Tuesday, May 28, 2024

වැටුණු වලට වඩා ලොකුවලක් කපන IMF යෝජනා – මහාචාර්ය චරිත හේරත්

මේ සතියේ රටේ දේශපාලනය උණුසුම් කරන එක් මාතෘකාවක් වන්නේ IMF සංවිධානය සමග ඇතිකර ගත් එකඟතාව කුමන ආකාරයේ එකක් ද යන කාරණයය. මේ සතියේ පාර්ලිමේන්තුවේ ද පැවැත්වෙන ප්‍රධානතම විවාදය වන්නේ ද මේ එකඟතාව පිළිබඳවය. මෙහි ඇති වැදගත්කම වන්නේ මෙතෙක් කාලයක් අපේ රට සහ IMF  සංවිධානය අතර ඇති වූ ගිවිසුම් අතරින් මේ ගිවිසුම ඉතාමත් සංකීර්ණ හා භයානක එකක් බව පෙනී යාමය. මෙවර කිවිදා දැක්මෙන් ‘IMF deal’ එක ගැන ලියන්නේ එහි ඇති මේ භයානකත්වය නිසාය.

වාර්තාවේ සන්ධර්භය සහ මෑත කාලීන ආර්ථික ප්‍රවණතා

IMF  එකඟතාව පිළිබඳව ඉදිරිපත් වී ඇති මෙම වාර්තාවේ මුල්ම කොටස වෙන් වන්නේ මෙරට ආර්ථිකය මේ තත්ත්වයට ඇද වැටුණේ ඇයිදැයි ප්‍රශ්නයට ඒ අයගේ පිළිතුර ලබා දීමටය. IMF එකට අනුව මේ ගැටලුවට හේතුව ලෙසින්  එක් දෙයක් පමණක් ඉදිරිපත් කළ නොහැකිය. ඔවුන්ට අනුව මේ අර්බුදයේ මූලයන් 2015 පසුව වර්ධනය වෙමින් පැවතී ඇත.
විශේෂයෙන්ම 2015 – 19 වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් සිටි කාලායේත් 2019 – 22 රාජපක්ෂ මහතුන් ජනාධිපති, අගමැති සහ මුදල් ඇමති තනතුරු දැරූ කාලවලත් ගනු ලැබූ වැරදි තීරණ මේ තත්ත්වයට හේතු වූ බව IMF වාර්තාවේ නිශ්චිතව සඳහන් වන බව පැවසීම නිවැරදිය.
මෙම වාර්තාව තුළ අන්තර් ගත අනෙක් වැදගත් කොටස් වන්නේ ශ්‍රී ලංකාවට මෙම ණය වාරිකය ලබා දීමට පදනම් වන කාර්ය මණ්ඩල වාර්තාව (Staff report) සහ එයට එක්කර ඇති ඇමුණුම් සමූහයයි.

