Friday, April 26, 2024

පොලිසියෙන් පණ බේරා ගනිමු – දිවයින කතුවැකිය

අද අප ලියන කතු වැකියේ පාදක පුවත මෙසේය.
ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන කෝටිපති ව්‍යාපාරිකාවක විසින් ඇගේ නිවසේ තිබූ රන් භාණ්ඩ නැතිවීමක් ගැන වැලිකඩ පොලිසියට පැමිණිලි කරනු ලැබ ඇත. එම පැමිණිල්ල අනුව ආර්. රාජ්කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. රාත්‍රි කාලයේදී ඇය පොලිසිය තුළදීම අසනීප වූවාය. එබැවින් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ඇය මියගොස් සිටි බව දැන ගන්නට තිබේ. තවදුරටත් වාර්තා වන අන්දමට පෙර කී කෝටිපති කාන්තාවගේ නිවසේ තාවකාලික හෝ පූර්ණකාලීන සේවිකාවක ලෙස ඇය වැඩ කොට ඇත. දැනට තිබෙන ආරංචියට අනුව රාජ්කුමාරි මියගොස් ඇත්තේ වැලිකඩ පොලිසියේදී රාළහාමිලාගෙන් ගුටි කෑමෙනි. සැකකාරිය අත්අඩංගුවට පත්වන මොහොතේදී පැමිණිලිකාරිය ද පොලිසියට පැමිණි බව දැන ගන්නට තිබේ. මියගිය රාජ්කුමාරි තිදරු මවකි. අවසානයේදී දරුවන් තුන්දෙනකුට අම්මා නැති විය. සැමියෙකුට බිරිඳ නැතිවිය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම් කර තවත් නිලධාරීන් තිදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මේ තිදෙනාගෙන් දෙදෙනෙක් පොලිස් කොස්තාපල්වරියෝ වෙති. ඉහත සඳහන් සිද්ධියේදී අපට නිගමන කිහිපයකට එළඹිය හැකිය. එනම්
  1. සැකකාරියට පොලිසියේදී අප්‍රමාණ ලෙස පහර දී ඇති බව සහ ඒ නිසා ඇගේ මරණය සිදු වූ බව.

  2. ඇය හෘදයාබාධයකින් මියගිය බව.

