Friday, March 29, 2024

“ප්‍රජාතන්ත්‍රවාදයට කලින් මර්දනය සහ ජාවාරම; ඡන්දය මට ඕන දවසට” – රනිල් රාජපක්ෂ

සුනන්ද දේශප්‍රිය.

ඊයේ කොළඹ රොටරි සමාජය හමුවේ කතා කරමින් රනිල් රාජපක්ෂ මෙසේ කී බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කර තිබේ.

“රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය ය. ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍යය.

“රටක නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකි අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙවනුව ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය ය.

“නීතිය, සාමය සහ ආර්ථික ප්‍රකෘතිය නොමැති රටක ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අරාජිකත්වයයි.

“රට අරාජිකත්වයේ මාවතේ පහළට ගෙන යාමට  කිසිවිටක ඉඩ නොතබන අතර, රටේ නීතිය හා සාමය සහතික කිරීමට කැප වෙමි”.

මේ භයානක න්‍යායට අනුව නීතිය සහ සාමය යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. මහජන සාමය නැතිව ප්‍රජාතන්ත්‍රවාදයට පැවැතිය නොහැක.

ඉන් කියවෙන්නේ නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය යනු දෙකක් බවයි. මේ වනාහි ලොව පුරා සියලු ඒකාධිපති පාලකයින් විසින් යලි යළි වමාරණ ලද මිනීමරු දර්ශනයයි.

රනිල් රාජපක්ෂට අනුව ප්‍රජාතන්ත්‍රවාදයට පෙර ආර්ථික ප්‍රකෘතිය අවශ්‍යය. එසේ නැති විට ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඇත්තේ අරාජිකත්වයයි.

මේ වනාහි විලි රටෙහි අඥාදායකයා වූ පිනොචේගේ දර්ශනය එළෙසම පුනරුච්චාරණය කිරීමකි. ඔහු දස දහස් ගණනක් ඝාතනය කර මිලිටරි අඥාදායකත්වයක් ඇති කළේ ආර්ථිකය ප්‍රකෘති කිරීමටය. වෙනත් වචනයෙන් කියන්නේ නම් නිරුවත් නව ලිබරල්වාදයේ දර්ශනයයි. නව ලිිබරල්වාදය අකුරටම ක්‍රියාත්මක කළේ ඔහු බව කියන්නේ නිකමට නොවේ.

නව ලිබරල්වාදය මුලික කොට සළකන්නේ මහා ජනයාගේ මානව සහ ප්‍රජාතන්තත්‍රීය අයිතීන් නොව ජාවාරම්කරුවන්ගේ නිදහසයි. රනිල් රාජපක්ෂ යනු එක අතකට පිනොචේගේ ප්‍රේතවතාරයකි.

රනිල් රාජපක්ෂ ආර්ථික ප්‍රකෘතිය යැයි කියන විට අදහස් කරන්නේ විදුලි බිල, ජල බිල, තෙල් බිල, ගැස් මිල, පාසැල් පොත් මිල, අහාර පාන මිල, යනාදිය අහස උසට යවා හෝ ජාවාරම් ආර්ථිකය පණ ගැන්වීමයි.

රනිල් රාජපක්ෂ  තමා රට අරාජිකවාදයට ගෙන යෑමට ඉඩ දෙන්නේ නැති බව කියන විට ඔහු අදහස් කරන්නේ ජාවාරම් ආර්ථිකයකට කිසිදු බාධාවක් වීමට ඉඩ නොතබන බවයි.

අප  රනිල් රාජපක්ෂගේ නීතිය සහ සාමය කතාව දැන් ලංකාවේ පවතින යතාර්ථයට ආදේශ කර බලමු.

රනිල් රාජපක්ෂට අනුව ඔහු දැන් නීතිය සහ සාමය පිහිටුවා ඇත.

රනිල් රාජපක්ෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ දවස් 165ක් නිරපරාදේ සිර ගත කළේ එම නීතිය සහ සාමය ඇති කිරීමටය.

එමෙන්ම සිය ගණනාවත් අරගලයේ ක්‍රියාධර පිරිස් එක දිගට අත්අඩංගුවට ගනිමින් සිටින්නේ ද එම සාමය පිහිටුවීමටය.

පා ගමනක ආ තරුණියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නේ නීතිය සහ සාමය පිහිටුවීමටය.

එසේ වෙතත් ඔහුගේ නීතිය සහ සාමය යටතේ 2022 මැයි 09 දින නිරායුධ අරගලකරුවන් මත බිහිසුණු ප්‍රචණ්ඩත්වයක් මුදා හල රාජපක්ෂ පවුල කිසිදු නීතිමය බාධාවකින් තොරව වැජඹෙති.

බිලියන 16ක් හොරා කෑ සීනි ජාවාරම්කරුවෝ යහතින් වැජඹෙති.

මිලියන ගණනාවක් වංචාවකට අධිකරණ දඬුවම් නියම කළ අපරාධකරුවෙක් ඔහුගේ ප්‍රධාන ඇමැතිවරයෙකි.

එල්ටීටීඊ සංවිධානයට කෝටි ප්‍රකෝටි මුදලක් ගෙන ගොස් දුන් බව පිළිගත් තවත් අපරාධකරුවෙක් ඔහුගේ නීතිය රකින පොලිස් ඇමැතිය.

