Wednesday, April 24, 2024

සිරිසේනගේ ගජ  බින්න, පාස්කු ප්‍රහාර තීන්දුවෙන් කුඩු වෙන හැටි! – සුනන්ද දේශප්‍රිය

 යුක්තිය පතා පාස්තු ප්‍රහාර වින්දිතයිනගේ ඉල්ලීම නඩු තීන්දුවෙන් ඔබ්බට යනු ඇත. (ඡායාරූපය අන්තර් ජාලයෙනි)

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දෙන ලද ‌ ‌ඓතිහාසික තීන්දුව හමුවේ හිස ගිනි ගෙන ඇඳිවත ද නැතිව සිරිසේන මේ දිනවල තැන තැන දොඩවමින් යයි.

සුදාටත් අහුවුණා!

ඒ කොතෙක් යත් යූ ටියුබ්කරුවක වන සුදා ප්‍රසිද්ධියේ සිරිසේන සහ ඔහුගේ දියණිය උපහාසයට පත් කරමින්  හිඟමන් යැද එක් කළ රුපියල් දහසක් පමණ පවා බාර ගත්තේ බරපතල ලෙසය.  තමා උපහාසයට පත් කළ බව පවා දැන ගැනීමට නොහැකි වූ සිරිසේන ජනප්‍රිය යූ ටියුබ් චැනලයක ගොදුරක් බවට පත් විය!

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු සිය නිදහසට කරුණු දක්වන හිටපු ජනාධිපති  සිරිසේන කියන්නේ මෙසේ ය.

“ මා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන දැන සිටි නැති බව පිටු 85කින් යුතු නඩු තීන්දුවේ සඳහන් වෙනවා. මට මිලියන 100ක වන්දියක් නියම කර ඇත්තේ මා පත් කළ නිලධාරීන් හරියට වැඩ නොකරපු නිසා. මම කරපු වරදක් නිසා නොවෙයි” ( සිරිසේනගේ මුහුණූ පොත බලන්න)

මේ වනාහි අතේ පැල වෙන බොරුවකි.

වැරදි අංක ගණන්

පළමුවෙන්ම සිරිසේනගේ අංක ගණන් වැරදිය. සම්පූර්ණ කඩු වාර්තාව පිටු 122කි. එහි මුල් පිටු 63 වෙන් වෙන්නේ නඩුව පැමිණිළිකරුවන් සහ චූදිතයින් දැක්වීමටය.  122න් 63ක් අඩු කළ විට 59කි. පිටු 89 සිරිසේන ලබා ගත්තේ කෙසේදැයි දන්නේ මින්නේරිය දෙවියන් පමණක් විය හැකිය.

සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබී තිබූ බුද්ධී තොරතුරු නොදැන සිටියේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි නිගමනයක් ලෙස කොතැනකවත් සඳහන් වන්නේ නැත. එහි සඳහන් වන්නේ ජනාධිපතිවරයාට තමන් මේ තොරතුරු ලබා නොදුන් බව ජාතික බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කල බවත් එය ජනාධිපති සිරිසේන විසින් ද තහවුරු කළ බවත් පමණය.

සිරිසේනට බුද්ධි තොරතුරු ලැබුණේ ද නැත්ද යන්න සම්බන්ධයෙන්  නඩු තීන්දුව මතු කර ඇති ප්‍රශ්න ගණනාව මෙම ලිපියේ දෙවැනි කොටසින් ආවරණය කරනු ඇත.

මෙම පළමු කොටසින් ආවරණය වන්නේ සිරිසේන වරදකරු වූයේ නිලධාරීන් නිසාද ඔහුගේම වරදක් නිසාද යන්න නඩු තීන්දුව ඇසුරෙන් විමසා බැලීමටය.

වක්‍ර ලෙස කඩු තීන්දුව අපට පෙන්වා දෙන්නේ මෙරට විධායක ජනාධිපතිවරයා රටෙහි සහ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොපමණ විශාල බලයක් දරන්නේද යන්නය.

