Monday, May 20, 2024

සුදු ලූණු වංචාවේ සැකකාරියට බන්ධුලගෙන් මසකට ලක්ෂ තුනක රස්සාවක්!

ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන එම තනතුරට පත්වීමෙන් පසුව 2022 නොවැම්බර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි බඳවාගෙන ඇති උපදේශිකාවකට මසකට රුපියල් දෙලක්ෂ අසූ නවදහස් එකසිය පනහකට (රු. 289,150) අධික මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන බව අනාවරණය වේ.

එලෙස චමිලා ජයන්ති අසුරමාන්න නම් තැනැත්තිය මාර්ග සංවර්ධන අධිකාරියේ මූල්‍ය උපදේශිකාවක ලෙස බඳවාගෙන ඇත. ඇයගේ මාසික මූලික වැටුප රුපියල් ලක්ෂයකි. මාසික ප්‍රවාහන දීමනාව රුපියල් එක්ලක්ෂ විසිදහසකි (රු. 120,000). ඡංගම දුරකථන බිල රුපියල් 1,500ක් සහ මාසික මූලික වැටුපට සමානුපාතිකව රුපියල් 12,000ක් සේවක අර්ථසාදක අරමුදලට එම අධිකාරියෙන් ගෙවනු ලබයි.

ඊට අමතරව මාසික ඉන්ධන දීමනාව ලෙස පෙට්‍රල් ලීටර් 175ක් අධිකාරියෙන් ලබාදෙයි. මේ වනවිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 318ක් වන අතර මාසයකට ඒ වෙනුවෙන් රුපියල් 55,650ක් වැය කෙරේ.

ඇය අදටත් ගණනය කර නොමැති රටේම මහත් ආන්දෝලනයකට ලක් වූ සතොස සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියකි. ඇය  ලක් සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මිලදී ගැනීම්) තනතුර දැරුවේද බන්ධුල ගැණවර්ධන යටතේය.

එම සුදුලූනු කන්ටේනර් 19 ලංකාවට ගෙන්වූ එන්රිච් සමාගම වෙනුුවෙන් (අගතියට පත් පාර්ශ්වය) අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතීඥ අජිත් පතිරණ මහතා මෙය රාජ්‍ය දේපළක් බවත් හිතා මතා මහ දවල් සිදු කළ මංකොල්ලකෑමක් බවත් දුක්විඳින මිනිසුන්ට සහන මිලට අලෙවි කිරීමට සතොසට ලබා දුන් භාණ්ඩ බාහිර පාර්ශ්වයකට අලෙවි කර ඇති බවත් මීට පෙරද මෙවැනි වැරදි සිදුව ඇති බවත් අධිකරණය හමුවේ පැවසීය.

ඒ එම නඩුව කැඳවන ලද 2021 ඔක්තෝබර් 11 වන දාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් සියලු දෙනාම පාහේ තම උපදේශකයන් ලෙස පත් කර මහජන මුදලින් නඩත්තු කරන අතර පොහොට්ටුවේ ඡන්දයෙන් බලයට පත් වූ එම මැති ඇමතිවරුද රනිල් වික්‍රමසිංහගේ අඩි පාරේ යමින් මහජන මුදල් නාස්ති කරන ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් මෙලෙස සාක්ෂි හෙළි වෙමින් තිබේ.

(මාධ්‍ය වාර්තා ඇසුරෙනි)

Archive

Latest news

Related news