Friday, March 29, 2024

චූදිත දරුවන් වෙනුවෙන් සංවේදී විමර්ශනයන් සහ සාධාරණ නඩු විභාගය තිබිය යුතුය – යුනිසෙෆ්

වයස අවුරුදු 18ට අඩු ඕනෑම පුද්ගලයෙකුට හෝ දරුවෙකුටම, ළමා හිතකාමී ලෙස සාධාරණ විනිශ්චයක් ලබා ගැනීම සඳහා අයිතියක් ඇත.

විත්තිකරුවන් , සාක්ෂිකරුවන් මෙන්ම ශාරීරික හෝ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වූ වින්දිතයන් ලෙස සහ සිවිල් හෝ පරිපාලන කටයුතුවල පාර්ශවකරුවන් වශයෙන්, විවිධ හේතු නිසා දරුවන් නීතිය ඉදිරියට පත් වේ.

නඩු විභාගයන් වලදී ලබා දෙන අවසාන තීන්දු නිසා දරුවන්ගේ ජීවිතද ‌වෙනස් විය හැකිය. මින් සිදුවන කෙටි කාලීන බලපෑමක් ලෙස, දීර්ඝ කාලයක් ඔවුන් රැඳවුම් භාරයේ සිටින බැවින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අතරමඟ අඩාල වීම හැඳින්විය හැක.

රැඳවුම් බාරයේ සිටින විට, ඔවුන් වැඩිහිටියන් සමඟ සම්බන්ධ වීම නිසා ප්‍රචණ්ඩත්වයට හා අපයෝජනයට ලක්වීමට වැඩි
ඉඩක් ඇත. රැඳවුම් භාරයේ සහ නේවාසික රැකවරණයේ දීර්ඝ කාලීනව සිටින නිසා ඔවුන්ට තම පවුල් සමඟ සහ සමාජය
සමඟ තිබෙන සම්බන්ධතාවයන් මඟ හැරේ.

නීති පද්ධතිය තුල නීති උල්ලංඝණය කරන දරුවන්ගේ ඇතුළු සියළුම දරුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමද
ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමද සිදු කළ යුතුයි.

ළමා හිතකාමී සාධාරණ විනිශ්චයක් යනු පහසුවෙන් ළඟා විය හැකි, වයසට ගැළපෙන, කඩිනම්, කාර්යක්ෂම , දරුවා
කෙරෙහි අවධානය යොමු කරන, දරුවාගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම්වලට ගරු කරන, සාධාරණ, නීති ක්‍රියාපටිපාටියකි. ඊට සහභාගී වීමට සහ එය තේරුම් ගැනීමට ළමයට හැකි ආකාරයට සහ එය ඔවුන්ගේ පෞද්ගලික සහ පවුල් ජීවිතයේ ගෞරවය රැකදෙමින් කරගෙන යා හැකි ක්‍රමවේදයක් විය යුතුය.

මෙහිදී ඉතාමත් වැදගත්වන කරුණක් වනුයේ ළමා හිතකාමී ලෙස සාධාරණ විනිශ්චයක් ලබා ගැනීමට ඔවුන්ට විශේෂඥ,
පළපුරුදු ප්‍රවීණ සහ විශ්වාසනීය නීති වෘත්තිකයන් හා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දීමයි.

එවැනි වෘත්තිකයින් හා සම්බන්ධවීම හරහා දරුවන්ගේ අධිකරණ හා සම්බන්ධ අත්දැකීම සහ නඩුවේ අවසානය සුභදායි එකක් වීමට විශාල බලපෑමක් කළ හැකිය. ළමා හිතකාමී විනිශ්චයක් සහතික කිරීම සඳහා මාධ්‍ය සහ මහජනතාවද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

අප මහජනතාව ලෙස මාධ්‍යන්යහි සහ සමාජ මාධ්‍යයන් වල අසත්‍ය තොරතුරු ,අදහස් බෙදාගැනීමෙන් වැළකීම තුළින් ඒ
දරුවාගේ අභිමානය ආරක්ෂා කිරීමට මෙන්ම මාධ්‍ය සදාචාරත්වය ආරක්ෂා කිරීමටද දායක වේ. තවද ඒ තුළින්
විමර්ෂණ වලට බලපෑමක් නොවන නිසා සාධාරණ නඩු තීන්දුවක් පාර්ශවයන්ට හිමිවේ.

PRESS RELEASE/යුනිසෙෆ්

Archive

Latest news

Related news