ජපාන සමාගමකින් මහා අල්ලසක් ඉල්ලා අතටම අසුවූ ඇමැතියා ද රනිල් රාජපක්ෂ ගජයෙකි.

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ඍජුව වගකිය යුතු බවට ශේෂ්ඨාධිකරණය තීරණය කළ පොලිස් නිලධාරියකු ඔහුගේ ඔහුගේ පොලිසියේ දෙවැනියා ලෙස බලය පෙන්වයි.

සාමකාමි මහජන උද්ඝෝෂනයන් මැඩලීමට සිය ගණනින් සන්නද්ධ පොලිස් සහ හමුදා පිරිස් යොදවන  රනිල් රාජපක්ෂ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරක්ෂා කිරීම පිණිස පොලිස් භටයින් දෙදෙනෙකු පමණක් යවන්නේ, ඔහුගේ නීතිය සහ සාමය යනු ජනතාව මර්දනය කිරීමත් අයිතීන් විනාශ කිරීමත් නිසාය.

රනිල් රාජපක්ෂගේ දර්ශනයේ භයානකම වාක්‍යය එන්නේ ඉහත න්‍යායට පසුවය:

“ආර්ථිකය යළි ප්‍රකෘතිමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇත”

ඔහු මේ කෙලින්ම කියන්නේ “ආර්ථිකය ප්‍රකෘති” යට පත්වන තුරු මෙරට මැතිවරණ නොපවත්වන බවයි.

මෙම ප්‍රකාශය දෙඅතකින් අති භයානකය.

පළමු වැන්න නම් මැතිවරණ පැවැත්වීමේ නොපැවැත්වීමේ අයිතිය තමාට ඇතැයි රනිල් රාජපක්ෂ ප්‍රකාශ කිරීමයි. මෙය සාහසික ප්‍රකාශයකි. නිසි කලට මැතිවරණ පැවැත්වීමේ අයිතිය සහ බලය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ මැතිවරණ කොමිසමටය.

එම බලය රනිල් රාජපක්ෂ අතට ගත හැක්කේ ඒකාධිපති බලයක් ලබා ගැනීමෙන් පමණි. ඇත්ත වශයෙන්ම නම් රාජ්‍ය නිලධාරීන් බිය ගන්වමින් පලාත් පාලන මැතිවරණ ක්‍රියාදාමය කඩාකප්පල් කරමින් ඔහු කරන්නේ එලෙස ඒකාධිපති බලයක් අතට ගැනීමයි.

දෙවනුව ආර්ථිකය ප්‍රකෘතිමත් වන තුරු යන තර්කය අවසානයක් නැති එකක් බවට පත් කළ හැකි වීමයි. මන්ද යත් ඊට අර්ථ දැක්වීමද රනිල් රාජපක්ෂ අතටම ගෙන ඇති නිසාය.

රනිල් රාජපක්ෂ සිය සිඟිති ආතල් රාජාසන කතාවේදී කීවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වනු ඇත්තේ 2026 දී බවයි.

රනිල් රාජපක්ෂගේ අංක එකේ හෙංචයියා වන වජිර අබේවර්ධන, රනිල් රාජපක්ෂයට රට පාලනය කිරීමට වසර 12ක් ඉල්ලා සිටින බව අමතක නොකළ යුතුය.

රනිල් රාජපක්ෂ මැතිවරණ සිතියම අකුළා දැමීමට පාවිච්චි කරන්නේ ජවාරම්කාර ආර්ථිකය මුල්තැන තබන නව ලිබරල්වාදී තර්කයයි.

රනිල් රාජපක්ෂගේ මෙම කතාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු බලවේගයන්ට කරන ලද බිහිසුණූ අභියෝගයකි.

මෙරට පහළ වූ මෘගතම සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනඥයකු වන ජේ.ආර්. ජයවර්ධනගේ නූතන අවතාරය තමායැයි සිතා ගෙන සිටින, රනිල් රාජපක්ෂගේ දුෂ්ට සැලැස්ම පරාජය කළ හැක්කේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් සහ සාධාරණ මැතිවරණ අපේක්ෂා කරන සියලු බලවේගයන් සහ පුද්ගලයින්ගේ ඒකාබද්ධ ව්‍යාපාරයක් මගිනි.

ජේ.ආර්. ජයවර්ධනගේ 1982 ප්‍රචණ්ඩ ජනමත විචාරණය පරාජය කිරීමට නොහැකි වූයේ විපක්ෂ කුලල් කා ගැනීම් සහ කකුලෙන් ඇදීම් නිසාය. මෙරට ඒ වරදට ගෙවූ වන්දිය ඉමහත්ය.

මෙම අවස්ථාවෙහි මැතිවරණ සිතියම හැකිලීමේ රනිල් රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලේ  කූටෝපාය පැරදවිමට නොහැකි වුව හොත් ඊටත් වඩා විශාල වන්දියක් ගෙවීමට මෙරට ජනයාට සිදුවිමට ඉඩ තිබේ.

මේ අවස්ථාවෙහි වෙන්ව ගමන් කරමින් නමුත් පොදු සතුරා වන රනිල් රාජපක්ෂ පරාජය කිරීමට පෙළ ගැසීම‍ සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්හි දවසේ අභියෝගයයි.

19.02.23

 

 

Archive

Latest news

Related news