වැදගත්ම ළකුණ

මෙම තීන්දුවෙහි ඇති ඉතාම වැදගත් ලක්ෂණය වන්නේ මෙරට ජනාධිපතිවරුන් භුක්ති විදින අසීමිත බලයට හා සමානව වගකීම්ද පැවැරී ඇති බව විස්තරාත්මකව සහ තීරණාත්මකව දැක්වීමයි. එමෙන්ම පැවැරී ඇති වගකීම් හරිහැටි ක්‍රියාත්මක නොකිරීම මෙරට ජනයාගේ මානව හිමිකම් කෙලෙසීමක් බවට පත් වන සැටි පෙන්වා දීමයි. වක්‍ර ලෙස කඩු තීන්දුව අපට පෙන්වා දෙන්නේ මෙරට විධායක ජනාධිපතිවරයා රටෙහි සහ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොපමණ විශාල බලයක් දරන්නේද යන්නය.

සිරිසේන තින්දුවෙන් වරදකරු වන්නේ  ඔහු කියන පරිදි ඔහු පත් කළ නිලධාරීන් සිය රජකාරිය හරිහැටි ඉටු නොකළ නිසා නොවේ. ජනාධිපති සහ ආරක්ෂක ඇමැති වශයෙන් ඔහු සිය රාජකාරිය ඉටු නොකළ නිසාය.

ඔහු කල යුතු දේ නොකළේය.

සිරිසේන සිය වගකීම නොසළකා හැරීම කැපි පෙනෙන්නේ 2018 ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය වීමෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලය විනාශ කිරීම මගිනි.

සිරිසේන ජාතික ආරක්ෂක කවුන්සිලය බිද දමයි

නඩු තින්දුව පෙන්වා දෙන්නේ 1999 සමයේදී ජාතික ආරක්ෂක කවුන්සිලයට ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා දෙන ගැසට් පත්‍රිකාවක් නිකුත් කළ බවත් ඒ අනුව අගමැති සහ පොලිස්පති ඊට කැඳවිය යුතු ම බවත් තීන්දුව පෙන්වා දෙයි.

‘1999 මැයි 27 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජාතික ආරක්ෂක කවුන්සිලය ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබා දෙන ලදී. ආරක්ෂක මෙහෙයුම් සහ ඊට ආනුෂංගික කරුණු මෙහෙයවීමේ බලය සහිතව ජාතික ආරක්ෂාව පවත්වා ගෙන යෑමේ කාර්යය ඊට පැවරී ඇත.

‘ජාතික ආරක්ෂක කවුන්සිලය‌ට ඇතුලත් විය යුත්තේ කව්රුන්දැයි 1999 ගැසට් පත්‍රය මගින් ප්‍රතිපාදනය කර තිබියදීත්, එයට කැඳවීම් තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පමණක්  බව පෙනේ. ආරක්ෂාව සහ බුද්ධි අංශවල අත්‍යවශ්‍ය අංගයක් විය යුතු අගමැති, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ පොලිස්පති වැනි ප්‍රධාන සාමාජිකයින් ඉන් බැහැර කිරීමට හේතු නොමැත.’

අධීක්ෂණය නොකිරීම බරපතල වරදක්

‘ජාතික ආරක්‍ෂාව ආරක්‍ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ශක්තිමත් පද්ධති සහ යාන්ත්‍රණයක් ඇති කිරීමට එනම් තම ව්‍යවස්ථාපිත හා පොදු නීති රාජකාරි ඉටු කිරීමට, අසමත් වූ විට ඇමැතිවරයා ඊට වග කිව යුතුය.’

‘නිලධාරීන් නිරන්තර අධීක්ෂණය සහ පාලනය කිරීමක් තිබිය යුතුය. බුද්ධි තොරතුරු විනිවිදභාවයෙන් සහ නිදහසේ හුවමාරු කර ගැනීමට පහසුකම් සපයන ව්‍යුහයන් සහ යාන්ත්‍රණ තිබිය යුතුය. බුද්ධි තොරතුරු දැන ගැනීම සඳහා නිසි යාන්ත්‍රණයක් ඇති විට අමාත්‍යවරයාට බුද්ධි තොරතුරු පිළිබඳ නිසි දැනුම්දීමක් සිදු වනු ඇත.  එවැනි අධීක්ෂණ යාන්ත්‍රණයක් නොමැති වීම මගින් අමාත්‍යවරයා ඔහුගේ ව්‍යවස්ථාපිත, ව්‍යවස්ථාපිත සහ පොදු නීතියේ රාජකාරි  අසාර්ථකත්වය පිළිබඳ චෝදනාවලට නිරාවරණය වනු ඇත.’

