Tuesday, May 28, 2024

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද?  අන්තර් ජාතික අත්දැකීම් (2) – රංජිත් හේනායකආරච්චි.

ඡායාරූපය: මාග්‍රට් තැචර්ගේ නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙත් එරට වැඩ කරන ජනයාට මාරකයක් විය.

මෙහි පලමු කොටසින් සාකච්ඡා කලේ පෞද්ගලික හෝ රාජ්‍ය ව්‍යවසාය සාර්ථක හෝ අසාර්ථක වීම රඳන්නේ එම ව්‍යාපාරයන්හි කළමනාකරණයේ දක්ෂ අදක්ෂකම මත බවත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යපාර අසාර්ථක වන විට රාජ්‍ය මැදිහත්වී ඒවා ගලවා ගැනීමට සිදුවීම ගැනය.

ලාභ ලබන හැටි

දැන් අප අඩු ලාභ ලබන ආයතනයක් පෞද්ගලිකකරණය තුළින් වැඩි ලාභ ලබන්නේ කෙසේද? යන්න විමසා බලමු.

එහි සිදුවන ක්‍රියාදාමය වන්නේ සේවකයින් ප්‍රමාණය අඩු කිරීම, පඩි අඩු කිරීම, තිදෙනෙකුගේ වැඩ දෙදෙනෙකු කරන තත්ත්වයට පත් කිරීම, ආදී දේවල් තුළින් ලාභය උපරිම කිරීමයි. මෙය ඔවුන් හඳුන්වන වචනය තාර්කිකකරණය යන අදහස ඇති rationalization යන්නයි. ඒ තුලින් සමාජයකට සිදුවන හානි ගණනාවක් තිබේ.

(මෙසේ නව ලිබරල්වාදී ලාබ උපරිම කර ගැනීමේ විපාක ගැන (25. 03. 2020) මවිසින් ලියූ නව ලිබරල් අර්බුදය සහ කොරෝනා වසංගතයෙන් පසු ලෝකය යන ලිපිය බලන්න.)

Burnout is changing your brain. Here's what to do | CNN
වැඩ තෙරපුම සේවක සේවිකාවන් රෝගීන් බවට පත්කරයි

වැඩ කරන ජනයා ලෙඩ කරවීම

දැන් අපි යම් ආයතනයක් ගෙන බලමු.  ආයතනයේ වැඩ කරන අයගේ වැටුප් ප්‍රමාණය අඩු වීමත් වැඩ ප්‍රමාණය වැඩි වීමත් තුළ සේවකයා ආතතික තත්ත්වයකට පත් වේ. එවිට ඔහු හෝ ඇය  රෝගී වන මට්ටමකට(අසාදනය)  පත් වේ. එසේම  තුලින් තවත් කොටසක් මානසික තෙරපුම නම් (බර්න් අවුට්) නම් රෝගී තත්ත්වයට පත්වේ. මේ රෝග දෙකම මේ වන විට බටහිර නව ලිබරල් ආර්ථිකයට නතු කල රටවල සුලබ වී ඇත. දැන් මෙම අසනීප තත්වය සමාජය මත විශාල බරක් පටවයි. මෙම පවුලේ දරුවන් එ් තුලින් ලබන ආතතිය ඉන් එකකි. රැකියාව කිරීමට බැරි තත්වයකට පත් වන බැවින් ඔහුගේ හෝ ඇයගේ පවුල නඩත්තු කිරීමට රජයේ සහනාධාර දීමට සිදු වේ.

මීට අමතරව ආතතිය සමනය කර ගැනීමට තවත් කොටසක් මද්‍යසාරයට ඇබ්බැහි වී ඒ තුලින් රෝගාතුර වෙයි.

දැන් එවැනි වානිජ ව්‍යාපාරයක් විශාල ලාභයක් ලැබුවා වුවත් සේවකයා වෙනත් ආකාරයකින් සමාජ රක්ෂණ මුදල් මත යැපෙන එනම් රජය මත යැපෙන තත්ත්වයට වැටෙයි.

