Friday, March 29, 2024

ශවේන්ද්‍ර, රාජපක්ෂලාගේ කොන්ඩමයක් බවට පත්වීම සහ මිලිටරිමය රාජ්‍යයක් කරා ගමන! – සුනන්ද දේශප්‍රිය

ශවේ සහ ගෝටා; කලකද රසය කලකදි වහ වෙනවාලු!

කොන්ඩමය වනාහි අපූරු දෙයකි. පාඩම් ඉගෙන නොගත්තොත් වස අමාරුවේය.

අපේ යෞවන කාලයේ එයට කීවේ “ප්‍රීති” කියාය. “ප්‍රීති” දැන්වීමක් නැති හන්දියක් ගමේ ගොඩේවත් එකල තිබුණේ නැත.

දවසක් එකල අබලන් දඹුල්ල බස් නැවතුමෙහි සිටි මා සෙනග පොදිකනු දැක කුහුලෙන් එබී බැලූවෙමි.  ස්වේච්ඡා පවුල්  සෙෘඛ්‍ය සේවිකාවක දිග වම්බොට්ටකට කොන්ඩමයක් දමමින් එය පාවිච්චි කළ යුතු නිසි ආකාරය පෙන්වා දෙමින් සිටියේය. ජනයා එය රස කර තලු මරා නැරඹූහ.

පුරුෂ උපත් පාලන කොපු / කොන්ඩම් ගැන දැනගමු (Male Condoms) - Online Doctor Sri Lanka

බයියන්ට කොන්ඩමය වල්කමක්!

“රාජපක්ෂවාදී බයියන්ට කොන්ඩම් එකක් යනු වල්කමක් මිස එය ආරක්ෂිත ලිංගික ක්‍රියාවක් පිළිබඳ දැනුවත් භාවිතාවක් නොවූ” නිසා (- ජංගි විරෝධතාකරු ධර්මදාස) කොන්ඩම් දැන්වීම් වල් දැන්වීම් බවට පත්ව මරාගේ කාලයෙහි වල් වැදුණේය.

අරගල සමයෙහි හැඩකාර- වාචාල විරෝධතාකාරියක  ඩී.ඒ. රාජපක්ෂ කොන්ඩමයක් දා ගෙන හිටියා නම් ගෝටාට රට කන්නට නොලැබෙන  බවට නාද-රූපාකාර පොස්ටරයක් ඔසෙවා ගෙන සිටියේය. තවත් අරගලකරුවකු ඔසවා ගෙන සිටියේ “ කොන්ඩමයේ වටිනාකම රාජපක්ෂ හැතිකරය දෙස බැලීමෙන් පෙනේ’ කියාය.

වන්නාටය!

ජනප්‍රවාද ගත වමින්ද කොලුවා සිය මව ගැබ් ගැනීමට හේතුව තමා බව රහසේ කී විට ගුරුතුමිය උඩ ගොස් බිම වැටී “මොකක්” කියා ඇසූ විට හිනා කා ගෙන වමින්දයා කීවේ “ ටීචර් මම කොන්ඩම් සෙට් එකම හිල් කරල තිබුණේ” කියාය.

කොන්ඩමයක් දෙවරක් පාවිච්චි කළ නොහැක. එය ඉවත් කල  විට කුණු බක්කියට යයි. අද රාජපක්ෂ සැලැස්ම වන්නේ  ශවේන්ද්‍ර හිල් වූ සහ පාවිච්චි කල කොන්ඩමයක් බවට පත් කිරීමයි.

රාජපක්ෂවරු අතෙහි බොහෝ දෙනෙකුගේ ඉරණම බවට පත් කොන්ඩමයේ ඉතිහාසය වසර 500කට වඩා පැරණිය. ‘ප්‍රංශ ලෙඩේ’ යැයි පටබැඳුණූ සිපිලිස් සමාජ රෝගයෙන් ආරක්ෂා වීමට පළමු කොන්ඩමය නිපදවන ලද්දේ ද ප්‍රංශුවකුම විසිනි.

කොන්ඩමය සහ රාජපක්ෂවරු

ඒසා පැරණි ආරක්ෂිත උපාංගයක් ඩී.ඒ. රාජපක්ෂ නොපැළදි බැවින් සසිරිබර ලංකාව හොර හැත්තක් අතට ගිය බවට, හැඩකාර -වාචාල කතාකරුවන් සහ කතාකාරියන් විසින් ජන ප්‍රවාද ගත කළ කොන්ඩමයට දේශපාලන අරුතක් ලබා දීමේ ගෞරවයද එම පවුලටම හිමි වීම ඉතිහාසයේ සරදමක්ම වැන්න.