මේ සිද්ධියෙන් තවත් වැදගත් දෙයක් හෙළි වී තිබේ. එනම් සැකකාරිය පොලිස් අත්අඩංගුවට ගෙන රඳවා තැබෙන බව පොලිස් පොත්වල සටහන් නොවීමය. එයින් හැඟෙන්නේ වැලිකඩ පොලිසිය ඉතාම අකාර්යක්‍ෂම සහ අසංවිධානාත්මක පරිපාලන ව්‍යුහයක් යටතේ පවතින බවය. මෙයට ඒ පොලිසියේ ඕඅයිසී මහත්තයා වගකිව යුතු වෙයි. සමහර විට මෙවැනි කාන්තාවක් සැකකාරියක ලෙස අත්අඩංගුවට ගත් බවක් හෝ ඇය රාත්‍රි කාලයේදී පොලිසිය තුළ රඳවාගෙන සිටින බවක් හෝ ඕඅයිසී මහත්තයා දන්නේවත් නැතිව ඇති. පොලිසියෙන් ඇයට අම්බානක නෙළන විට ඕඅයිසී මහත්තයා සේවය නිම කර ගෙදර ගොස් ඉන්නටත් ඇති. එහෙත් අවසාන විග්‍රහයේදී අසරණ ඕඅයිසී මහත්තයාටත් ගැලවීමක් නැත. ස්ථාන මාරුවීම් ලබා දී ඇති කොස්තාපල්වරියන් දෙදෙනාගේ සහ පොලිස් නිලධාරියාගේ ද වැඩ තහනම් කළ යුතු බව අපි යෝජනා කරමු. මේ තිදෙනා පොලිස් නිල ඇඳුම තුළ දිගටම හිටියොත් සාක්‍ෂිකරුවන්ට බලපෑමකට යටත්වීමට සිදුවනවා ඇත. බොහෝ පොලිසිවල කිසියම් අක්‍රමිකතාවක් හෝ දූෂණයක් හෝ මිනීමැරුමක් හෝ සිදුවුණු කල්හි ඊට සම්බන්ධ රාළහාමිලා හත්අට දෙනෙක් වෙනත් පොලිසිවලට මාරුකිරීම සිදුවේ. මෙය කිසිම තේරුමක් නැති වැඩකි. කිසියම් සාපරාධී සිද්ධියකට අයත් පොලිස් නිලධාරීන් වෙත්නම් ඔවුන්ගේ වැඩ තහනම් කර රිමාන්ඩ් කළ යුතුය. අපරාධයකට සම්බන්ධ පාර්ශ්වකරුවන් නිදැල්ලේ සිටීමෙන් එම අපරාධයට සම්බන්ධ සාක්‍ෂි මකාදැමිය හැකිය.
මස් මඩු ලෙස හංවඩු ගසනු ලැබූ පොලිස් ස්ථාන රැසක් මේ රටේ තිබේ. මේ පොලිසිවලට ගෙන ගිය මිනිහකු ආපසු පණපිටින් ගෙදර එන්නේ නැත. අඟුලාන පොලිසිය ද එවැනි මස්මඩුවකි. මීට කලකට පෙර ඒ පොලිසියේ සේවය කළ නිව්ටන් නමැති ඕඅයිසී කෙනෙක් කාන්තාවකට විහිළු කළ තරුණයන් තිදෙනකුට පහර දී රාත්‍රි කාලයේදී ඔවුන් වෙරළට ගෙන ගොස් වෙඩිතබා මැරවීය. ඉන් පසු නිව්ටන් ඇතුළු මිනීමරු කැළ ජීවිතාන්තය දක්වා හිරදඬුවමකට යටත් විය. ස්වල්ප කලක් ගතවීමේදී නිව්ටන්ගේ කකුල කපන ලදි. ඒ දියවැඩියාව වැඩිදියුණුවීම නිසා ය. නිව්ටන් යනු ඒ වර්ගයේ එක පොලිස්කාරයකු පමණි. මෙවැනි පොලිස් නිලධාරීහු රැසක් රට පුරා සිටිති. මේ පොලිසියේ වරද නොව නිල ඇඳුම තුළ සිටින තිරිසන් සතාගේ වරද ය. නරියෙකුට කලිසමක් හා කමිසයක් ඇන්දූවැයි කියා ඌ හූ නොකියා සිටිත් ද? වඳුරෙකුට බයිසිකලයක් අරන් දුන්නේ යැයි කියා ඌ ගස් මතින් යෑම නවත්වයිද? මේ ආකාරයෙන් ඇතැම් තිරිසන් ගති ඇති මනුස්සයන්ට මොන ඇඳුම ඇන්දුවත් වැඩක් නැත. දවස අවසානයේදී නිල ඇඳුම තුළින් තිරිසනා එළියට එන අතර එතැන් සිට පටන් ගන්නේ විශාල හිංසනයකි. එක අතකට පොලිස් දෙපාර්තමේන්තුවට ද මේ සම්බන්ධයෙන් කරන්නට දෙයක් නැත. පොලිස් සේවයට බැඳීම සඳහා බබාලා මෙන් එන ඇතැම් අය ටික දිනකින් ම ස්වකීය තිරිසන් ගති ප්‍රදර්ශනය කරන්නට පටන් ගනී. එය මිනිස් ස්වභාවයේ තරම ය. මෙවැනි මිනිසුන් හැදීමට නොහැකි අතර හැකි හැම විටම මැකිය යුතුය.
ලංකාවේ පොලිසිය වනචාරී ලෙස හැසිරෙත් නම් ජාත්‍යන්තරය ඉදිරියේදී අපට මහත් අවාසියක් සිදුවේ. එවිට කවුරුවත් අපේ රට ගණන් ගන්නේ නැත. අප පිටරටකින් ණයක් ගන්නා විට ම්ලේච්ඡ පොලිසියක් සිටින රටක් ලෙස හඳුන්වමින් ණය දීම නවත්වන ලෙස ඉල්ලා ඒ රටවල සිටින සිවිල් ක්‍රියාකාරීන් කෑ ගසනවා ඇත. වැලිකඩ පොලිසියේ සිද්ධියේදී එයට මැදිව සිටින කෝටිපති කාන්තාව ගැන වෙනම සෙවිය යුතුය. සැකකාරිය අත්අඩංගුවේ පසුවන රාත්‍රියේදී ඇය පොලිසියට ගියේ රාළහාමිලාට අරක්කු අරන් දීම පිණිසද? නො එසේ නම් රාළහාමිලාට සල්ලි බෙදනු පිණිස ද? ඉහත සඳහන් මරණය ගැන පරීක්‍ෂණ පැවැත්වීමේදී ඒ වටා ඇති මෙබඳු සිද්ධීන් ද සොයා බැලිය යුතුය. අප මේ රටේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පොලිසියේ සිටින තිරිසනුන් හඳුනාගෙන ඔවුන් පැත්තකින් තබන ලෙසය. නො එසේ නම් මුළු රටටම සිදුවන්නේ පොලිසියෙන් පණ බේරා ගැනීම සඳහා සැඟව සිටීමට ය.

23.05.2023

Archive

Latest news

Related news