ඡායාරූපය තිලින කොටුගොඩ විසිනි.
ආසියාව පුරා සිටින මානව හිමිකම් ආරක්ෂකයන් ලක් වූ විවිධ හිංසනයන් පිළිබඳ දත්ත රැස්කර සැකසූ වාර්තාවක් පසුගියදා කොළඹදී එළිදැක්විණි.
“Defending in Numbers: Rising Together Against All Odds” ලෙස නම් කර තිබූ මෙම වාර්තාව වසර දෙකකට වරක් එළිදක්වන්නකි.
2021 හා 2022 වසර දෙක තුළ මානව හිමිකම් ආරක්ෂකයන්ට මුහුණපෑමට සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් අදාළ කාලය තුළ පළවී ඇති මාධ්‍ය වාර්තා, එක්සත් ජාතීන්ගේ වාර්තා, මානව හිමිකම් ආයතන විසින් නිකුත් කරනලද දත්ත ඇසුරෙන් ෆෝරම් ඒෂියා ආයතනය හා ‘නීතිය සහ සමාජ භාරය’ විසින් මෙම වාර්තාව සම්පාදනය කොට තිබේ.
මානව හිමිකම් ආරක්ෂකයෙකු යනු කවරෙක් ද?
“මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අනෙකුත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සාමකාමීව ක්‍රියාමාර්ග ගනු ලබන තනි පුද්ගලයන්, සංවිධාන හෝ ප්‍රජාවන් මානව හිමිකම් ආරක්ෂකයන්,” ලෙස හැඳින්විය හැකි බව පුළුල් නිර්වචනය යි.
මානව හිමිකම් ආරක්ෂකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‘මානව හිමිකම් ආරක්ෂකයන් පිළිබඳ ප්‍රකාශනය’ 1998 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් ඒකමතික ව පිළිගෙන තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන්, කාන්තා හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, පරිසර ක්‍රියාකාරිකයන් ඇතුළු විවිධ මට්ටම්වල මානව හිමිකම් ක්‍රියාකාරීන් මීට අයත් වේ.
වැඩිම මර්දනය ප්‍රජාතන්ත්‍රවාදයට
2021 හා 2022 වසර දෙක වාර්තාව නිරීක්ෂණය කර ඇති ආසියානු රටවල් 22 තුළ මානව හිමිකම් ආරක්ෂකයන් හිංසනයට ලක් වූ අවස්ථා 1636ක් වාර්තා වී තිබෙන අතර, ඒ හේතුවෙන් අවම වශයෙන් මානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්, සංවිධාන සහ ප්‍රජාවන් නියෝජනය කරන අය ඇතුළු ව 4450 දෙනෙකුවත් අවම වශයෙන් හිංසනයට ලක් වී තිබේ.
වාර්තාවේ අඩංගු ආසියානු රටවල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අය හිංසනයට ලක් වූ අවස්ථා 450ක් වාර්තා වී තිබේ. එහි දෙවැනි තැනට කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පත්ව තිබෙන අතර තෙවැනි තැනට පත්ව ඇත්තේ මාධ්‍යවේදීන් ය.
ශ්‍රී ලංකාවේ මර්දනය
ශ්‍රී ලංකාවේ පසුගිය වසරේදී ඇති වූ ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය ක්‍රියා කළ ආකාරය පිළිබඳ මෙම වාර්තාවේ අඩංගු අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත්කොට එමඟින් මානව අයිතිවාසිකම් සීමා කළ බව ද දැක්වේ.
හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව වැඩ භාරගත් වර්තමාන ජනාධිපතිවරයා ද පොලිසියට හා සන්නද්ධ හමුදාවලට වැඩි බලයක් ලබා දී ඇති බවත්, එමනිසා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ට හිංසනයට ලක් වන්නට සිදු වූ බවත් වාර්තාව සඳහන් කරයි.
