Tuesday, April 23, 2024

එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ රනිල්-විජේදාස දෙබෑයන්ගේ ත්‍රස්ත පනත පතුරු ගසති.

සුනන්ද දේශප්‍රිය.
පසුගිය 2023 අප්‍රේල් 27 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංදේශයක් යවමින් ඒක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි විශේෂඥයින් අට දෙනෙකු විජේදාස- රනිල් රාජපක්ෂ දෙබෑයන්ගේ ත්‍රස්ත විරෝධී පනත හම ගසා තිබේ.
තවද එය පෙන්වා දෙන්නේ මෙම යෝජිත පනත ශ්‍රී ලංකාව ගිවිසුම්ගතව ඇති අන්තර් ජාතික මානව හිමකම් ප්‍රඥාප්තීන් හතක් උල්ලංඝනය කරන බවය.

සිවිල් සමාජ ඉල්ලීම

එයට සති තුනකට පෙර එනම් අප්‍රේල් 01දා ශ්‍රී ලංකාවේ සිවිල් සහ දේශපාලන සමාජයේ ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් 450ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට ලිපියක් යවමින් කියා සිටියේ මෙම ත්‍රස්ත විරොධී පනත පරාජය කිරීමට රට පුරා මහජනයාගේ කැපවීම සැළකිල්ලට ගනිමින් ඊට සහාය දෙන ලෙසයි.
එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි විශේෂඥයින් ඉන් සතියකට පසු රනිල් රාජපක්ෂ වෙත එවන ලද ලිපිය, මෙරට සිවිල් සහ දේශපාලන ක්‍රියාධර පිරිස්හි එම ඉල්ලීමට ලද ප්‍රතිචාරයක් ලෙස ද සැළකිය හැකිය.

නොපිට ගැසිය යුතු පනතක්

ජාත්‍යන්තර නීති බැඳීම්වලට අනුකූල වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා  නිති පැණවිමේදී, වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රෙගුලාසි බොහොමයක්ම ඉවත් කළ යුතු බව එජා විශේෂඥයෝ සඳහන් කරති.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සාමකාමීව රැස්වීමට සහ සමාගමයට ඇති අයිතිය උල්ලංඝණය කිරීම, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ඇතුළු චෝදනා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් රැසකට  තුඩු දී ඇති බවත්  මෙම දෝෂයන් ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය කරන නීති සම්පාදනයකින් තොරව, නව  නීති ගෙන ඒම මගින් පෙර සහ අනාගත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැළැක්වීම, ප්‍රතිකර්ම කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම හෝ ත්‍රස්තවාදයට ඵලදායී ප්‍රතිචාර දැක්වීම සිදු නොවනු ඇතැයි ඔවුහු අවධාරණය කරති.

ප්‍රධාන කරුණු පහක්

මෙම විශේෂඥයින් මූලික කරුණූ පහක් සංසෝධනය කළ යුතු බවට දීර්ඝ වශයෙන් කරුණූ දක්වා තිබේ. ඒ අතරම එම සංදේශය කියා සිටින්නේ මෙම පනත ගැන විස්තීර්ණ විමසා බැලීමක් තව දුරටත් කළ යුතු බවත් එවැනි නිරීක්ෂණයන් ඉදිරියෙහිදී සිදුවීමට ඉඩ ඇති බව සැළකිල්ලට ගන්නා ලෙසය.
එම කරුණූ පහ මෙසේය:

1.ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල වන ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචන යොදා ගත යුතුය.

ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය  සහ අනෙකුත් නොපැහැදිලි විධිවිධාන සංශෝධනය කිරීම සහ භාවිතා කරන නිර්වචන සහ භාෂාව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අනුකූල බව සහතික කරන අපි නිර්දේශ කරමු.
යෝජිත ත්‍රස්ත විරෝධී පනතෙහි  ලක්ෂණ  ශ්‍රී ලංකාව අත්සන් කර එකඟ වී ඇති පහත සඳහන් විශ්වමය ප්‍රඥප්ති උල්ලංඝනය කරයි.
  • මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට (UDHR), සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR).
  • 1980 ජූනි 11 දින එකඟ වූ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICESCR).
  • 2016 මැයි 25 දින අපරානුමත කරන ලද බලහත්කාර අතුරුදහන්වීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය (ICPPED).
  • 1994 ජනවාරි 3 දින එකඟ වූ වධහිංසා සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුතිය (CAT).
  • 1982 පෙබරවාරි 18 දින සම්මත කරන ලද සියලු ආකාරයේ වාර්ගික වෙනස්කම් කිරීම් තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (CERD).
  • 1981 ඔක්තෝබර් 5 දින අනුමත කරන ලද කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් ඉවත් කිරීම පිළිබඳ සම්මුතිය (CEDAW).
  • ජාතික හෝ වාර්ගික, ආගමික සහ භාෂාමය සුළු ජාතීන්ට අයත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, ආගම හෝ විශ්වාසය මත පදනම් වූ සියලු ආකාරයේ නොඉවසීම සහ වෙනස්කම් කිරීම් තුරන් කිරීම පිළිබඳ 1981 ප්‍රකාශය.
ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිබඳ පුළුල් නිර්වචන සහ නොපැහැදිලි අර්ථ දැක්වීම් හේතුවෙන් මෙම පනත අනිසි ලෙස භාවිතා කිරීමට අවස්ථා  නිර්මාණය වේ.

