Friday, May 17, 2024

නතාෂාට ඇප නොදීම: ළමා කාලය පමණක් නොව බුද්ධ චරිතය අසංඛෙයිය කල්ප ලක්ෂ හතරක් දක්වා දිග හැරෙනවා – තිළින ගමගේ, කොටුව මහේස්ත්‍රාත්

ඡායාරූපය: බෞද්ධ සාහිත්‍යයේ එන මර දූතිකාවන් උල සිටවූයේද?

බුද්ධ චරිතය ගැන නව නීතිමය අර්ථ කථනයක් සපයමින් කොටුව මාහ්ස්ත්‍රාත් තිලිණ ගමගේ, නතාෂා එදිරිසූරියට ඇප ප්‍රතික්ෂේප කරමින් මෙසේ පවැසූ බව දිනමිණ පුවත්පත වාර්තා කරයි.

” බුදුන් වහන්සේගේ චරිතාපදානය බුද්ධත්වයේ සිට වූ අවුරුදු 44ක කාලයකට ලඝු කර දක්වන්න බැහැ. බුද්ධ චරිතය අසංඛෙයිය කල්ප ලක්ෂ හතරක් දක්වාත් දීපංකර බුදුන් පාමුල නියත විවරන දක්වාත් අනාගතයේ ධාතු පරිනිර්වාණය දක්වා බුද්ධ චරිතාපදානය දිග හැරෙන්නේය. ළමා කාලය පමණක් ගෙන සුළුකොට දැකිය නොහැකි බවට අධිකරණ මතයයි.”

මේ අනුව එම අසංඛෙයිය කල්ප ලක්ෂ හතර යන්න අර්ථ දක්වන්නේ කෙසේද යන්න පැහැදිළි නැත. ඒ කෙසේ වෙතත් තිලිණ ගමගේ ප්‍රකාශයට අනුව එම සමස්ත කාලයෙහිම බුද්ධ චරිතය පිළිබඳව විවේචනයක් හෝ විහිලුවක් හෝ අපහාසයක් හෝ කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වෙයි.

එම ප්‍රකාශය තවදුරටත් මෙසේ දක්වයි:

(බුදුන්ගේ) “ළමා කාලය පමණක් ගෙන සුළුකොට දැකිය නොහැකි බවට අධිකරණ මතයයි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වගන්තිය ප්‍රකාරව බුදු දහමට ප්‍රමුඛත්වය ලබා දීම ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීම මෙන්ම 14 වගන්තිය ප්‍රකාරව භාෂණයේ ඇති නිදහස 15.2 වගන්තිය ප්‍රකාරව යම් යම් සීමාවන් පනවා ඇති බවට ද තීරණය කරමි. ඒ අනුව බුදුන් වහන්සේගේ ළමා කාලය ආගමික ඉගැන්වීම්වලට අනුව ගෙන අපහාසයට පත් කර ඇති බවට තීරණය කරමි. එම ක්‍රියාව තුළින් වෙනත් ආගම් සමඟ සැසඳීමෙන් තවත් පාර්ශ්ව එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩත්වයට ලක් කර ඇති අතර, මේ තුළින් බෞද්ධයන් අතර යම් නොසන්සුන්තාවක් ඇති වන බව පැහැදිලිය.  මෙම සැකකාරිය හිතාමතාම පෙර සූදානමක් ඇතිව රැඟුම් පාලක මණ්ඩලයට ලබා දිය යුතු පිටපත් 6න් ඇයගේ පිටපත ලබා දී නැහැ. ප්‍රශ්නගත සිද්ධියට අයත් පිටපත ඇය ලබා දී නැත්තේ පෙර සූදානමකින්. එම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් බෞද්ධයන් අතර කැලඹීමක් ඇතිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ගණනාවක් ලැබී ඇති අතර, සමාජය තුළ ප්‍රකෝප වීමක් සිදු විය හැකි බවට කරුණු ඉදිරිපත් වේ”

ඒ අනුව නතාෂා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම අර්ථ දැක්වීම අනුව බුදුන් සමයෙහි බුදුන්ට අපහාස උපහාස කළ බොහෝ දෙනෙකු වූ   අතර දෙව්දත් වැන්නන්ට පවා බෞද්ධ ඉතිහාසය අනුව සමාව දී තිබේ.

වර්ථමාන විද්‍යාව අනුව අසංකේය කල්ප ලක්ෂයක් යන්න නීතිමය වශයෙන් විස්තර කළ හැකි ද යන්න ගැටළුවකි.

රේරුකානේ චන්දවමිල හිමියනට අනුව කල්පයක් යන්න මෙසේ විස්තර කළ හැකිය:

“ දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්‍රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”.

