Friday, April 26, 2024

අතීතයෙන් පාඩම් ඉගෙන අධිකරණයට අතපෙවීම් නවත්වන්න- නීතිඥ සංගමය ආණ්ඩුවට කියයි

අතීතයේ දී, විධායකයෙන් හෝ වෙනත් ඕනෑම අංශයකින් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වූ සෑම අවස්ථාවකම, නීතිඥ සංගමය සහ දිවයින පුරා සිටින එහි සාමාජිකයින් එවැනි ඇඟිලි ගැසීම්වලට දැඩි ලෙස විරුද්ධ වූ බව පෙන්වා දෙන නීතිඥ සංගමය ඒ අනුව ඉතිහාසයේ පාඩම් ඉගෙන ගෙන ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලූවට ලක් කිරීමෙන් වළකින ලෙස  රජයෙන් ඉල්ලා සිටී.

මේ බව දැක්වෙන්නේ ඉංග්‍රීසි බසින් මාර්තු 11 වන දින නිකුත් කළ නිවේදනයක ය.

පසුගිය දා පාර්ලිමේන්තුවෙහි දී  පළාත් පාලන මැතිවරණයට අදාළ ව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශයන් සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිවේදනය මගින් දැඩි කනස්සල්ල පළ කර තිබේ.

2023 මාර්තු 7 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී දොලවත්ත විසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු නියෝගය විවේචනය කළ බවත්, එම නියෝග පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කළ බවත් විනිසුරු මඩුල්ලේ එක් සාමාජිකයකුට අපහාස කළ බවත් චෝදනා කළ බවත් නිවේදනයේ දැක්වේ.

2023 මාර්තු 10 වැනි දින රාජ්‍ය අමාත්‍ය සේමසිංහ  සිය ප්‍රකාශය කරමින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති අතුරු නියෝගය පාර්ලිමේන්තු කාරක සභාව විසින් තීරණයක් ගන්නා තුරු  ඉදිරියට ගෙන නොයන ලෙස හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම ප්‍රකාශ දෙකම අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසීමක් වන අතර ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලු කරන බව නීතිඥ සංගමය කියා සිටී.

අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නීතියේ ආධිපත්‍යයට සහ රටේ ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතළ අපහාසයක් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. අධිකරණයේ ස්වාධීනත්වයට කරන මෙවැනි අපහාසයන්  කවරකු කළද නීතිය අනුව යුක්තිය ඉටු කිරීමට අධිකරණයට ඇති හැකියාව අඩාල වේ.

නීතිඥ සංගමයේ සභාපති  ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

Archive

Latest news

Related news