මෙම අධීක්ෂණය සඳහා තිබූ යාන්ත්‍රණය වූ ජාතික ආරක්ෂක කවුන්සිලය ඔහු විසින් විනාශ කර තිබුණි. පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට බැරි වූ එක් ප්‍රධාන හේතුවක් එයයි.

ජාතික ආරක්ෂක කවුන්සිලය නිතිපතා කැඳවිය යුතු බව තමා නොදැන සිටි තොත්ත බබෙකු යැයි කියා ගැනීමෙන් ඔහු පෙන්වන්නේ ඔහු සිය වගකීම ගැන කිසිදු උනන්දුවක් නොදැක් වූ බවයි.

එය දඩුවම් ලැබිය යුතු වරදකි. වන්දි ගෙවීමට සිදු වන්නේ වරදකරුවකු නිසාය.

ජනපති සහ ආරක්ෂක ඇමැති එක් අයෙක් වීම

සිරිසේන ජනාධිපති පමණක් නොව ආරක්ෂක ඇමැතිවරයා ද වූ බව නඩු තීන්දුව අවධාරණය කරන්නේ ආරක්ෂක ඇමැතිවරයා වශයෙන් ඔහුගේ වගකීම් පෙන්වා දෙනු පිනිසය.

2018 දෙසැම්බර් මස නිකුත් කළ ගැසට් නිවේදන මගින් සිරිසේන  ජාතික සහ මහජන ආරක්ෂාව සම්බන්ධ සියලු බලතල තමන්ට පවරා ගත්  අන්දම නඩු තීන්දුව පෙන්වා දෙයි.

“2018 දෙසැම්බර් 28 දිනැති අංක 2103/33 දරන ගැසට් පත්‍රය අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) සහ 46(1)(අ) වගන්ති ප්‍රකාරව ක්‍රියා කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පැවති ගැසට් පත්‍රය මෙයයි.

බුද්ධි සේවා පවත්වා ගෙන යෑම ජනපති වගකීමක්

එකී ගැසට් පත්‍රයේ හඳුන්වා දීමේ ඡේදය අවසන් වූ සැණින්, තද අකුරින් ‘ආරක්ෂක අමාත්‍යවරයා’ යන වචන දක්නට ලැබේ. ආරක්ෂක අමාත්‍යවරයාට අදාළ කාර්යයන් තීරු තුනකට බෙදා ඇත. එම තීරු යටතේ පැවරෙන වගකීම් මෙසේය.

‘ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සැකසීම; ආරක්ෂක විෂයට අදාළව ඒවා ක්‍රියාත්මක කිරීම; ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව හැරුණු විට ලැයිස්තු ගත කර ඇති  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් දෙපාර්තමේන්තුව යනාදි ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථාවල විෂය පථයට අයත් විෂයයන් අධීක්ෂණය සහ ඇගයීම.’

‘තවද ආරක්ෂක සේවාවන්හි කාර්යයන් සඳහා පහසුකම් සැලසීමෙන් රට ආරක්ෂා කිරීම සහතික කිරීමේ යුතුකමක් ආරක්ෂක අමාත්‍යවරයා වෙත පැවරේ. ආරක්‍ෂක සහ අභ්‍යන්තර ආරක්‍ෂාව සම්බන්ධ බුද්ධි සේවා නඩත්තු කිරීම ද ඊට අයත් වේ’

මේ සඳහා තිබූ යාන්ත්‍රණය වූ ජාතික ආරක්ෂක කවුන්සිලය බිඳ දැමූ විට කුමන අධීක්ෂණයක් ද?

ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පසු වැඩි කරගත් බලතල

‘මහජන ආරක්‍ෂාව, අභ්‍යන්තර ආරක්‍ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ බුද්ධි අංශ මෙන්ම අදාළ පාර්ලිමේන්තු පනත් පිළිබඳ සියලු අංශ සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යවරයා එන්න එන්නම වැඩි වන බලතල පරාසයක් පවරා ගෙන ඇති බව පෙන්නුම් කරන’ බව නඩු තීන්දුව සඳහන් කරයි.

‘2015 වසරේ ආරක්ෂක අමාත්‍යවරයා යටතේ පළමු ගැසට් පත්‍රයේ සඳහන් 17ක් වු දෙපාර්තමේන්තු සංඛ්‍යාව  2018 දී දෙවන ගැසට් පත්‍රය මගින් එවා 21 ක් බවට පත් විය.’

එළෙස සිරිසේන රටෙහි ආරක්ෂාව සහමුලින්ම තමා යටතට ගෙන තිබුණි.

‘කාලය ගෙවීයත්ම ආරක්‍ෂක අමාත්‍යවරයාට ආරක්‍ෂාව පිළිබඳ අතිමහත් බලතල ප්‍රදානය කිරීම අඛණ්‌ඩව සිදුවූ බව’ නිරීක්‍ෂණය නඩු තීන්දුව ‘ආරක්‍ෂක ඇමැතිවරයා රටේ ජාතික ආරක්‍ෂාවේ ගබඩාව යැයි කීම වරදක් නොවන බව’

ජාතික ආරක්ෂාවේ ගබඩාව ජනපතිය

‘කාලය ගෙවීයත්ම ආරක්‍ෂක අමාත්‍යවරයාට ආරක්‍ෂාව පිළිබඳ අතිමහත් බලතල ප්‍රදානය කිරීම අඛණ්‌ඩව සිදුවූ බව’ නිරීක්‍ෂණය නඩු තීන්දුව ‘ආරක්‍ෂක ඇමැතිවරයා රටේ ජාතික ආරක්‍ෂාවේ ගබඩාව යැයි කීම වරදක් නොවන බව’ නඩු තීන්දුව සඳහන් කරයි.

ඉදින් සිරිසේනට තමා තොත්ත බබෙකු යැයි හඬා වැළපිය හැකිද?

2019 අප්‍රෙල් 21 වැනි දින පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ දෛවෝපගත දිනය ආසන්නයේ සිරිසේන සතු වූ වගකීම විශේෂ කොට නඩු තීන්දුව පෙන්වා දෙන්නේ මෙළෙසය.

‘2019 අප්‍රේල් 21 වැනි දිනවන විට අදාළ දිනයේ, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දේශීය නීති සහ රෙගුලාසි මගින් දැඩි ලෙස ප්‍රකාශ කරන ජාතියේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පවත්වාගෙන යාමේ  වගකීම් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ද වූ රටේ ජනාධිපතිවරයා විසින් භාර ගෙන තිබූණි.’

සිරිසේන සිතා සිට ඇත්තේ ජනාධිපතිකම යනු ජොලියක් පමණක් දැයි සිතෙන තරමට ඔහු ආරක්ෂක කටයුතු නොසළකා හැරීම ගැන නඩු තීන්දුව දීර්ඝ වගයෙන් කරුණූ දක්වයි.

2020 බීබීසී සිංහල සේවයට ජනපති සිරිසේන දුන මේ පිලිතුර පාස්තු ප්‍රහාරය ගැන ඔහුගේ අහංකාර ප්‍රතික්ෂේප කිරීම පෙන්වයි

තමන්ම පවරා ගත් වගකීම් ඉටු නොකිරීම

හිටපු ජනාධිපතිවරයාගේ ‘ගැසට් නිවේදනය අනුව ලේකම්, ආරක්ෂක, ජාතික බුද්ධි ප්‍රධානියා, පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ යන අය ආරක්ෂක ඇමැතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන නමුත් ඔහුගේ දෙවැනියන් හෝ  alter ego ලෙස සැලකේ. ( උදා: ක්ලාක් කෙන්ට්ගේ alter ego ව සුපර්මෑන්ය – පරිවර්තක)   වෙනත් වචන වලින් කිවහොත්, මෙම නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇමතිවරයාගේ කාර්ය සාධනය ලෙස සලකනු ලැබේ.’