දැන් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගේ ප්‍රකාශය අනුව එවැනි කල්ප ලක්ෂයක් පුරා බුදුන් කළ කී දෑ නීතිය අනුව උපහාසයට අපහාසයට පත් කිරීම දඩුවම් ලැබිය යුතු වරදකි.

මෙම ප්‍රකාශය සමහර විට ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් දෙන ලද වාර්තාගත තීරණයක් වීමට පුලුවන.

මේ අතර සම්මමාලාභී මාධ්‍යකරුවකු වන කේ සජීව සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබේ.

නතාෂා නඩුවට මොකද වුණේ.. …!

මම මුලින් බෲනෝ ගේ ඇපමත නිදහස් වීම හොඳයි කියලා ලීවා. ඒත් ඊටපස්සේ ආපු තොරතුරු එක්ක මම තීරණය කළා ඒක ඉවත් කරගන්න. නතාෂාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කියලා තියෙන දේවල් කියෙව්වාම තැතිගැන්වීමක් සහ බයක් තමයි ඇති වෙන්නේ. විහිළුවක් ඒ මට්ටමට අර්ථගත කරනවා කියන්නේ ඒකෙන් පෙන්වන්නේ සෑහෙන්න විශාල අනතුරක සේයාවක්. රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් ජනාධිපති වෙලා ඉන්න අවධියක මේවගේ දේවල් වෙන එක ගැන අපේ මිතුරන් මොනවා කියයිද මම නම් දන්නේ නෑ..

ඒත් මේ කසඩ රටේ දේවල් සිද්ධවෙන විදිහ දිහා බැලුවාම අප්‍රසන්නතාවයක් පිළිකුලක් තමයි ඇති වෙන්නේ.

මේ නඩු තීන්දුව ගැන කියවන්න යන්නේ නෑ මොකද මම කාලයක් තිලිණ ගමගේ විනිසුරු තුමාගේ අලි හොරකම ගැන රාවය පත්තරේට ලිපි මාලාවක් ලියපු නිසා. ඒත් ඉතිං අධිකරණය කියන්නේ පුරවැසියාගේ නිර්මානයක් ඒක විවේචනය කරන්න බය වෙන්න ඕනීත් නෑ. ඒත් දැන් ටිකක් බය වෙන එක හොඳයි..!.

(කේ සංජීව is with K.A. Sanjeewa. – FB)

විමුක්ති ජයසුන්දර ගේ සටහනක් මෙසේය:

මගේ ජීවිතය සපුරා වෙනස් කිරීමට හැකිවූ ගුරුවරයෙකු සිටී නම් ඒ ගෞතම බුදුන් වහන්සේ පමණි. උන්වහන්සේ ජීවත් වූ සමයේ අප අසා කියවා දැනගත් පරිදි තවත් අය කියූ පරිදි උන්වහන්සේගේ ජීවිත කාලයේ කිසිදු අවස්ථාවක රාජ්‍ය අධිකරණ පද්ධතියකින් තමන් වහන්සේට සිදු වූ අපහාසයකට කිසිදු විනිශ්චයක් ලබා ගැනීමට ගොස් නැත. උන්වහන්සේ තමාට සිදු වූ කිසිදු අපහාසයකට අවලාද-අව නඩුවකට රජුගේ නීති ආධාර හෝ විනිශ්චයන් ඉල්ලා නැත! උන්වහන්සේ තමාට අපහාස අවලාද නැගූ සියල්ලන්ටම තමා සමග ධර්ම සාකච්ඡාවට ආරාධනා කොට අවබෝධය පිණිස සාකච්ඡාව මෙහෙයවූ වූවායයි පමණක්ම අසා ඇත.

අප උන්වහන්සේ දුටුවේ උන්වහන්සේ දෙසූ ධර්මයෙන් මිස සිත්තරුන් ඇඹූ සිමෙන්තියෙන් නොවන නිසා නතාෂාට බුදුන්ට අපහාස කිරීමට හැකියාවක් කිසිසේත් නැති බව තේරෙයි. ධර්මය තුළ අපහාසය යන වචනයට කිසිදු පදනමක් නැත!

ඉතා ඉක්මනින් නතාෂාට නිදහස ලැබේ නම් ලෝකය තුළ අපේ රටවැසි සමහරක් විසින් විසින් ලෝක බෞද්ධයාට කරනු ලබන අපහාසය අපට සංකේතවත් ම ක ව නවතා ගැනීමට හැකිය!

Vimukthi Jayasundara (FB)

Archive

Latest news

Related news