්දේ 2015 වර්ෂයේ දී ය.
එම වවුචර් පත ආදායම් තත්ත්වය හෝ වෙනත් කිසිදු කොන්දේසියක් නොසලකා සියලුම ගර්භණී මවුවරුන්ට ලබා දෙන ලදි.
නමුත් මෙම වසරේ මුල මාසවල දී වවුචරයෙන් ආහාර මිලට ගැනීමට සතොස වෙත ගිය මවුවරුන්ට එය ගෙවීම අත්හිටුවා ඇති බව දැනුම් දී තිබේ. අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එලෙස එම ආහාර වවුචරය ගෙවීම නවතා තිබේ.
මේ වන විට ඒ වෙනුවට එම මුදල ඉහළ දමා නැවත ආහාර වවුචරය ගෙවීමට නව ක්‍රමවේදයක් සකසා ඇත. ඒ අනුව මාසික ආදායම රු. 50,000ට අඩු පවුල්වල මවුවරුන් සඳහා පමණක් එම වවුචරය ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා ලබා දීමට සූදානම් වේ.
පෙර පැවති රු.20,000ක අගය ඒ අනුව රු.45,000ක් දක්වා ඉහළ දමා තිබේ.
නමුත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් පෙන්වා දෙන්නේ එම දීමනාව බොහෝදෙනෙකුට නොලැබෙන බව යි. කුමන හෝ මට්ටමක රජයේ රැකියාවක් කරන අයෙක් පවුලේ සිටින්නේ නම් එම දීමනාව අහිමිවන බව ඔවුහු පෙන්වා දෙති.
මෙම රු.45,000 වවුචරය ලබා දීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රු. මිලියන 468ක් බව වාර්තාවේ දැක්වේ. වාර්තාවේ පෙන්වා දෙන්නේ එම මුදලින් වසරක දී උපරිම වශයෙන් වවුචරය ලබාදිය හැකිවන්නේ කාන්තාවන් 10,400කට පමණක් බවයි.
වාර්තාවේ උපුටා දක්වා ඇති ලෝක බැංකු දත්තවලට අනුව, 2016- 2018 වසරවල දී රු. 20,000 දීමනාව වසරක දී හිමිකරගත් කාන්තාවන් ප්‍රමාණය 330,000 – 370,000 අතර විශාල ප්‍රමාණයකි.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය රජයට යෝජනා කරන්නේ ඉහත සමාජ සුබසාධන සේවාවන් කිසිදු බාධාවකින් තොරව සියලුදෙනාටම ලබා දෙන ලෙසයි.
ශ්‍රී ලංකාව කාන්තාවන් සම්බන්ධයෙන් එකඟ වී ඇති ජාත්‍යන්තර ප්‍රකාශනයන්වල ද ගැබිණි හා කිරිදෙන මවුවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කොන්දේසි හා වගන්ති ඇතුළත් බැවින් රජය ඒ වෙනුවෙන් මැදිහත්විය යුතු බව සංවිධානය පෙන්වා දෙයි.

ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟය

පෝෂණ තත්ත්වයට අමතරව වර්තමානය වන වන විට මාතෘ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති ප්‍රබල ම ගැටලුවන් වන්නේ ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය යි.
බොහෝ ප්‍රදේශවල ගැබිණි මවුවරුන්ගේ විවිධ පරීක්ෂණ පුද්ගලික රසායනාගාරවලින් සිදුකරගෙන යාමට සිදු වී ඇති අතර ශල්‍ය උපකරණය ද තමාම මිලදී ගැනීමට සිදුව තිබේ.
ක්ෂමා සංවිධානය සමග සිය අත්දැකීම හුවමාරු කරගත් ගැබිණි මවුවරුන් දෙදෙනෙකු පවසා ඇත්තේ ඔවුන්ට අවශ්‍ය යකඩ පෙති සහ විටමින් සී පෙති ද ඖෂධහල්වලින් මිලට ගැනීමට සිදුව ඇති බවයි. මේ තත්ත්වය මවුවරුන්ට අමතර තවත් වියදමක් එක් කර තිබේ.
එමෙන් ම වාර්තාවේ අදහස් දක්වා ඇති, කාසල් වීදියේ කාන්තා රෝහලේ සහ ද සොයිසා මාතෘ රෝහලේ සෞඛ්‍ය සේවකයන් ද මෙම ඖෂධ හිඟය සහ ශල්‍ය උපකරණ හිඟය සනාථ කර තිබේ.

සෞඛ්‍ය ඇමතිවරයා පවසන්නේ කුමක්ද?

ගැබිණි මවුවරුන් සහ කිරිදෙන මවුවරුන්ගේ පෝෂණ තත්ත්වය සබැඳි අර්බුදකාරී තත්ත්වය වළක්වා ගැනීමට නම් සියලුම ගර්භනී සහ කිරි දෙන කාන්තාවන් සඳහා ප්‍රමාණවත් පෝෂණය රජය විසින් සහතික කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිය වාර්තාවෙන් ශ්‍රී ලංකා රජයට කියා සිටියි.
බීබීසී සිංහල විසින් ඉහත ගැටලු විසඳීම සම්බන්ධයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන්නෙ කුමක්දැ යි විමසීමට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ කරගනු ලැබීය. එහි දී ඔහු ප්‍රකාශ කළේ සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කළ හැකි උපරිමය කිරීමට තමා මැදිහත්වන බවයි.
“මේ දේවල් ආර්ථික අර්බුදයත් එක්ක පැනනැගුණු ප්‍රශ්න. මේවා විසඳගන්න අවශ්‍ය ප්‍රතිපාදන උපරිම විදිහට ගන්න මම හැමතිස්සෙම උත්සාහ කරනවා. අපි මේ ප්‍රශ්න කොයිවෙලේවත් නොසලකා හැරලා නෑ. අර්බුද කාලයක් නිසා තමයි මේ විදිහෙ හිඟයන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ හැම ගැටලුවකටම ඉදිරියේ දි හොඳ විසඳුමක් දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා,” අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.”

( ශ්‍රී ලංකාවේ වාර්ෂික අඩුබර උපත් ප්‍රමාණය 14.6%ක් දක්වා ඉහළට නමින් බීබීසී සිංහල සේවය විසින් පළ කරන ලද ලිපියකි.)

Archive

Latest news

Related news