තොරතුරු නොදුන්නා යැයි ගැලවීමක් නැත

තමාට තොරතුරු නොදුන් නිසා තමා කිසිවක් නොදැන සිටියේ ය යන සිරිසේනගේ භූතය කුඩුපට්ටම් වන සැටි දැන් බලමු.

‘අදාළ පුද්ගලයා/ නිලධාරියා තමාට තොරතුරු ලබා දුන්නේ නැත, නැතහොත් තමාට වාර්තා කිරීමට ඔහු බැඳී නැතයි  යැයි තර්කයක් ඉදිරිපත් කරමින් ඇමතිවරයාට අධීක්‍ෂණය නොකිරීමෙන් නිදහස් විය නොහැක.’

මේ කියන්නේ බුද්ධි තොරතුරු සැඟවූ රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන තමන්ට තොරතුරු දීමට බැදී නැතැයි සිරිසේන ඉදිරිපත් කළ තර්කය ගැනය. තොරතුරු දෙන තුරු බකන් නිලාගෙන ඉන්නේ නැතිව ආරක්ෂක ඇමැතිවරයා අදහස් විමසිය යුතුව තිබුණි. ක්‍රියාකාරී ජනාධිපතිවරයකු යන එවැන්නෙකි.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජාතියේ ආරක්‍ෂාව ඔහුට බාර දී ඇති හෙයින්, ජනාධිපතිවරයා තම නිලධාරීන්ගේ අදහස්‌ විමසීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පොදු නීතිය මගින් බැඳී සිටී.’  යැයි නඩු තීන්දුව කියන්නේ එනිසායි.

තවදුරටත් සිරිසේන ජනාධිපති සහ ආරක්ෂ ඇමැතිවරයා ලෙස ඉටු නොකළ වගකීම් නඩු තීන්දුව මෙසේ පෙන්වා දෙයි.

ප්‍රහාරය වැළැක්වීමට ඉඩ තිබුණා

‘තමා හරහා හෝ ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම් මගින් අධීක්‍ෂණය දිගටම කර ගෙන ගියේ නම්, ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යසනය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ හැකිව තිබුණි. සහරාන් සහ ඔහුගේ සගයන් පිළිබඳ අලුත්ම තොරතුරු දැනගැනීමේ වගකීම ජනාධිපතිවරයා අතපසු කර ඇත.’

‘නිලධාරීන් තොරතුරු නොදුන්නේ යැයි කීම මගින් ජනාධිපතිවරයා නිදහස් වන්නේ නැත.’

ඉදින් වැළැක්වීමට හැකිව තිබූ ප්‍රහාරයක් වැළැක්විය නොහැකි වූයේ සිරිසේනගේද අක්‍රීය බව නිසා බවට තවත් සාක්ෂි අවශ්‍ය ද?

තමාගේ ව්‍යවස්ථානුකූල වගකීම් නොදැන සිටි බව කියන සිරිසේන රාජ්‍ය පාලනයේ අනෙක් අංශ ගැන මොනවා සිකා ගෙන ඉන්නට ඇත්ද?
පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් පසු ඇවිල ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට සිරිසේන අසමත් විය.

දන්නේ නැතැයි කිව නොහැකි  ජනාධිපති වගකීම්

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) වගන්තියට අනුව තම අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් සමඟ කටයුතු කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ ව්‍යවස්ථාමය වගකීම ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමේ විධායක බලය ජනාධිපති සතුය.’

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විමර්ශනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ආරක්ෂක අමාත්‍යාශය ජනාධිපතිවරයා යටතේ තිබිය යුතු බවට කළ නිගමනය මෙම නඩු තීන්දුවෙහි දී ගෙන හැර දක්වා ඇත්තේ මෙසේය.

“…ජනාධිපතිවරයා තම විධායක බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් බලය ලබාගන්නා අන් අය අධීක්ෂණය කිරීමට හෝ උපදෙස් දීමට හැකි තත්ත්වයක සිටිය යුතුය.

එසේ කිරීමට අපොහොසත් වීම ජනතා පරමාධිපත්‍යයට අගතිගාමී බලපෑමක් ඇති කරයි….”