ලංකාවේ වැඩිම හිංසනයක් සිදු ව ඇත්තේ පොලිසියෙන්
පසුගිය වසර දෙක තුළ මානව හිමිකම් ආරක්ෂයන්ට මුහුණපෑමට සිදු වූ හිංසනයන් සම්බන්ධ සිදුවීම් 47ක් වාර්තාව විසින් සැලකිල්ලට ගෙන තිබේ.
2021 දී සිදුවීම් 13ක් ද, 2022 දී 34ක් ද ඒ අනුව වාර්තා වී ඇත.
ඒ අනුව 2022 වසරේ වාර්තා වී ඇති සිදුවීම් 34න් 30ක දී ම එම ක්‍රියාකාරිකයන් හිංසනයට ලක් ව තිබෙන්නේ පොලිසිය විසින් ය. 2021 වසරේ සිදුවීම් අටක් පොලිසිය විසින් හිංසනයට ලක් කළ සිදුවීම් ය.
2023 ආරම්භයේ සිට මේ දක්වා වාර්තා වී ඇති සිදුවීම් ගණන 15කි.
ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති හිංසනයන්ගෙන් වැඩිම දෙනෙකු ලක් ව ඇත්තේ අධිකරණ ක්‍රියාවලියට අනුබද්ධ හිරිහැරවලට ය.
විවෘත විශ්වවිද්‍යාලයයේ ආචාර්ය මහිම් මෙන්ඩිස් විසින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි ව සංවිධානය කළ උද්ඝෝෂණයක දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔහුට දුරකතනයෙන් තර්ජනය කිරීම, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමිට පැහැරගන්නා බවට දුරකතනයෙන් තර්ජනය කිරීම යන සිදුවීම් දෙක වාර්තාව තුළ විශේෂයෙන් විස්තර කර තිබේ.
මීට අමතර ව, 2022 මැයි නවය දා ‘ගෝඨාගෝගමට’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පහර දීම, 2022 ජුලි 23 අළුයම සන්නද්ධ හමුදා විසින් ‘ගෝඨාගෝගමට’ එල්ල කළ ප්‍රහාරය ද නිරීක්ෂණය කර ඇති විශේෂ සිදුවීම් ය.
“අරගල නායකයන් හැමෝට ම නඩු”
වාර්තාව එළිදැක්වීමට සමගාමී ව පැවති සංවාදයේ දී අදහස් දැක් වූ නීතිඥ නුවන් බෝපගේ පැවසුවේ පසුගිය වසරේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වලට සම්බන්ධ වූ ක්‍රියාකාරීන් බහුතරයකට එරෙහිව කුමන හෝ නඩුවක් පැවරී ඇති බවයි. එමෙන් ම ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවල දී එම ක්‍රියාකාරිකයන් රජයේ රස පරීක්ෂකවරයා වෙත ගෙනගොස් ඡායාරූප ලබාගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වලට සම්බන්ධ නඩු විභාගයන්වල දී දිගින් දිගටම උද්ඝෝෂකයින්ට ඇප ලබා දීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කිරීම ද කැපී පෙනුනු බව ඔහු පවසයි.
ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් කඩ වූ විට විරෝධය දක්වන්නගේ දේශපාලන හා මානව අයිතිවාසිකම් කඩවීම නැවැත්වීමට නම් මුලින් ම කළ යුත්තේ ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බව ඔහු පෙන්වා දුන්නේ ය.
ක්‍රියාකාරීන්ට එරෙහි ව ‘කෲර’ නීති
ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂකයන් සහ විශේෂයෙන් ම ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට එරෙහි ව ‘කෲර’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නීති යොදාගැනීම කැපී පෙනෙන හිංසනයක් බව, නීතිය හා සමාජ භාරයේ විධායක අධ්‍යක්ෂිකා සකුන්තලා කදිරගාමර් පැවසුවා ය.
පසුගිය වසරේ දී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාස හයකට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගන්නා ලදී.