රජය පුද්ගලික අංශයට කරන වත්‍ර ගෙවීම්

පැය අටක් සේවය කිරීමෙන් පසුව අවශ්‍ය ප්‍රමාණයට වේතනයක් නොලබන්නේ නම් තම දරුවන් කුස ගින්නේ නොතැබීමටත් ගෙවල් කුලී ගෙවීමටත් වැනි කාරණා සඳහා ඔවුනට රාජ්‍ය සහනාධාර ඉල්ලීමට සිදුවේ. එනම් ඔබ වැඩ කරන දුප්පතකු බවට පත් වනවා පමණක් නොව සමාජ ආධාර ඉල්ලන හිඟන්නකු බවට පත් කරයි.

එහිදී සිදු වන කරුණු දෙකක් ඇත. එකක් වක්‍ර ආකාරයකින් රාජ්‍ය මුදල් මේ පෞද්ගලික ව්‍යවසායකයින්ට දීමක් එ තුළින් සිදු වෙයි.

අනෙක එවිට ඔහුගේ ආත්ම ගරුත්වයට සිදු වන හානිය කොයි තරම්ද යන්නයි. තම ආත්ම අභිමානයට පහර වැදීම තුල ඔවුන්ගේ පෞරුෂත්වය විනාශ කර දමයි. මෙවැනි පවුල්වල දරුවන් විඳින මානසික අසහනය කොතරම් දැයි සිතා ගත නොහැකි තරම්ය. මෙය සමාජයකට කරන හානිය ගණනය කරන්නේ කවරෙක්ද? එවැනි තත්ත්වයක් සමාජයක නිරෝගී ප්‍රජාතන්ත්‍රීය වර්ධනය අවහිර කරයි.

තැචර්ගේ නව ලිබරල් එංගලන්තයේ වැඩ කරන ජනයා 

ලාභ ලබන රාජ්‍ය ආයතනයක් පෞද්ගලික කරණය කිරීම තුළ සිදු වන්නේ රාජ්‍යයට ලැබෙන මුදල් වක්‍ර ආකාරයකින් කොම්පැනියට ලබා ගැනීමට හැකි වන ආකාරයේ වැඩ පිළිවෙළකට යාමයි. එපමණක් නොව ඉහත සඳහන් පරිදි සේවකයා අතෘප්තිකර තත්ත්වයකට පත් කිරීම සහ රෝගාතුර තත්වයකට පත් කිරීම වැනි කාරණා මේ තුළ ඇති වන අතර එවිට රටෙහි පොදු සමාජ මට්ටමටත් එය විශාල හානියක් පමුණුවයි.

මේ පිළිබඳව දැන ගැනීමට  ඔබට මාග්‍රට් තැචර් ගේ කාලයේ එංගලන්තයේ කම්කරුවන්ට සිදු වූ තත්ත්වයත් එයින් පසු එම කම්කරු පවුල් වලට මුහුණ දීමට සිදු වූ ඇති ඛේදවාචකයත් කියවා බැලිය හැක. එවිට නව ලිබරල්වාදය වැඩ කරන ජනයාට ඇති කරන පීඩාව  තේරුම් ගැනීමට පහසු වනවා ඇත.

ක්‍රම දෙකම අසාර්ථක වන්නේ කළමණාකරණ වරදෙනි

මම කිසිසේත්ම පෞද්ගලික ව්‍යවසාය ට විරුද්ධ නොවෙමි. නමුත් රාජ්‍ය ව්‍යවසාය තුල පැවතිය යුතු ප්‍රධාන අංශ ගණනාවක්  කිසියම් ආකාරයකින් පෞද්ගලිකකරණය කිරීමට මම එකඟ නොවෙමි. ‍අධ්යාපනය,  සෞඛ්‍ය සේවාව සහ ගමනාගමනය වැනි දේවල් රාජ්‍ය ව්‍යවසාය ලෙස පවත්වා ගැනීම  වැදගත් ය. අනිත් කාරණය වන්නේ මේ ක්‍රම දෙක තුළම අසාර්ථක ව්‍යාපාර පවතින අතර ඒ දෙකෙහිම වන අසාර්ථකත්වයන්හි දී  රාජ්‍ය සම්පත් ඒවා බේරා ගැනීමට යොදාගැනීමයි.