වැඩසටහනේ පරමාර්ථ

IMF ගිවිසුමේ සඳහන් වන ආකාරයට මෙවර වැඩසටහනේ පරමාර්ථ 06 ක් ඇතුළත් වේ. ඒවා නම්
1 මූල්‍ය ආයතන සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය ඇතුළත් කර ගත්තා වූ ආදායම් වර්ධනය මත පදනම් මූල්‍ය ඒකාග්‍රතාවක් ගොඩනැගීම, 2. රාජ්‍ය ණය ගැඹුරු ලෙසින් ප්‍රතිව්‍යූහගත කිරීම, 3. විනිමය අනුපාතය නම්‍යශීලි වූ මිල ස්ථායිකරණයක් (Price Stablity) උපාය මාර්ග අනුගමනය කිරීම, 4. මූල්‍ය අංශයේ ස්ථායිතාව ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්ති, 5. දූෂණය අවම කිරීම සඳහා වූ ප්‍රතිසංස්කරණ, 6 ආර්ථික වර්ධනය දියුණු කිරීම යන කාරණාය.
 මෙම වැඩ සටහන් පරමාර්ථ සාධනය කිරීම සඳහා IMF ආයතනය විසින් ශ්‍රී ලංකා රජයට දෙනු ලබන නිර්දේශ මෙම වාර්තාව පුරාම ඇත. සමහර නිර්දේශ හුදු නියෝග මිස රාජ්‍යයකට දෙනු ලබන යෝජනා හෝ නිර්දේශ නොවන බව පැවැසීම නිවැරදිය.
 මෙහි පළමු පරමාර්ථය වන්නේ රටේ ආදායම වර්ධනය කිරීමට නම් ශ්‍රී ලංකා රජය කළ යුතු යැයි IMF සංවිධානයේ නිර්දේශ ඉදිරිපත් කිරීමය. ඔවුන්ට අනුව ලංකා රජය 2023 වසර අවසාන වීමට පෙර රටේ අයවැය හිඟය GDP හෙවත් දළ ජාතික නිෂ්පාදිතයට (ද.ජා.නි.) ප්‍රතිශතයක් ලෙස සියයට 3.8 සිට සියයට 0.7 දක්වා අඩු කළ යුතුය. එසේ අඩු කරන්නේ කෙසේද යන ගැටලුවට IMF සංවිධානයේ පිළිතුරු සහ නිර්දේශ ද එහිම සඳහන් කර ඇත. එසේ කිරීමේ මූලික පියවරක් ලෙසින් රටේ බදු ආදායම ද.ජා. නිෂ්පාදිතයේ සියයට 10 ප්‍රතිශතයක් දක්වා වැඩිකළ යුතුය. ඒ සඳහා රජය දැනටමත් පුද්ගල ආදායම් බදු (Personal in come Tex) බරපතළ ආකාරයෙන් වැඩිකර ඇත. රජය මේ බදු එක වැඩිකර ඇත්තේ රටේ රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රවල වැඩකරන නිශ්චිත වැටුපක් ගනු ලබන අයගෙන්ය. රටේ අවිධිමත් ක්ෂේත්‍රයේ (Informal Sector) සහ නිශ්චිත රාජ්‍ය සම්බන්ධතාවක් ගණනය කළ නොහැකි අංශවල විශාල ආදායමක් ලබන අය මෙම බදු ආකෘතියට ගැනීමේ කිසිදු යාන්ත්‍රණයක් රජයට නැති බව ද මෙහි දී සඳහන් කළ යුතුය.
 ආණ්ඩුවේ ආදායම වැඩි කරන්නට උපාය මාර්ග 03 ක් මෙම වාර්තාව තුළ IMF සංවිධානය විසින් රජයට නිර්දේශ කරනු ලැබ තිබේ. පළමු වැන්න වන්නේ රටේ බදු ප්‍රතිපත්තිය (Tax policy)  වහාම වෙනස් කිරීමය. දෙවැන්න වන්නේ ආදායම පරිපාලනය සඳහා නව ප්‍රතිසංස්කරණ (Revenue Administration Reforms) ඇති කිරීමය. තුන් වෙනුව නිර්දේශ කරන්නේ රාජ්‍යයේ වියදම කළමනාකරණය සඳහා ක්‍රමවේ ද හඳුන්වා දීමය.