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙසට වර්තාමන ආණ්ඩුව හා ජනාධිපතිවරයා බලය හිමිකරගත්ත ද, ජනාධිපතිවරයා බලයට පැමිණි වහා ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයන්ට එරෙහි ව ප්‍රබල මර්දනයක් දියත් කළ බව ඇය පැවසුවා ය.
ආණ්ඩුව වගවීම පිළිබඳ නොසලකා පුරවැසියන්ගේ දේශපාලනය කිරීමේ අයිතිය ද නොසලකා කටයුතු කරන බව කදිරගාමර් පෙන්වා දුන්නා ය.
‘ආවේක්ෂණයට ලොකු තාක්ෂණයක් අවශ්‍ය නෑ’
‘බොහෝ රටවල් මෙවැනි ක්‍රියාකාරීන් ආවේක්ෂණයට “පෙගාසස්” (ඩිජිටල් ආවේක්ෂණ මෘදුකාංගයක්) වැනි දියුණු තාක්ෂණයන් යොදාගත්ත ද, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල පොලිස් බලහත්කාරය මඟින් ආවේක්ෂණයන් සිදු කරන බව’ ෆ්රන්ට් ලයින් ඩිෆෙන්ඩර්ස් සංවිධානය නියෝජනය කරමින් මෙම සංවාදයට එක් ව සිටි ඩියෑන් උයන්ගොඩ පැවසුවාය.
ජංගම දුරකතන පැහැරගැනික්ම මෙන් ම බලහත්කාරී ව විද්‍යුත් උපකරණ පොලිස් භාරයට ගැනීම හරහා එය සිදු කරන බව ඇය පවසයි.
එමෙන් ම බොහෝවිට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ මැදිහත්කරුවන් විසින් ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ඩිජිටල් අවකාශවල දුස්තොරතුරු පැතිරවීමක් සිදු කිරීමේ ප්‍රවණතාවයක් දිස්වන බවත් එයින් ඔවුන්ට ඇතිවන සමාජ අපවාදය හරහා ඔවුන් මර්දනය කිරීමට උත්සහ ගන්නා බවත් ඇය කියා සිටියාය.
“හිංසන වහාම, හැමදාටම නවත්වන්න!”
මානව හිමිකම් ආරක්ෂයන්ට එරෙහි ව සිදු කරන හිංසනයන් වහාම, සදහට ම නැවැත්වීමට රජයන් කටයුතු කළ යුතු බව මෙම වාර්තාවෙන් නිර්දේශ කරයි. එමෙන් ම එම හිංසනයන්ට අදාල නීතිය ක්‍රියාත්මක කිරීම් කලට වේලාවට සිදු කරන ලෙස ද ආසියාවේ රජයන්වලට මෙම වාර්තාවෙන් යෝජනා කෙරේ.
දේශීය නීති ජාත්‍යන්තරව පිළිගන්නා මූලධර්මවලට අනුව සකසන ලෙසත්, මර්දනකාරී නීති හකුලා ගන්නා ලෙසත් මෙයින් නිර්දේශ කරයි. රඳවා තබාගෙන සිටින සියලු මානව හිමිකම් ආරක්ෂකයන් වහාම නිදහස් කර ඔවුන්ට එරෙහි චෝදනා ඉල්ලා අස් කරගන්නා ලෙසට ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලට ආසියාවේ මෙම තත්ත්වයට මැදිහත්වන ලෙස ද වාර්තාවේ නිර්දේශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ ප්‍රකාශය එහි සාමාජික රටවල් ඒකමතික ව පිළිගෙන වසර 25කට පසුවත්, තවමත් සිදුවෙමින් පවතින, මානව හිමිකම් ආරක්ෂකයන්ට එරෙහි හිංසන පිළිබඳ මෙම වාර්තාව එළිදක්වන්නට සිදුවීම කණගාටුදායක දෙයක් බව ෆෝරම් ඒෂියා හි විධායක අධ්‍යක්ෂිකා මේරි අයිලීන් ඩී. බකල්සෝ අදහස් දැක්වූවා ය.
බීබීසී සිංහල අඩවියෙනි. සංස්කරණය කරන ලදී.