Thursday, March 28, 2024

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයාට තහනම් නියෝග: මැතිවරණයට වෙන්කල මුදල් දෙනු!

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයා වෙත අද (මාර්තු 03 වැනිදා) තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම ද වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නම් කර තිබූ නීතිපතිවරයා වෙත මෙම අතුරු නියෝග නිකුත් කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය දෙනු ලැබීය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල මැයි මස 26 වැනිදා පෙත්සම් විභාගය සිදුකරන බවත් නියෝග කළේය.

පෙත්සම සලකා බැලීම ආරම්භ වු අවස්ථාවේ පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මුදල් අමාත්‍යංශය, රජයේ මුද්‍රණාලය, පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට සහාය වීමට බැදී සිටින බව පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ අරමුදල යටතේ එම මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත සපයා දීමට රජය බැඳී සිටින අතර එය ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

ඒ අනුව මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර දීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය බැදී සිටින බව සඳහන් කළ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මැතිවරණ කොමිසම නිකුත් කරන නියෝග පිළිපැදීමට ඔවුන් බැදී සිටින බවත් අධිකරණය හමුවේ කියා සිටියේය.

එම නියෝග කඩ කරනු ලබන රජයේ නිලධාරීන්ට රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයක් , වසර තුනක් දක්වා සිර දඬුවම් හෝ එම දඩුවම් දෙකම වුවද ලබාදීමට අධිකරණයට හැකියාවක් තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙය ප්‍රජාතන්ත්‍රවාදය අත්හිටවීමක් – උපුල් ජයසූරිය

” රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය නිසා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දිය නොහැකි බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. 2023 වසරේ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව මගින් රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කර තිබියදී තමා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම් දීම සිදුකර තිබෙන්නේ. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම යනු ඩොලර් අර්බුදය හා බැඳුණු කරුණක් නොවේ. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා නොදීම සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර නොදීම හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම මේ වනවිට කල් දමා තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට නිවාඩු ලබා දීමක්. මෙය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම කල් දැමීමේ අත්හදා බැලීමක් විය හැකියි”යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන්ගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාවගේ ඡන්ද අයිතිය මෙන්ම ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බවත් අවධාරණය කළේය.

නීතිපති නඩුව විසි කරන්න කියයි!

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රජාත්‍රන්ත්‍රවාදය හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චේතනාවක් රජයට නොමැති බවත් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත් කියා සිටියේය.

“මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හිතාමතාම මැතිවරණ කටයුතු සඳහා මුදල් නිකුත් නොකරන බවට පෙත්සමෙන් එල්ල කර තිබෙන චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. ඔහු මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවලට සහභාගී වුණා. මැතිවරණ කටයුතු සදහා මැතිවරණ කොමිසමට රුපියල් මිලියන 100 ක මුදලකුත් රජයේ මුද්‍රණාලයට රුපියල් මිලියන 40 ක් සහ ශ්‍රී ලංකා පොලීසියට රුපියල් මිලියන 25 ක මුදලකුත් නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා. එසේ නම් මැතිවරණ ක්‍රියාවලියට ඔහු බාධා කරන්නේ යැයි චෝදනා කරන්නේ කෙසේද?” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටියේය.

” රට තුළ උද්ගතව තිබෙන අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් මුදල් වෙන් කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ. මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කටයුත්තක් නොවෙයි කියා මා කිසිදු අවස්ථාවක සඳහන් කරන්නේ නෑ. රටේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර ආයතනවල සහාය පතා තිබෙනවා. මෙම තත්වය මුදල් ලේකම්වරයා විසින් නාම යෝජනා කැදවීමට පෙර මැතිවරණ කොමිසමට පැහැදිලි කර දී සිටියා. එසේ නම් ජන්ද විමසීම පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව මැතිවරණ කොමිසමට තීරණයක් ගැනීමට අවකාශ තිබුණා.” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණද මැතිවරණ කොමිසම වග උත්තරකරුවකු ලෙස නම් කර නොමැති නිසා මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවත් අධිකරණය හමුවේ අවධාරණය කළේය.

මැතිවරණ කොමිසම වෙනුවෙන් සාලිය පීරිස්

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ඡන්දය ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් බවය.

” පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තීරණය කළේ ඒකමතිකවයි. රාජ්‍ය ආයතන ගණනාවක් මැතිවරණ ක්‍රියාවලියට බාධා කළා. පළාත් පාලන ඡන්ද විමසීම අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස නම් කර නොමැති නිසා මුදල් ප්‍රතිපාදන මුදා හැරීමට නොහැකි බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා. මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කටයුත්තක් ද? නැද්ද? යන්න තීරණය කිරීමට මුදල් අමාත්‍යවරයාට හැකියාවක් නෑ. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිසම රුපියල් බිලියන 08 ක් මුදලක් ඉල්ලා සිටියා. මැතිවරණ රාජකාරියට යොදා ගන්නා වාහන වලට ලබාදෙන ඉන්ධන පංගුව වැඩි කරන ලෙස ඉල්ලා සිටියා. එයද ප්‍රතික්ෂේප වුණා. පොලිස්පතිවරයා ද ඉකුත් මැතිවරණ වලට වඩා හය ගුණයකින් වැඩි වියදම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා.මේක භයානක තත්ත්වයක්.”යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ තුළින් ජනතා පරමාධිපත්‍යය අවතක්සේරුවට ලක් කර ඇති බවත් සඳහන් කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ පෙත්සම විනිසුරු එස්. තුරෙයිරාජා සාමාජිකත්වය නොදරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කළ ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ (පෙබරවාරි 27 වැනිදා) විරෝධය පළ කර සිටියේය.

අදාළ පෙත්සම එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ හා සමාන තවත් පෙත්සමක් මැයි මස 11 වනදා කැඳවීමට අධිකරණය දින නියම කර ඇති බවත් මෙම පෙත්සම ද එදිනම සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.

විනිසුරු තුරෙයිරාජා එපා!

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ සම්බන්ධයෙන් විනිසුරු තුරෙයි රාජා දැනටමත් සිය මතය ප්‍රකාශ කර තිබෙන හෙයින් මෙම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන ලෙස ඉල්ලීමක් කළේය.

  • ඊට ප්‍රතිචාර දැක්වූ විනිසුරු තුරෙයි රාජා මෙම නඩු සම්බන්ධයෙන් තමා කිසිදු මතයක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළේය.

” ඔබගේ ප්‍රකාශය වැරදියි. මේ නඩු සම්බන්ධයෙන් මම කිසිදු මතයක් ප්‍රකාශ කර නැහැ. එදා නඩුව මැයි මස 11 වැනිදා දක්වා කල් ගියේ අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු අනුවයි. මුදල් නැති නිසා මැතිවරණය පවත්වන්න හැකියාවක් නැහැ කියලා එදා මැතිවරණ කොමිසම කිව්වා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන දීම අපහසු බව. ඉතිං අධිකරණය හමුවේ ගොනුකර තිබෙන කරුණු අධ්‍යයනය කර තීරණයක් ගැනීම සඳහායි එදා පෙත්සම මැයි 11 දක්වා කල් තැබුවේ. ඔබගේ ප්‍රකාශය අසාධාරණයි. කිසිම නඩුවක් කෙරෙහි මං විශේෂත්වයක් දක්වන්නේ නැහැ.” යනුවෙන් විනිසුරු තුරෙයිරාජා විවෘත අධිකරණයේදී පැවසීය.

පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළකර සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විනිසුරුවරු සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම යුක්ති සහගත නොවන බව කියා සිටියේය.

පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට තමා අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

විනිසුරු තුරෙයිරාජා කී කතා!

කෙසේ වෙතත් මෙහි වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම මාර්තු මස 03 වනදා දක්වා කල් තැබීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එදිනට කරුණු දක්වන ලෙස දන්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතිසි නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

රට තුළ දැඩි ආර්ථීක අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ පෙත්සම ද ඉකුත් 23 වනදා සලකා බැලීම සඳහා කැඳවනු ලැබූවේ විනිසුරු එස්.තුරෙයි රාජාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේය.

” ඕනෑම ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව අධිකරණය පිළිගන්නවා. නමුත් මුදල් කියන විෂය තිබෙන්නේ අධිකරණය යටතේ නෙවෙයි. ඒ නිසා එම විෂය සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට තිබෙන බලය බොහෝම සීමිතයි.” එම නිසා මෙම ඉල්ලීම කිරීම යෝග්‍ය බවත් විනිසුරු තුරේ රාජා එදින නඩු විභාගය අතරතුර විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

එදින පෙත්සම් විභාගයේ දී පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත් සිං අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහජනතාවගේ මුදල් එකතු කොට මෙම මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද විනිසුරු තුරෙයිරාජා දැඩි දෝෂාරෝපණ එල්ල කර සිටියේය.

” මේ අවස්ථාවේ මහජනතාව දැඩි අසීරුතාවයකට පත්වයි සිටින්නේ. ඔවුන් බදු ගෙවනවා.මහජනතාවගෙන් මුදල් එකතුකොට මැතිවරණ පැවැත්වීම සුදුසු නැහැ.”යනුවෙන්ද විනිසුරු තුරෙයිරාජා විවෘත අධිකරණයේ එදින ප්‍රකාශ කර තිබුණා.

( – BBC Sinhala)

Archive

Latest news

Related news