Friday, April 19, 2024

සාකච්ඡා මාර්ගයට නාවොත් දින හතකින් දීර්ඝ වර්ජනයක්; සමිති අනතුරු හඟවයි!

ජනාධිපති වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති මධ්‍යස්ථානය සම කැදවුම්කරු රවී කුමුදේශ්  හැකි ඉක්මනින් සාකච්ඡා මාර්ගයට එළඹෙන ලෙස ඉල්ලා සිටින අතර, එසේ නොවන්නේනම් දින 7ක කාළයකින් පසු, වඩා දීර්ග වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට.අවතීර්ණ වීම හැර වෙනත් විකල්පයක් අපට ඉතිරිව නොමැති බවට අනතුරු හඟවා තිබේ.

ගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ

දීපව්‍යාප්ත ඒකාබද්ද සංකේත වර්ජනය සහ වෛද්‍ය සංගමය වෙත ඉදිරිපත් කර අති විසඳුම්

ශ්‍රී ලංකාවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව සහ වෙන් වෙන්ව සිදු කල ඉල්ලීම් ගණනාවක් නොසලකා හැරීම හේතුවෙන්, 2023.03.15 දින වැඩ වර්ජනයක් සිදු කල බව, ඔබ දැනුවත්ව ඇති බව විශ්වාස කරමු. තවද, සමස්ථ වෘත්තීය සමිති ව්‍යාපාරය එක්ව සිදු කල එම අරගලයට අදාල පිළිතුරක් ලෙස හැඟෙන පරිදි, ඔබ විසින් ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වෙත පමණක් යොමු ලද, විසඳුම් ලිපිය කෙරෙහිද, බාහිර පාර්ශවයක් ලෙස අපගේ දැඩි සැලකුල්ල යොමු වූ බව පෙන්වා දෙමු.

සමස්ථ වෘත්තීය සමිති ඒකාබද්ද වර්ජනයක් සිදු කරන අතරතුර ජනාධිපතිවරයා ලෙස ඔබ, එක් වෘත්තීය සමිතියකට පමණක් විසඳුම් ඉදිරිපත් කිරීම මගින් ඉදිරි ක්‍රියාමාර්ග දියාරු කිරීමට අපේක්ෂා කර ලද්දේ නම්, ඒ පිළිබඳව අප අතිශයින්ම කණගාටු වෙමු.

එය වනාහි, රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳව ජනාධිපතිවරයාගේ තක්සේරුව පිළිබඳව කියවීමක් වන අතර, මානසික අල්ලස් මගින්, වැඩකරන ජනතාවගේ සැබෑ අරගලයක් දියකර දැමීමට නොහැකි බව අප ඉතා අවධාරණයෙන් පෙන්වා දෙමු.

කෙසේ නමුත් එම ලිපිය මගින්, වෘත්තීය සමිති අරගලයට අදාල ගැටලු විසඳීම තබා, ගැටලුව කුමක්ද යන්න පවා හරි හැටි අවබෝධ කරගෙන නොමැති බව ඉතා පැහැදිළිව පෙනෙන්ට තිබෙන අතර, රටේ මහ ජනතාවගේ හඬ, හෑල්ලුවට ලක්කිරීම මිස ඊට කිසිදු වටිනාකමක් ලබා දීමේ සූදානමක් නොමැති බව නැවත වරක් සාක්ෂාත් කර තිබේ.

එසේම, රටේ ජනාධිපතිවරයා ලෙස ඔබ, දිගින් දිගටම තමන් දරන ස්ථාවරය පමණක් නිවැරදිය යන මතයේ රැඳී සිටිමින් කටයුතු කිරීමේ දැඩි ගතිකත්වයක්, එකී ලිපිය මගින්ද සනාථ කර තිබීම, ඉදිරියේදී දැවැන්ත අරගලයක් රට තුල නිර්මාණය වීමට හේතුවක් බව ඉතා කණගාටුවෙන් වුවද පෙන්වා දෙන්නෙමු.

එසේම, ඔබගේ නිල ෆේස් බුක් පිටුව, ජානාධිපති මාධ්‍ය ඒකකය, ජනාධිපති වෘත්තීය සමිති කාර්යාලය, වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා සහ බිය වැද්දීම සඳහා ගණු ලැබූ නිර්ලජ්ජිත උත්සාහයන් පිළිබදවද සලකා බැලීමේදී, ගැටළු සාමකාමීව විසඳා ගැනීමට ඇති හැකියාව වුවමණාවෙන්ම අහුරා දමමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

මේ පිළිබඳව ඔබගේ දැඩි සැලකිල්ල යොමු කරමින් හැකි ඉක්මනින් සාකච්ඡා මාර්ගයට එළඹෙන ලෙස ඉල්ලා සිටින අතර, එසේ නොවන්නේනම් දින 7ක කාළයකින් පසු, වඩා දීර්ග වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට.අවතීර්ණ වීම හැර වෙනත් විකල්පයක් අපට ඉතිරිව නොමැති බවද, කණගාටුවෙන් යුක්තව පෙන්වා දෙමු.

රවී කුමුදේශ්
සම කැදවුම්කරු
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති මධ්‍යස්ථානය

Archive

Latest news

Related news