2. විශේෂයෙන්ම මෙම යෝජිත පනත ප්‍රකාශනයේ, මත දැක්වීමේ, සමාගමයේ සහ ආගමික හෝ විශ්වාසයන්හි නිදහසේ අයිතිවාසිකම්වලට බලපෑම් කළ හැකි බැවින් එහි යෙදුම් හි නිශ්චිත නිරවද්‍යතාවය සහ නෛතික නිශ්චිතභාවය සහතික කරන්න.

ජාත්‍යන්තර නීතිය යටතේ ‘නීතිමය නිශ්චිතභාවයේ මූලික වැදගත්කම’  අවධානයට යොමු කරමු. අපරාධ නීති ප්‍රමාණවත් ලෙස නිරවද්‍ය විය යුතු බැවින් අපරාධ වරදක් වන්නේ කුමන ආකාරයේ හැසිරීම් සහ හැසිරීම්ද යන්න සහ එය සිදු කිරීමේ ප්‍රතිවිපාකය කුමක්ද යන්න පැහැදිලි විය යුතුය.
දේශීය නීතියක් තුළ ත්‍රස්තවාදය පිළිබඳ ඕනෑවට වඩා පුළුල් අර්ථ දැක්වීම් අන්තරාකාරීය.
මෙම යෝජිත පනත මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වඩාත් ගැටලුකාරී සහ පුළුල් ලක්ෂණ රඳවා තබා ගෙන තිබේ. මානව හිමිකම් ආරක්ෂකයින්ට, සිවිල් සමාජයට සහ ඔවුන්ගේ මානව හිමිකම් සහ මූලික නිදහස නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරන අයට එරෙහිව එවැනි නීති භාවිතා කළ හැකිය.
3. අත්තනෝමතික ලෙස නිදහස අහිමි කිරීම වැළැක්වීම සහ නැවැත්වීම සඳහා ආයතනික විධිවිධාන සහ පියවර ස්ථාපිත කළ යුතුය.
පුද්ගලයින් දිගින් දිගටම අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම වැළැක්වීම සඳහා ඒ සම්බන්ධ පරිපාලන සහ අධිකරණ ආරක්ෂණ සම්බන්ධ විධිවිධාන සංශෝධනය ක.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති  නීති විරෝධී ලෙස නිදහස අහිමි කිරීම සඳහා ඉඩ ලබා දිය හැකි වඩාත්ම ගැටළු සහගත සහ සුවිශේෂී ලක්ෂණ යෝජිත නව පනතෙහිද එළෙසම ඉතිරි වී තිබේ.
නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීම, ඇප දීම, නඩු විභාගවල අනවශ්‍ය ප්‍රමාදයන්, වධහිංසා පැමිණවීම් හෝ වෙනත් ආකාරයේ අයහපත් සැලකීම් හරහා ලබාගත් පාපොච්චාරණ  පිළිගැනීම, මරණීය දණ්ඩනය අඛණ්ඩව භාවිතා කිරීම හරහා නිදහස අහිමි කිරීම එළෙස ඉතිරි කර ගෙන ඇති ලක්ෂණයන් වේ.
සන්නද්ධ හමුදාවේ සාමාජිකයකු හෝ වෙරළාරක්ෂක නිලධාරියකුට “වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම” සඳහා “හුදු සැකයක් ඇතුළත් වන සාධක රාශියක” පදනම මත  ඕනෑම ස්ථානයක් පරීක්ෂා කිරීමට හෝ ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෝජිත පනත මගින් ලබා දී ඇති බලතල මානව හිමිකම් කෙළෙසීමට ඉඩ විවර කරයි.
4. වධහිංසා පැමිණවීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සහ ඒවායේ නිරපේක්ෂ බව පිළිපැදීම.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු කැරෙන බවට චෝදනා ලබා ඇති අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ වධහිංසා පැමිණ වීමට තුඩු දෙන තත්වයන් යෝජිත පනත තුළද  දැක්ක හැකිය.
වධහිංසා පැණවීමට විරුද්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියෙහි  දැක්වෙන  සම්පූර්ණ විෂය පථය සහ සියලුම රැඳවුම් පිළිවෙත්, රීති, ප්‍රතිපාදන සහ බලතල හරහා සිරකරුවන්ට සැලකීම සඳහා වන සම්මත අවම රීති පිළිබඳ සම්පූර්ණ විෂය පථය ආමන්ත්‍රණය කිරීමට ඉක්මන් සංශෝධන යෝජිත පනතට නිර්දේශ ඇතුළත් කරන්න.
වධහිංසා පැමිණවීමේ සම්භාවිතාව වැඩි කරන වර්තමාන තත්ත්වයන් කඩිනමින් පිළියම් කිරීම එමගින් සහතික කළ යුතුය.
යෝජිත ත්‍රස්ත විරෝධි පනත විසින් “අනුමත රැඳවුම් ස්ථාන” හෝ අධිකරණ අධිකාරියෙන් පරිබාහිර රැඳවුම් ස්ථාන සඳහා අවසර දෙන බව ඇඟවිය හැකි වගන්තිය වෙත අපි රජයේ අවධානය යොමු කරමු. අනුමත ස්ථාන ගණනට අමතරව පවත්වා ගෙන යන වෙනත් ස්ථාන වෙතොත් ඒවා වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරන්නේද යන්න මෙම ප්‍රතිපාදනය සඳහන් නොකරයි.
