Saturday, April 27, 2024

ගෝටා පන්ගෝට් රුපියල් බිලියනක් ජපානයට පුදයි! එපා කියා උස්සපු අත් හා කියන්නත් උස්සලා!

ගෝඨාභය රාජපක්ෂගේ තීරණයක් උඩ, ජපාන ආධාරයෙන් ඉදිකිරීමට නියමිත වූ  සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හිතුවක්කාර ලෙස අවලංගු කිරීමට වන්දිය වශයෙන් ජපානයේ සමාගම් ප්‍රමුඛ උපදේශන ආයතනයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.4ක් (රුපියල් බිලියනයක් පමණ) ගෙවීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇතැයි විගණකාධිපති ප්‍රකාශ කර තිබේ.

රුපියල් බිලියනයක් යනු රට පුරාම පලාත් පාලන ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම ඉල්ලා සිටි මුදල තරම් ප්‍රමාණයකි. රනිල් රාජපක්ෂ එම මැතිවරණය කල් දමන ලද්දේ එවැනි මුදලක් නැතැයි කියමිනි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි විගස කිසිදු නිසි උපදෙසක් නොගෙන  ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙන් අඩු පොලී ණයක් ලබා දීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කළේ තනි කැමැත්තටය. ඔහු අඩු ගණනේ එම තීරණය ප්‍රසිද්ධ කිරීමට පෙර ජපානය සමඟ සාකච්ඡා කළේ හෝ  නැත.

මෙම වන්දි ඉල්ලීම ඉදිරිපත් කරන ලද්දේ Oriental Consultants Global Co Ltd, Japan International Consultants for Transportation Co Ltd, Chodai Co Ltd; Nippon Koei Co Ltd; සහ Sri Lanka’s Consulting Engineers and Architects Associated (Pvt) Ltd. යන ආයතන විසිනි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය විසින්  කමිටුවක් පත් කරන ලද අතර වන්දි ගෙවීමට තීරණය කර ඇත්තේ එය විසිනි.

භාණ්ඩාගාරයේ වාර්ෂික ගිණුම්වල ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයා විසින් දක්වන ලද ප්‍රකාශ වලට අනුව, එම ව්‍යාපෘති  කාර්ය මණ්ඩලය සේවයෙන් පහ කිරීම ඇතුළුව ඩොලර් 492,749 ක් ද දැනටමත් සිදු කර ඇති වැඩ සඳහා ඇමරිකානු ඩොලර් 2,930,307 ක් ද ගෙවීමට 2022 නොවැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

එකතු කළ අගය මත බද්ද නැවත ගෙවීමේ ප්‍රමාදයට අදාළව තවත් රුපියල් මිලියන 3.733ක් ගෙවනු ඇත.

2020 සැප්තැම්බරයේදී අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ජපානයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ කොළඹ – මාලඹේ මාර්ගයෙහි දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවසන් කිරීමට අනුමැතිය ලබා දුන්නේය.

වත්මන් ජනාධිපති රනිල් රාජපක්ෂ, ජපාන අගමැති හමු වී එම අවලංගු තීරණය පිළිබඳ ව සමාව ඉල්ලා යළි එම ව්‍යාපෘතිය ආරම්භ කරන ලෙස පසුගිය මැයි 25වන දින ඉල්ලා සිටියේය. එනමුත් ජපානයේ අදහස වූයේ වත්මන් ණය ප්‍රති ව්‍යුහගත කිරීමෙන් පසු පමණක් එය සළකා බැලිය හැකි බවයි.

මෙලෙස වන්දි රුපියල් බිලියනයක් ගෙවීමට අනුමත කර ඇති රනිල් රාජපක්ෂ ඇමති මණ්ඩලයේ එදා එම ව්‍යාපෘතිය වහාම අවසන් කිරීමේ ගෝඨාගේ අත්තනෝමතික තීරණයට අත ඉස්සූ නිමල් , බන්දුල, ප්‍රසන්න  වැනි කප්පම්  ඇමති රොත්තක්ම සිටිති. එය දිට්ඨ ධම්මවේදනීය කර්මය පලදීමක් වැන්න.

තවත් අරුමයක් නම් 20203 මැයි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ගෝටා විසින් අත්හිටුවන එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා  එම ඇමති රොත්තම ඇතුළු ඇමති මණ්ඩලය අනුමැතිය ලබා දීමයි.

මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කිරීමෙන් තවදුරටත් බස් මාෆියාවේම සිරගත කරන ලද පොදු ජනයාගේ මුදලින්ම දැන් එම ඇමැති රොත්තම සහ අලුත් රාජපක්ෂ ජපපානයට වන්දි රුපියල් බිලියනයක් ගෙවීමට තීරණය කර තිබේ.

ඒ අතර මහජනයාගේ මුදලින් පවත්වා ගෙන යන නව නිවසකට ගොඩ වැදුණූ එම හිතුවක්කාර තිරණය ගත්  ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ ගණනින් මහජන මුදල් ගිලිමින් සතුටින් යහතින් වැජඹේ. ඔහු රටට වින කැටුවා මිස කළ යහපතක් නැත.

ඕනෑම ආකාරයක අපරාධයකට මෙරට දේශපාලන පන්තියට සම්පූර්ණ මුක්තිය සහතික කර ඇති බැවින් රුපියල් බිලියනයක මහජන මුදල් පාඩුව සම්බන්ධයෙන් කිසිදු දේශපාලනඥයකු වග නොකියනු ඇත. කිසිවකු මෙම ආර්ථික අපරාධයෙහි වගකීම නොගනු ඇත.

රාජපක්ෂවරු රනිල් ද රාජපක්ෂවරයකු ලෙස බව්තීස්ම කර ගත්තේ අත ලෙවකන්නට නොවේ.

දණ්ඩ  මුක්තිය පවතින තුරු ශ්‍රී ලංකාවට ප්‍රති සන්ධානය හෝ ආර්ථික දේශපාලන විසඳුම් ලබා ගත නොහැකි බව පසුගිය 22දා එක්සත් ජාතීන්ගේ වාර්තාවක ද සඳහන් වූයේ එනිසාය.

සේ.පියර්ධන විසිනි.

Archive

Latest news

Related news