දැන් අපි සම්පූර්ණයෙන් වෙළෙඳපොළ ආධිපත්‍යයට ඉඩදී රාජ්‍ය කළ යුතු වන්නේ ආරක්ෂාව වැනි දේවල් බලා ගැනීම යයි කියන තර්කය දෙස බලමු. එය නව කොන්සවර්ටිව් (Neocon) මතයයි. එය හඳුන්වන ජනප්‍රිය නම වන්නේ නව  ලිබරල්වාදයයි.

බංකොළොත් වුණේ ගසා කෑමෙන්

ලංකාව බංකොලොත් වූයේ කෙසේද? ලංකාව බංකොලොත් වන්නේ රාජ්‍ය ව්‍යවසාය නිසා නොව රටෙහි පාලක පන්තිය සහ නිලධර පංතිය විසින් ම රටෙහි රාජ්‍ය දේපළ තමන්ගේ පෞද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම නිසාවෙනි. කෙලින්ම කියන්නේ නම් රටක් වශයෙන්ම පවතින දූෂණය හේතුවෙනි.

නමුත් දැන් අප බැලිය යුත්තේ ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරිකයන් ඒ තත්ත්වය තුළ බංකොලොත් වූයේ කෙසේද යන්නයි. ඇත්ත වශයෙන්ම එවැනි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් ගණනාවක්ම තමන් නිර්යාත කළ භාණ්ඩවලට ලැබෙන ප්‍රාග්ධනය ඩොලර් බිලියන 40ක් පමණ වෙනත් රටවල් වල බැංකුවල තැන්පත් කර ඇති බව දැන් අපි දනිමු.

පෞද්ගලික ව්‍යවසාය ග්‍රීසියට කළ හදිය

එය සිදු වන්නේ එම ව්‍යවසාය රාජ්‍යයට අයත් නිසා නොවේ. පෞද්ගලික ව්‍යාපාරිකයින් කරන මෙම මූල්‍ය ගලනය තුළිනි. එතුලින් ඔවුන් තම ලාබවලට බදු ගෙවීම මග හැර තිබේ. ලංකාව තුළ තිබූ සහ මෙරට ව්‍යාපාර සඳහා ලද කොමිස්  මුදල් විශාල සම්භාරයක් මුදල් විවිධ රටවල් වල බැංකුවල තැන්පත් වී ඇති බව අපි දන්නෙමු. එසේ නම් පෞද්ගලික වෙළඳපොළට සම්පූර්ණයෙන් ආර්ථිකය හැසිරවීමට ඉඩ දුන්නොත් ඔවුන්ගේ මෙම අසීමිත තණ්හාවේ ක්‍රියාදාමය නිසා සිදු විය හැක්කේ රටකට යන එන මං නැති වීමයි. මෙයට හොඳම උදාහරණය ග්‍රීසියයි.

ග්‍රීසිය කඩා වැටීම සහ බංකොලොත් වීම පිළිබඳව බොහෝ අය අසා ඇත. ග්‍රීසියෙහි පැවතුනේ රාජ්‍ය ව්‍යවසායන් නොව පෞද්ගලික ව්‍යවසායන්ය. ග්‍රීසිය බංකොලොත් විය. ඒ කෙසේද? ‍ග්‍රීසියේ ව්‍යාපාරිකයින් තම නිර්යාත වලින් හෝ තමන්ගේ ව්‍යාපාර වලින් ලබන ලාභ තැන්පත් කරනු ලබන්නේ ලන්ඩන්, පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට්  සහ ස්විස් බැංකු වලය. එ් තුලින් ඔවුන් බදු ගෙවීම මග හරී. එනිසා රට තුළ ප්‍රාග්ධන හිඟයක් ඇති වී අවසානයේ දී රටේම බැංකු ක්‍රමයම කඩා වැටෙන මට්ටමකට පත් විය.