අය – වැය හිඟය පියවීමට සහ රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීමට මෙම පියවර 03 ගතයුතු යැයි සංකල්පයක් ලෙසින් ඉදිරිපත් කිරීම එකක්ය. එහෙත් මෙවර IMF සංවිධානය නියෝගයක් ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ ඉහත ක්‍රමවේද 03 සඳහා IMF සංවිධානය විසින් අනුමත කරනු ලබන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවයි. දැනට පනවා තිබෙන අසීමිත බදු ගැසීම් ඉදිරියට  පවත්වා ගෙන යා යුතුවා පමණක් නොව 2025 වන විට දේපොළ බදු (Proporty tax) සහ තෑගි සහ පැවරීම් බදු (Gift and Inheritance tax) වැනි නව බදු ගැසීම් ගණනාවක් ආරම්භ කළ යුතුය. මේ බදු ගැසීම් ඒ ඒ වර්ෂවල නිශ්චිතවම සිදුකළ යුතුවා පමණක් නොව මාසයෙන් මාසයට, කාර්තුවෙන් කාර්තුවට ඒවාගේ ප්‍රගතිය IMF සංවිධානය විසින් ගණනය කරනු ඇත. මීට පෙර  IMF  සමග ඇතිකර ගත් ගිවිසුම්වලට වඩා මේ ගිවිසුමේ තිබෙන එක් විශේෂත්වයක් වන්නේ ගිවිසුමේ සෑම වගන්තියක්ම නැවත IMF සංවිධානයේ පරීක්ෂණයට හා පසු විපරමට ඉඩ ලැබෙන ඉතාමත් තද යාන්ත්‍රණයක් එක්කොට තිබීමය.
 එසේ ඉදිරිපත් කර ඇති සමහර තද නීති සහ සීමා කිරීම් පුදුම සහගත ඒවා බව මගේ අදහසය. අපට තේරෙන භාෂාවෙන් කියන්නේ නම් ගෙදරක ළදරුවෙක් ඇවිදින්න පටන් ගන්නා කාලවල ඒ නිවසේ දොර කවුලු ආවරණය කර දරුවාට එක සීමාවක ඇවිදින්නට ඉඩ සදන්නාක් සේ ලංකා ආර්ථික භූමියේ IMF කඩොලු රඳවා ඇති ඒ අය කැමැති ප්‍රදේශයට රටේ පාලකයන් සීමා කර තිබේ. මේ IMF වැටකඩොලු සඳහා විවිධ තාක්ෂණික නම් භාවිත කර තිබේ. සමහර ඒවාට කියන්නේ ‘ව්‍යූහාත්මක කඩයිම්’ (Struchural Bench Marke) කියාය. තවත් සමහර ඒවාට කියන්නේ ‘සංඛ්‍යාත්මක ප්‍රගති මැණීමේ මිණුම්’ (Quantitative Perfocmnce Criterion) කියාය. තවත් ඒවාට කියන්නේ ‘විධානාත්මක ඉලක්ක’ (Indicative Target) කියාය.
මෙවැනි සීමාකම් ලකුණු කරමින් මෙරට රජය සහ එහි ප්‍රධානීන් ‘පොඩි ළමයින්’ ගණනට දැමූ නිර්දේශ ගණනාවකින් මේ වාර්තාව පිරී ගොස් ඇති බව මගේ නිරීක්ෂණයයි.
රජයේ ආදායම වැඩිකර ගැනීමට යෝජනා කිරීමෙන් එහාට රාජ්‍ය මුදල් කළමනාකරණය සඳහා මේ එකඟතාව මගින් එකඟ වී ඇති දෙයක් වන්නේ ‘මහජන මුදල් කළමනාකරණ පනතක්  හඳුන්වා දීමය. ඒ පනත තුළ ඇතුළත් විය යුත්තේ මොනවා ද යන්න නිර්දේශ කරන්නේ ද IMF සංවිධානය දැයි අප දන්නේ නැත. මේ එකඟතාව තුළ ඉදිරිපත් වෙන තවත් අලුත් පනතක් වන්නේ නව මහ බැංකු පනතය. එය හැදිය යුත්තේ කෙසේද කියා උපදෙස් මාලාවක් මේ වාර්තාවේ ඇමුණුම් VI යටතේ එක්කර තිබීමෙන් පැහැදිලි වන්නේ රටේ නීති හැදීමේ බලයත් IMF සංවිධානය යටතට ගන්නා ආකාරයේ තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.