දැන් රාජපක්ෂ පවුලේ කොන්ඩම් තියරියට හසුව ඇත්තේ බොහෝ කාලයක් ඔවුන්ගේ හමුදා සේනාධිනායකයා වූ  සහ දේශපාලන සොල්දාදුවා වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ය. ශවේන්ද්‍ර ගෝටාගේ ආදි කාලීන ගජයෙකි.

සිල්වා කෙනෙකුට පුලුවන්ද ජනාධිපති වෙන්න?

සිල්වා කෙනෙකුට ජනාධිපති විය හැකි දැයි ඇසූයේ ද ලංකා කේජීබී (කැන්ඩියන් ගොයිගම බුඩිස්ට්) දේශපාලනයේ අනුහසින් වැජඹූනු තවත් ඝාතක දේශපාලනඥයෙකි. ඒ කොල්වින් ද සිල්වාට එරෙහිවය. ශවේන්ද්‍ර සිල්වාට ද රාජපක්ෂ කොන්ඩම් තියරිය ආදේශ වූයේ එවැනි ජායාමය කතාන්තර නිසා යැයි අයෙක් පවසත්.

ජෙනරාල් පොන්සේකාට විරුද්ධව රාජපක්ෂ පවුල ඉදිරියට ගෙනාවේ ජෙනරාල් ශවේන්ද්‍රය. රාජපක්ෂ දේශපාලනයේ කූට ප්‍රාප්තිය වූ  ගෝටාගමනය පිටුපස සිටි සොල්දාදුවා වූයේද ශවේන්ද්‍රය. එම කූටප්‍රාප්තිය, නීච ප්‍රාප්තියක් බවට පත්වෙත්දීත් රාජපක්ෂ පවුලේ සොල්දාදුවා වූයේ ජෙනරාල් ශවේන්ද්‍රය.

අයියයි මල්ලියි වාගේ – යුදපිටියේ දී

මං ආදර මට ආදර ශවේ!

ශවේ ශවේ යැයි ගෝටා මුවින් ආදර බස් නොතෙපුලූ දවසක් නොතිබූ තරම්ය. එතනත් ශ්‍රවේන්ද්‍රය. මෙතනත් ශවේන්ද්‍රය. ගෝටා,  රටම බියෙන් ගල් ගැස්සවූ කොවිඩ් වසංගතය පැරදවීමට කැඳවන ලද සෙන්පතියා වූයේ ද ශවේන්ද්‍රය.

මේ ලැයිස්තුව බලන්න:

2010 වසරේදී ඔහු එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස මරා විසින් පත් කර ලදී. 2010 වසරේ තානාපති නිලය ද සමඟ 2014 දෙසැම්බර් දක්වා එම තනතුර දැරීමට ඔහු වාසනාව ලැබුවේය. එවැනි රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දැරූ සක්‍රීය සේවයේ නියුතු එකම හමුදා නිලධාරියා ඔහු විය.

ඒ වන විටත් යුද අපරාධ චෝදනා ලැබ සිටි ශවේන්ද්‍ර මරා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවන ලද්දේ  හැකියාවක් නිසා  නොව එම චෝදනා ඉදිරිපත් කළ  අන්තර් ජාතික ප්‍රජාවට  ඔලොක්කුවටය.

2020 මාර්තු මාසයේ දී කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කැඳවන ලද්දේ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාය.

එම මාසයේදීම සමස්ත ප්‍රජා ජීවිතයේ පැවැත්ම උදෙසා අඛණ්ඩ සේවා සැපයීම මෙහෙයවීම, සම්බන්ධීකරණය සහ අධීක්ෂණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායටද ශවේන්ද්‍ර පත් කරන ලදි.

එම වසරෙහිම අප්‍රේල් මාසයේ දී ආර්ථික පුනර්ජීවනය සහ දිළිඳුකම පිටුදැකීම සඳහා  ජනාධිපති කාර්ය සාධක බලකායෙහි ද පුටුවක් ශවේන්ද්‍රට ලැබුණි.