‘ඉහත නිරීක්‍ෂණයෙන් ජනාධිපතිවරයා තම යටත් නිලධාරීන්ගේ නිරන්තර අධීක්‍ෂණය සහ අධීක්‍ෂණය කළ යුතු බව සැකයකින් තොරව තහවුරු වේ. එබැවින් ඇතැම් දෙපාර්තමේන්තු ප්‍රධානීන් තමා වෙත වාර්තා කිරීමට බැඳී නොසිටි බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පදනමක් නැත.’

තමාට නොදැන් වූ බැවින් තමා නිවරදකුරුවකු යැයි කියන සිරිසේනගේ තර්කය යළිත් කුඩු වන්නේ එළෙසය.

‘එවැනි අධීක්ෂණ යාන්ත්‍රණයක් ඔහුගේ පාර්ශ්වයෙන් නොතිබීම ජනතා පරමාධිපත්‍යයට අගතිගාමී බලපෑමක් ඇති කිරීමට හේතු වන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අසාර්ථක වීමක් අපි නිසැකවම දකිමු’.

සිරිසේන සෑම විටම වගකීම් අනුන් පි‌ට පටවා අත සෝදා ගන්නට බැලුවේය. එසේ නමුත් නඩු තීන්දුව පෙන්වා දෙන්නේ පශ්චාත් පාස්කු ප්‍රහාර ප්‍රචණ්ඩ ක්‍රියා ඔහුගේ අසාර්ථකත්වය ද නිසා ඇති වූ බවයි.

‘ආරක්‍ෂක අමාත්‍යවරයා තම පුලුල් බලතල රටේ යහපත වෙනුවෙන් කිසිසේත්ම ක්‍රියාත්මක  නොකළ බව මෙම අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති සාක්‍ෂි සලකා බැලීමේදී පෙනේ.’

පශ්චාත් පාස්කු ප්‍රහාර ප්‍රචන්ඩ ක්‍රියා සහ සිරිසේනගේ වගකීම

‘හිටපු ජනාධිපති සිරිසේනගේ මෙම අසාර්ථකත්වය මේ රටට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දුන් අතර ජීවිත, දේපළ විනාශ වූවා පමණක් නොව, ජාතීන් අතර ආතතීන් සහ ජාතීන් අතර වෛරයේ  කැත හිස ඔසවන්නට පටන් ගත්තේය. ඒ මේ ජාතියේ දේහය  බිදෙන සුලු  භීතිකා මානසිකත්වයට ලක් කරමිනි.   අන්තර් වාර්ගික විරසකය සහ භීතිය  රට පුරාම දැකිය හැකි විය.’

‘ආරක්‍ෂක අමාත්‍යවරයා තම පුලුල් බලතල රටේ යහපත වෙනුවෙන් කිසිසේත්ම  ක්‍රියාත්මක  නොකළ බව මෙම අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති සාක්‍ෂි සලකා බැලීමේදී පෙනේ.’

දැන දැන පියවර නොගැනීම

‘(බුද්ධි තොරතුරු ලැබීමෙන් පසු එනම්) ‘2019 අප්‍රේල් 09දායින් පසු බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීම හෝ ජාතික ආරක්ෂක කවුන්සිලය  යන දෙකෙහිම රැස්වීමක් කැඳවා නොතිබූ බව අධිකරණය අනාවරණය කර ගත්තේය.’

‘අපගේ මතය අනුව, 2019 අප්‍රේල් 16 දා (කාන්තන්කුඩිහිදී) සිදු කෙරුණු මූලික අත්හදා බැලීමේ පිපිරීමෙන් පසුව ලැබුණු බුද්ධි තොරතුරුවල ස්වභාවය සම්බන්ධයෙන් එය බරපතල අතපසු වීමක් වේ.’