දැනුම් දීමකින් තොරව රැඳවුම් ස්ථානයකට දැනුම් දීමකින් තොරව ඇතුළු වීමට මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරියෙකුට හෝ මහේස්ත්‍රාත්වරයෙකුට හෝ අවසර දෙන වගන්ති/ විධිවිධානවල ධනාත්මක බලපෑම තවදුරටත් සීමා කිරීමට එමගින් නැඹුරුවක් ඇතිවේ.
5. අධිකරණ අධීක්‍ෂණය සහ නීති උපදෙස් සඳහා ප්‍රවේශය ඇතුළුව නිසි නීති ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාග සහතික කිරීම් සක්‍රීය කල යුතුය.
නිසි ක්‍රියාවලියකින් තොරව නිදහස අහිමි කිරීම සහ රඳවා තබා ගැනීම පිළිබඳ අධිකරණ අධීක්‍ෂණයක් නොමැතිකමේ සම්පූර්ණ විෂය පථය සම්බන්ධයෙන් සමීප සමාලෝචනයක් සහ සංශෝධනයක් කිරීමට   එය නිර්දේශ කරයි.
අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ වාර්තාවෙහි, පුනරුත්ථාපනය සඳහා යවන ලද පුද්ගලයින් අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව ක්‍රියාකාරී කණ්ඩායම සොයා ගෙන ඇත. එය ඔවුන්ගේ නිදහස අහිමි කිරීම නෛතික පදනමක් නොමැති අතර සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් රාශියක ප්‍රතිඵලයකි.
ත්‍රස්ත විරෝධී නීති අර්ථවත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු. අත්තනෝමතික ලෙස රඳවා තබා ගත හැකි පුද්ගලයින්ගේ, විශේෂයෙන්ම ආගමික සහ වාර්ගික සුළුතරයන්ගේ, මානව හිමිකම් ආරක්ෂකයින්, සාමකාමීව රැස්වීමට සහ ඇසුරට ඇති අයිතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ නිදහසට ඇති අඛණ්ඩ අවදානම යෝජිත ත්‍රස්ත විරෝධී යටතේ ඵලදායී නිසි ක්‍රියාදාම සහතිකයක් නොමැතිව දේශපාලන විසම්මුතිය සීමා කළ හැකිය.
තවද, යෝජිත පනත සඳහා අවශ්‍ය සංශෝධන සිවිල් සමාජය සහ අදාළ සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සිදු කරන තෙක්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිතා කිරීම වහාම අත්හිටුවන ලෙස අපි නිර්දේශ කරමු.
මානව හිමිකම් කවුන්සිලය විසින් අපට ලබා දී ඇති වරම යටතේ, අපගේ අවධානයට යොමු කරන ලද සියලුම සිද්ධීන් පැහැදිලි කිරීමට උත්සාහ කිරීම අපගේ වගකීමක් වන බැවින්, ඉහත සඳහන් කරුණු සහ සැලසුම් කළ හෝ ක්‍රියාත්මක වන සැලසුම් පිළිබඳව ඔබගේ  රජයේ නිරීක්ෂණ ලබා දෙන්නේ නම් කෘතඥ වන බව එම සංදේශය අවසානයේ දී කියා සිටී.
ශ්‍රී ලංකා ආණ්ඩුව තවමත් මෙම සංදේශයේ දැක්වෙන කරුණූ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් එක්සක් ජාතීන් වෙත දක්වා නැත.
මෙය නිල පරිවර්ථනයක් හෝ සම්පූර්ණ පෙළ පරිවර්ථනයක් නොවේ. ඉංග්‍රිසි බසින් ඇති ලිපිය සඳහා මෙම දිගුවට යන්න.

අත්සන් කලේ:

Fionnuala Ní Aoláin, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී මානව හිමිකම් සහ මූලික නිදහස ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරු

Mathew Gillett, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සන්නිවේදනය පිළිබඳ උප සභාපති

Aua Baldé, බලහත්කාරයෙන් හෝ ස්වේච්ඡාවෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සභාපති-වාර්තාකරු

Irene Khan, අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරු

Clement Nyaletsossi Voule, සාමකාමීව රැස්වීමේ සහ සංගමයේ නිදහසේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු

Mary Lawlor, මානව හිමිකම් ආරක්ෂකයින්ගේ තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු

Margaret Satterthwaite, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු

Fernand de Varennes, සුළුතර ජාතික ගැටළු පිළිබඳ විශේෂ වාර්තාකරු

Nazila Ghanaa, ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු

Archive

Latest news

Related news