2020 ජූනි මාසයේදී සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක් ගොඩනැගීමට ජනාධිපති කාර්ය සාධක බලකායෙහි දෙවැනියා වූයේද  ශවේන්ද්‍ර ය.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති තනතුරෙන් විශ්‍රාම යාමට පෙරම  වැඩබලන තනතුරට පත්  කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ඔහු  2022 ජුනි 01 දා සිට පත් කරන ලද්දේ ද ගෝටා විසිනි.

ශවේන්ද්‍රට සහ පවුලේ කිසිවකුට ඇමෙරිකා එක්සත් ජනපදයට අතුල්විය නොහැක.

යුද අපරාධකරුවෙක් – ඇමෙරිකා එක්සත් ජනපදය

මෙම සියලු උසස් වීම් සහ බලතල රාජපක්ෂ පවුල ජෙනරාල් ශවේන්ද්‍රට පිරිනමන ලද්දේ එක්සත් ජනපද ආණ්ඩුව විසින් ඔහු මානව හිමිකම් කෙලෙසූ හමුදා නිලධාරියකු ලෙස සලකා එරටට ඇතුළු වීම වළක්වමින් ලැයිස්තු ගත කර තිබියදීය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ කීවේය.

“එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් ලේඛන ගත කර ඇති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි මානව හිමිකම් උල්ලංඝන චෝදනා බරපතල සහ විශ්වසනීය ය.

2009 ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදු කරන ලද බරපතළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, එනම් අධිකරණයෙන් පරිබාහිර ඝාතන සම්බන්ධයෙන්, අණ දීමේ වගකීම හරහා ඔහුගේ සම්බන්ධය පිළිබඳ විශ්වසනීය තොරතුරු තිබේ”.

රාජපක්ෂලාට කඩේ නොගියොත්!

තමන්ට කොන්ඩමයක් වන තුරු එම චෝදනා රාජපක්ෂ පවුල පයිසෙකටවත් ගණන් ගත්තේ නැත.

යුද බිමෙහි දී දිගු කලක් ශවේන්ද්‍ර  ගෝටාගේ සමීපතමයා විය. සුදු කොඩි රැගත් එල්ටීටීඊ සටන්කරුවන් ඝාතනය කිරීමේ කුප්‍රකට සිදුවීම සම්බන්ධයෙන් ද ශවේන්ද්‍රට චෝදනා එල්ල වුණි. චෝදනාවන්ගෙන් කියවුණේ එම පිරිස ඝාතනය කරන ලෙස ගෝටා උපදෙස් දුන්නේ ශවේන්ද්‍රට බවයි. මෙම සිදුවීම තවමත් අන්තර් ජාතික තලයේ රැව් පිළිරැව් දෙන යුද අපරාධයකි.

අදත් මරපං !

යුද අපරාධ සම්බන්ධයෙන් දෙමළ ජනයාගෙන් ද  අන්තර් ජාතික ප්‍රජාවගෙන්ද බරපතල චෝදනාවන්ට ලක් වූ ජෙනරාල් ශවේන්ද්‍ර ඉහළටම ඔසවා තැබූ රාජපක්ෂවරුන් දැන් ඔහු දංගෙඩියට දක්කමින් සිටින්නේ, උතුරෙහි දී කළ පරිදි තම ආරක්ෂාව දකුණෙහි ජනයා ඝාතනය නොකිරීම නිසා ය. වෙනත් වචනයෙන් කියන්නේ නම් අරගලකරුවන්ට සහ අරගලකාරියනට වෙඩි තැබීමට නියෝග නුදුන්නේ යැයි වක්‍ර ලෙස චෝදනා කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ, ශවේන්ද්‍ර දං ගෙඩියට යැවීමේ ගහලයා ලෙස තෝරා ගත්තේ තමාගෙන් ආණ්ඩුකාර දේශපාලන පත්වීමක් ලැබ සිටි  සහ තරුණයින් පැහැර ගෙන ගොස් මරා දැමු  නඩුවක චෝදනා ලබා සිටින කුප්‍රසිද්ධ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩය.

2022 ජුනි මාසයේදී එවකට ජනාධිපති ගෝටා, එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක සහ ජෙනරාල් ආර්. එම්. දයා රත්නායක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර එහි ප්‍රධානියා බවට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පත්කරන ලදී.

පිං ජනපති පිං ගොන් වෙයිද?