‘මේ සියල්ල එවකට ජනාධිපතිවරයා අතින් සිදු වූ බරපතළ අතපසු වීමක් ලෙස මේ අධිකරණයට කැපී පෙනෙන යථාර්ථයයි. 2019 දී ඔහු විසින් කැඳවා තිබුණේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් දෙකක් පමණි. එකක් වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය හා අවි ගබඩාව සොයා ගැනීමට පෙර ජනවාරි 14 වැනිදා සහ ඊළඟ පෙබරවාරි 19 වැනිදාය. මෙය 2009 යුද්ධය අවසන් වීමෙන් පසු සිදුවූ විශාලතම පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම්වලින් එකකි. මෙම සොයා ගැනීම් පිළිබඳ හිටපු ජනාධිපති සිරිසේන දැනුවත් කළේ නැතැයි  කිව නොහැක.’

ෂානි සහ රවි සිරිසේනට  කී තොරතුර

ඇත්ත වශයෙන්ම නම් ඉහළම පෙලේ රහස් පොලිස් නිලධාරීන් වූ ෂානි අබේසේකර සහ රවි සෙවිරත්න පුද්ගලිකවම හමුවී මේ ගැන සිරිසේන දැනුවත් කළේය. මේ තොරතුරු ගැන ඔවුන් දෙදෙනා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවන බවට සිරිසේන වූ පොරොන්දුව පුස්සක් බවට පැමිණුණි.

‘මෙම තත්ත්වය තුළ සහරාන් ඇතුළු පිරිසෙන් එල්ල වී ඇති තර්ජනයට මුහුණ දීම සඳහා සෑම සතියකම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා යාන්ත්‍රණයක් සකස් කිරීම හිටපු ජනාධිපති සිරිසේනගේ පාර්ශවයෙන් අනිවාර්ය විය යුතුව තිබූ නමුත් එය කිසි විටෙක සිදු කර නැත.’

සිරිසේන  කිසිවක් නොකර මහා විපතක් හමුවෙහි රෝමය ගිනි ගනිත්දී වීණා වැයූ නීරෝ මෙන් සිංගප්පූරුවට පැන සැප ගනිමින් සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අවසාන වශයෙන් සිරිසේන ගැන මෙසේ නිගමනයට පැමිණෙයි.

සිරිසේන සිය වගකීම කඩ කළ බව

‘හිටපු ජනාධිපති සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් නීති මගින් පනවා ඇති ආරක්‍ෂාව සහ සහතිකයන් ලබා දීමේදී ලිහිල්ව කටයුතු කර ඇති අතර (ජනතාව) ආරක්‍ෂා කිරීමේ වගකීම ඔහු කඩ කර ඇති බව අපගේ නිගමනයයි. මේ අනුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(e) වගන්ති යටතේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව අපි තීරණය කරමු.’.

අතැඹුළක් සේ පැහැදිලිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහ ආරක්ෂක ඇමති වශයෙන් ඔහු මෙරට ජනතාවට බැදී සිටි වගකීම් සහමුලින්ම නොසළකා හැර තිබුණි. ඔහු නීතියෙන් කර ඇති නියමයන් පවා සිය හිතුමතයට කඩ කළේ නීතිය යනු තමන්ය කියූ ඒකාධිපති රජකු ලෙස ය.

තමාට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ අනුන් කළ වැරදි නිසා යැයි කීම, දඬුවම් ලැබිය යුතු තරමේ වරදකි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලුහු කොට ගෙන ගජ බින්නයක් අත හැරීමකි.

(මෙහි දක්වා ඇත්තේ නිල පරිවර්ථනයකින් උපුටා ගත් කොටස් නොවේ.  ඉංග්‍රිසි බසින් පමණක් ඇති තීන්දුවෙහි උපුටා ගත් කොටස් සිංහල බසින් දළ පරිවර්තනයක් කරන ලද්දේ කතුවරයා විසිනි. සම්පූර්ණ නඩු තීන්දුව වින්දිතයන්ට කියවා තේරුම් ගැනීමට හැකි වන පරිදි කවර හෝ  පාර්ශවයක්  විසින් සම්පූර්ණයෙන් සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කරනු ඇතයි අපේක්ෂා කරමු.)

රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානි  නිලන්ත ජයවර්ධන සහ ජනාධිපති සිරිසේන අතර සම්බන්ධය  ගැන නඩු තීන්දුවේ දැක්වෙන අදහස් දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

Archive

Latest news

Related news