“කළ යුතු වන්නේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජර්මනිය, ස්කැන්ඩිනේවියන් වැනි රටවල මේ පෞද්ගලික ව්‍යවසාය සහ රාජ්‍ය ව්‍යසාය දෙකම පවත්වා ගනිමින් ජනතාවගේ සුභ සිද්ධිය සඳහාත් රටේ සුබ සිද්ධිය සඳහා ආර්ථික ශක්තිය ගොඩනඟා ගන්නා ආකාරය ගැනත් සිතා බලා ක්‍රියාත්මක වීමය.”

ආජන්ටීනාව වැටුණෙත් පුද්ගලික ව්‍යවසාය නිසා

ඔබ සැළකිලිමත්ව විමසා බලන්නේ නම් පසුගිය දශක දෙක තුන තිස්සේ ආජන්ටිනාව වැනි රටවල සිදු වූයේ ද මෙය බව පෙනෙනු ඇත. ලතින් ඇමරිකාව පුරාම පවතින්නේ, පැවැතියේ පුද්ගලික ව්‍යවසායන් මත පැවති රාජ්‍ය ක්‍රමයකි. නමුත් එම රටවල් අන්ත දුගී තත්ත්වයට ඇද දමන්නේ ඒ ක්‍රමය තුළමය.

එසේ නම් මෙම කාරණයේ දී අපි කොහේ යන හෝ මතයක එල්ලී ක්‍රියාත්මක වීමට වඩා කළ යුතු වන්නේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජර්මනිය, ස්කැන්ඩිනේවියන් වැනි රටවල මේ පෞද්ගලික ව්‍යවසාය සහ රාජ්‍ය ව්‍යසාය දෙකම පවත්වා ගනිමින් ජනතාවගේ සුභ සිද්ධිය සඳහාත් රටේ සුබ සිද්ධිය සඳහා ආර්ථික ශක්තිය ගොඩනඟා ගන්නා ආකාරය ගැනත් සිතා බලා ක්‍රියාත්මක වීමය. එසේ නැතිව  කෝකටත් තෛලය ලෙස සියල්ල වෙළඳ පොලට භාර දීම නොවේ.

ප්‍රාග්ධනය ක්‍රියාත්මක වන්නේ ලාභ ලබා ගැනීම මුල් කර ගෙනයි. රාජ්‍යය ක්‍රියාත්මක විය යුතු වන්නේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය සකස් කිරීම සඳහායි. එසේ නොවන තැනක රට කළකෝලාහල වලින් පිරී යන කැරලි වලින් පිරී යන තත්ත්වයක් මතු වීම වැළැක්විය නොහැකිය.

රනිල් කියන රටක් ලෝකේ නැහැ!

එනිසා අප කළ යුතු වන්නේ ආගමක් අදහන ආකාරයෙන් අන්ධ භක්තියකින් එක් ආර්ථික ක්‍රමයක් අදහමින් ඒ ගැන සිතීම නොව ලෝකය පවතින තත්වය තුළ කොයි ආකාරයකින් අප රට තුළ මෙම ක්‍රියාදාමයන්  ඉදිරියට ගෙන යා යුතු ද යන්න සිතා බැලීමයි.

අවසාන වශයෙනුත් මට මෙහි මතක් කිරීමට ඇත්තේ සම්පූර්ණයෙන් වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින කිසිම රටක් ලෝකයේ මේ වන විට නැති බවයි. ඒ වාගේම සියල්ල රාජ්‍ය ව්‍යවසාය මත පවතින උතුරු කොරියාව වැනි රටවල් ඇති  තත්වය ප්‍රකට ය. එරට පවතින්නේ තනි  නායක වන්දනාවක් ඇතිව සදාකාලික සාගතයකයි.

එනිසා අප කවර හෝ එක් ආර්ථික ක්‍රියාදාමයක් අදහන්නන් බවට පත් නොවී අඳ භාවයකින් ඒවා විශ්වාස නොකරමින් විමසා බලා පවතින තත්ත්වයන් සමග ක්‍රියාත්මක විම වැදගත් වේ යනු මගේ විශ්වාසයයි.

රංජිත් හේනායකආරච්චි.

28.03.2023

 

Archive

Latest news

Related news