එම වාර්තාව පිං ජනාධිපති රනිල් රාජපක්ෂ යටතේ ක්‍රියාවට නැගිය යුතු බවට රාජපක්ෂ  කඳවුර දැන් අධිකරණයට පැමිණිලි කර තිබේ.

කරන්නාගොඩ වාර්තාව කියන්නේ ජෙරාල් ශවේන්ද්‍ර 2022 මාර්තු මාසයේ සිට ඇති වූ ගෝටා ගෝ හෝම් දේශපාලන නැගිටීම් මර්දනය කිරීමට ‘අවම බලය’ ( එනම් වෙඩි තැබීමද ඇතුළුව) පාවිච්චි නොකළ බවයි.

එකී අරගල ක්‍රියාකාරිත්වය සහ මරාගේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පැන නැගි ප්‍රති ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් ශවේන්ද්‍ර නිකුත් නොකළ බවත්, එය හිතා මතා රාජකාරිය පැහැර හැරීමක් බවත් කරන්නාගොඩ වාර්තාව පවසයි.  පොදු දේපළවලට හා පුද්ගලයන්ට සිදුවන හානිය වළක්වා ගැනීමට භූමියේ සිටි හමුදාවන්ට නොහැකි වූයේ එම නිසා බවත් කරන්නාගොඩ පවසයි.

ශවේන්ද්‍ර සිර කරනු – කරන්නාගෙඩ

කරන්නාගොඩ වාර්තාවට අනුව ජෙනරාල් ශවේන්ද්‍ර සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණයක් සිදු කළ යුතු අතර සිතා මතාම සිය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පියවර ගත යුතුය. වෙනත් වචනයෙන් කියන්නේ නම් ඔහු බරපතළ දඬුවමක් ලබා දිය යුතුය.

එසේ වුවහොත් සිරගත වන දෙවන යුදකාලින හමුදාපති බවට ඔහු පත් වනු ඇත.

ප්‍රති ප්‍රචන්ඩ ක්‍රියා පැන නැගුනේ 22 මැයි 09දා මරාගේ දඩ බල්ලන් බැද දැමීමට ක්‍රියා නොකළ නිසාය.

එත් කොස්සක් තියෙනවා!

එසේ නමුත් ලොකු කොස්සක් ද තිබේ. එනම් රාජපක්ෂ කඳවුර පැමිණිලි කර ඇත්තේ ශවේන්ද්‍රට එරෙහිව පමණක් නොවීමයි.

මේ බලන්න.

රාජපක්ෂ කඳවුර අධිකරණයට පැමිණිලි කර ඇත්තේ තමන්ගේ නිවෙස්වලට එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, යුද හමුදාපති ලුතිනන් එව්.එල්. වී.එම්. ලියනගේ සහ තවත් නිලධාරීන් සම්බන්ධ දැයි තහවුරු කර ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසය.

මෙම නිලධාරීන් සතුව රාජ්‍ය පාලනය අඩපණ කිරීම සඳහා දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත සැලැස්මක් හෝ වෙනත් න්‍යාය පත්‍රයක් තිබුණේ ද යන්න සොයා බැලීම සඳහා පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

එයින් කියා සිටින්නේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිස් ගෝටා පාලනය පෙරළීමට කටයුතු කළේ ද යන්න සොයා බැලිය යුතු බවයි.

ජෙනරාල් කමල් ගුණරත්න සහ ජෙනරාල් ශවේන්ද්‍ර යනු ගෝටා ගේ අග සව්වන් දෙදෙනාය. දැන් දෙදෙනාටම විරුද්ධව රාජපක්ෂ කඳවුර අවි අමෝරා ගෙන සිටිති.

පොලිසිය වෙනුවට යුද්ධ හමුදාව

මෙම චෝදනාවෙහි ප්‍රධාන සැකකරු ලෙස යුද හමුදාපති දක්වා තිබීමෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලිසියට නොව යුද හමුදාවට බාර දී ඇති බවයි. එය යුදකරණයේ විශම විපාකයකි.

එමෙන්ම මෙම නඩු විභාගයේදී පොලිස්පති වික්‍රමරත්න සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අතහැරීම ලෙහෙසි නොවනු ඇත.

කමල් ගුණේ නිදි වැද්දා!