රාජ්‍ය ව්‍යාපාර 52 මොනවා ද?

මේ වාර්තාවට අනුව වත්මන් රජය IMF සමග එකඟ වී ඇති ආකාරයට රාජ්‍ය ව්‍යාපාර 52 ක් එක කාණ්ඩයකටත් CEB, CPC, RDA සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය තවත් කාණ්ඩයකටත් දමමින් ප්‍රතිව්‍යූහගත කරන බවට එකඟ වී ඇත. විදුලිබල මණ්ඩලය (CEB)  ප්‍රතිව්‍යූහගත කරනවා යැයි කියමින් නව පනතක් ලබන මාසයේ ගෙන එන බව එහි ඇමැතිවරයා සඳහන් කර ඇත. CPC  ප්‍රතිව්‍යූහගත කරනවා යැයි කියන්නේ ඉන්ධන බෙදා හැරීමේ ඉතිරි ටිකත් කාට හරි විකුණා දැමීමටය. මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) යනු වෙනමම ආයතනයකි. එහි ලාභ පාඩු ලේඛනය කළමනාකරණය අවශ්‍ය නම් එය සිදුකිරීමේ වැරැද්දක් නැත. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කළ යුතු යැයි අප කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව තිබෙන කාලයේ සිටය. එහෙත් එය විකුණන්නටත් බැරි තරමේ අවුලකට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය.
මෙහිදී අපගේ අවධානය යොමු විය යුත්තේ රජය මෙවර IMF සංවිධානය සමග එකග වී ඇති අනෙක් රාජ්‍ය ආයතන 52 කවරේද යන්නයි. ඒවායේ ලැයිස්තුවක් මේ වාර්තාවේ ඇමුණුමක් ලෙසින් හෝ නැත. ආණ්ඩුවේ මිතුරන් අතර ලාභ ලබන ආයතන (SLT, Mobitel, ලංකා හොස්පිටල්, ජයවර්ධනපුර රෝහල, ලිට්රෝ ගෑස් වැනි) ලැයිස්තුවක් ‘පසුපස දොරෙන්’ එකතු කිරීමට ආණ්ඩුවේ සමහරුන් උත්සාහ කරනවාද යන සැකය මතුවීම නිසා සාධාරණය.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම

මෙවර IMF එකඟතාවේ තිබෙන බරපතළ හා සංවේදී කාරණයක් වන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමය. මේ පිළිබඳව කතාන්දරය ඉතාමත් දිගය. ඉතාමත් සංකීර්ණය.
1977 සිටම දීර්ඝ කාලීන ගෙවීමේ පදනම මත සංවර්ධන යෝජනා සඳහා ශ්‍රී ලංකාව ණය ලබා ගෙන ඇත. රටේ විදේශ මූල්‍ය සංචිත ගොඩ නැංවීමේදී මේම අංශය ඉතාමත් වැදගත් දායකත්වයක් දක්වන බව පැහැදිලිය. ඒ හැමදාටම නොවේ. රටක සංවර්ධන උපාය මාර්ග ගොඩ නැංවීමේ අර්ථයෙන්, විශේෂයෙන් දීර්ඝ කාලීනව ලාභ උපයන ව්‍යාපෘති සඳහා ණය මත ආයෝජනය කිරීමෙන් වාසි කීපයක්ම සැලසෙන හෙයිනි. ඒවා නම් දීර්ඝ කාලීන ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායම, සේවා එක් පැත්තකිනුත්, රැකියා නියුක්තිය තව පැත්තකිනුත්, යටිතල පහසුකම් තව පැත්තකිනුත් විදේශ මූල්‍ය සංචිතයට එක්වීම තවත් පැත්තකිනුත් මෙහිදී වාසි සහගතව හැසිරෙයි. මහවැලි ව්‍යාපෘතිය (සමහරක් ණය නොව මූල්‍ය ප්‍රධාන ලෙසින් ද පැමිණෙමින්) එවැනි දීර්ඝ කාලීනව වාසි සැළසෙන සංවර්ධන ව්‍යාපෘතීන්ය.
 එහෙත් අද රට මුහුණ දෙන ණය අර්බුදය එවැන්නක් නොවේ. ඒ ණයට අමතරව 2008 වර්ෂයේ සිට අපේ දේශපාලනඥයන් අලුත්  ආකාරයේ ණය ගැනීමකට යොමුවිය. ඒ මූල්‍ය වෙළඳපොළෙන් ස්වෛරී බැඳුම්කර හරහා වැඩි පොලියක් ගෙවන්නට සිදුවන කෙටිකාලීන ණය ලබා ගැනීමය. ISB ණය කියන්නේ මේවාටය. 2008 සිට 2015 දක්වා රාජපක්ෂ ආණ්ඩුව ඩොලර් බිලියන 04 පමණ මේ ISB ණය ගත්තේය. 2015-19 දක්වාව බලයේ සිටි වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් සිටි රජය ඒ වසර හතරේ තවත් ඩොලර් බිලියන 10 වඩා වැඩි ISB ණය ප්‍රමාණයක් ගත්තේය.
 අපේ රටේ ණය අර්බුදයේ එක් පාර්ශ්වයක් නියෝජනය කරන්නේ රාජපක්ෂ – වික්‍රමසිංහ ආණ්ඩු විසින් කරන ලද මේ ණය ගැනීමේ ක්‍රියාදාමය මිස අනෙකක් නොවේ. දැන් IMF සංවිධානය විසින් ප්‍රතිව්‍යූහගත කළ යුතු යැයි කියන්නේ මේ ISB ණය සහ අනෙකුත් දේශීය හා විදේශීය ණය වාරිකය. IMF වාර්තාවට අනුව රටේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.5 කි. එයින් විදේශීය ණය ඩොලර් බිලියන 41.4 කි. අනෙක් 42.1 (ඩොලර් බිලියන) ගණන රට ලබාගෙන ඇති රුපියල් ණයවල ගණනය. මේ සියලු ණය ප්‍රතිව්‍යූහගත කරනවා යැයි කියන්නේ රටේ බැංකු පද්ධතියෙන් ලබාගෙන ඇති ණයත් ඇතුළත්වය. එහිදී ක්‍රම 02 කින් ප්‍රතිව්‍යූහගත කිරීම කළ හැකිය. එකක් වන්නේ ණය ගෙවීමේ කාලය දිග් කරමින් ගණන එසේම තබා ගැනීමය. අනෙක් ක්‍රමය වන්නේ ආපසු ගෙවන්නට තිබෙන ගණනේ පොලිය හෝ වාරික ප්‍රමාණය කොටසක් කපා දැමීමට ණය හිමියා එකඟකර ගැනීමය. Financial Helr cut කියන්නේ මේ දෙවැනි ක්‍රමයටය.
අපේ රටේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම තවමත් ඇරඹුණේවත් නැත. මීළඟ මාස 06 තුළ එය සිදුකළ යුතුය. දේශීය ණය කියන්නේ රාජ්‍ය බැංකු සහ ETF / EPF වැනි අරමුදල්වලින් රජය ලබාගත් ණයය. ඒවා ප්‍රතිව්‍යූහගත කිරීම යනු නිදහසින් පසු අපේ රටේ සිදුවන සංවේදී හා බරපතළම මූල්‍ය ගැටලුව බවට පත්වීමේ ඉඩක් ද ඇත.
IMF එකඟතාව ගෙනෙන අය කියන්නේ රට හිරවී තිබෙන ISB උගුලෙන් ගැලවෙන්නට මේ මග හැර වෙන මගක් නැති බවය. එහෙත් හාස්‍යයට කාරණය වන්නේ IMF වාර්තාවේ Table 6 තුළ ඉදිරිපත් කර ඇති 2019-2028 වර්ෂවල විදේශ මූල්‍ය පුරෝකතනයේ පෙන්වන්නේ 2027 සිට නැවත වසරකට ඩොලර් බිලියන 1.5 පමණ ISB ණය ගනිමින් ඉදිරියට යාමය. වැටුණු වලට වඩා ලොකුවලක් කපන්නට IMF යෝජනා කරන බව මා කියන්නේ ඒ නිසාය.

( Lankadeepa)

Archive

Latest news

Related news