මැයි 09 දා මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම අනතුරක් ඇති කළ හැකි බවට මැයි 08 දා රාජ්‍ය බුද්ධි සේවය විසින්  ඔහුගේ නිවසට ද භාර දුන් බුද්ධි වාර්තාව   සහ පසු දා උදෑසන රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා  වට්ස් ඇප් පණිවිඩයක්  මගින් යැවූ  එම තොරතුර  පිළිබඳව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න නිසි පියවර ගෙන නැතැයි ද කරන්නාගොඩ වාර්තාව කියයි.

මේ පිළිබඳ කමිටුව මගින් කමල් ගුණරත්නගෙන් ඇසූ විට ඔහු කියා ඇත්තේ එවැනි තොරතුරක් තමාට නොලැබුණූ බවයි. එනමුත් කමිටුව එය පිළිගෙන නැත.

මරාගේ මාර දූතයෝ

එපමණක් ද නොවේ. ගෝටාගේ කමිටුව එක අතකට මැයි 09දා ඇති වූ ප්‍රති ප්‍රචණ්ඩත්වයේ වගකීම පවරන්නේ  මහින්ද රාජපක්ෂටය.

මේ බලන්න:

“රට පුරා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට ප්‍රධානතම හේතුව වූයේ  හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් ‘ගෝඨා ගෝ ගම’ රැළියට පැමිණීම වැළැක්වීමට අපොහොසත් වීමය”

එපා තියද්දි මරා තිබ්බ මැරයන්ගේ රැස්වීම

තවද එම වාර්තාව කියන්නේ අරලිය ගහ මන්දිරයෙහි එම රැස්වීම මහින්ද රාජපක්ෂ විසින් පවත්වන ලද්දේ එවැනි රැස්වීමක් නොපවැත්විය යුතු බවට ආරක්ෂක අංශ දැනුම් දී තිබියදී බවයි.

මෙම වාර්තාවෙහි ඇති භයානකම නිර්දේශය නම් ‘ නීත්‍යනුකූලව අවශ්‍ය පියවර ගන්නා ආරක්ෂක හමුදා පුද්ගලයින්ට විරුද්ධව නඩු පැවරීමට නොහැකි වන ලෙස” මුක්තියක් ලබා දිය යුතු බවයි. එවැනි මුක්තියක් නැතිව පවා අත්අඩංඟුවට ගන්නා පුද්ගලයින් දැනටමත්  ඝාතනය කරන ආරක්ෂ හමුදා ( උදා: කරන්නගොඩ යටතේ නාවික හමුදාව ත්‍රිකුණාමල කඳවුරෙහි දී) සහ පොලිසියට (වසන්තට කරන්න ගිය දේ වැනි) ඝාතන සම්බන්ධයෙන්  එවැනි මුක්තියක් ලබා දුනහොත් සාමකාමී විරෝධතාවයන්ට එල්ල වනු ඇත්තේ වතුර නොව වෙඩි උණ්ඩය!

සමාජ මාධ්‍ය පාලනය කළ යුතු බවට ද කරන්නාගොඩ නිර්දේශ කරයි. පොලිසියට වඩාබලවත් කැරලි මර්ධන ආයුධ සහ පුහුණුවක් ලබා දීමට ද එය යෝජනා කරයි.

මිලිටරිමය රාජ්‍යක් කරා

මෙම නිර්දේශයන් මගින් සමස්තයක් ලෙස යෝජනා කරන්නේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රජයක් වෙනුවට  මිලිටරිමය රජයක් බවට පත් කළ යුතු බවය.

මෙම වාර්තාවෙහි ප්‍රසිද්ධ කර ඇත්තේ පිටු 17න් 13ක් පමණය. ඉතිරි පිටු කුමන හෝ හේතුවක් නිසා තවම හෙළිදරව් වී නැත.  වඩා භයානක නිර්දේශ ඇත්තේ එම පිටුවල වීමට ඉඩ තිබේ.

ශවේන්ද්‍ර පමණක් කොන්ඩම් තියරියෙන් දං ගොඩියට දැක්කීමේ වෑයම  අතරමැද සමාදානයකින් කෙළෙවර නොවුවහොත් හොඳ හොද සෙල්ලම් එළි වීමට පුළුවන!

උගත් නූගත් පාඩම්, කොන්ඩමයෙන් එපිටට යන බවට එවිට පුංචි චමින්දයා නමින් තවත් ශෘංගාර කතා පිංචක් ලියැවෙන්නට ද බැරි කමක් නැත.

03.03.23

 

 

Archive

Latest news

Related news