Friday, April 19, 2024

පාස්කු ප්‍රහාරයන්ට ඉඩ දී බලා සිටි  ඩීඅයිජී නිලන්ත ජයවර්ධන රනිල් රාජපක්ෂගේ පොලිස්පති වන ළකුණු

ඡායාරූපය: යුක්තිය අයදින පාස්කු ප්‍රහාරයේ වින්දිත කාන්තාවත්

2019 පාස්කු ඉරිදා සංහාරය මැඩපැවැත්වීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ල වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත් කිරීමට රනිල් රාජපක්ෂ සූදානම් වන බවට චෝදනා එල්ල වී තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධන  පොලිස්පති ධුරාවලියේ අංක දෙක වන පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බැවින් ඔහු පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ස්ථිර බව පෙනෙන්නට ඇති බ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි . නිලන්ත ජයවර්ධනට මෙම  පත්වීම දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විශ්‍රාම යාමෙන් පසුවය.

මෙම පත්කිරීමට විරෝධය පා කාදිනල් මැල්කම් රංජිත් විසින් ප්‍රකාශයක් ද කරන ලදී.

රාජ්‍ය බුද්ධි සේවයේ (එස්අයිඑස්) ප්‍රධානියා ලෙස කටයුතු කළ ජයවර්ධන පශ්චාත් යුධ සමයේ සිදුවූ දරුණුතම ප්‍රහාරය  සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයකට මුහුණ නොදී ඉහළට ගියේ කෙසේද යන්න පිළිබඳව රජය පැහැදිලි කිරීමක් කළ යුතු බව ද රහුමාන් පවසයි.

දේවස්ථාන තුනක් සහ හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 270 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ඔවුන්ගෙන් සමහරක් ජීවිත කාලය පුරාම ආබාධිත වී තිබේ.

රහුමාන් මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවෙිහි දී   මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අවස්ථිවේදී අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සිටියත් ප්‍රතිචාර දක්වා නැත. මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් එම අවස්ථාවෙහි පාර්ලිමේන්තුවෙහි නොසිටියද ඉන් පසු හෝ මේ ගැන අදහස් දක්වා නැත.

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට 2019 අප්‍රේල් මාසයේදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වැඩබලන පොලිස්පති පත්වීමක් ලැබුණු අතර, ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර සතියකට පසු 2020 නොවැම්බර් 25 වැනි දින එම තනතුරේ ස්ථිර කිරීම ලැබිණි.

මෙම සාහසික අපරාධය සිදු කළ අපරාධකරුවන්ට, මෙහෙයුමට පහසුකම් සැලසූ අයට මෙන්ම යුතුකම් හා වගකීම් පැහැර හැරිය අයට සමාජයේ තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බව ජනමතයක් තිබුණද තවමත් එවැනි පියවරක් රජය ගෙන නැත.

 

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පංච පුද්ගල ජනාධිපති කොමිසමක් මගින් කර ඇති නිර්දේශ අනුව නිලන්ත ජයවර්ධන ද අපරාධ සහායකයෙකි.

දැන් ප්‍රායෝගික වශයෙන් පාස්කු ඉරිදා සමූලඝාතනය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ඉවත දමා ඇත. කොමිසමේ ප්‍රධාන නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කර ද නැත.

එම කොමිසමේ ප්‍රධානියා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කටයුතු කළේය. ඊට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන නිහාල් සුනිල් රාජපක්ෂ සහ ඒ.එල් බන්දුල කුමාර අතපත්තු සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්.අධිකාරි එච්.එම්.පී.බුවනෙක හේරත් කොමිසමේ ලේකම්වරයා ලෙස කටයුතු කළහ.

සැලසුම් කළ ප්‍රහාරයන්ට අදාළව නිශ්චිත බුද්ධි තොරතුරු මුලින්ම ලැබුණේ එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනටය. ඒ සා බරපතල බුද්ධි තොරතුරුක් ජනාධිපතිවරයාට පවා නොදැන් වූ බව නිලන්ත ජයවර්ධන කියයි.

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන්  ප්‍රධාන චූදිතයකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඉන් පසු මධ්‍යම පලාත බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කරන ලදී.

පාස්කු ඉරිදා කොමිසමේ අවසන් වාර්තාව (වෙළුම 1 පිටු 287-288) ගැන සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රහුමාන් පැවසුවේ ජයවර්ධනගේ පාර්ශ්වයෙන් අපරාධ වගකීමක් ඇති බව කොමිසම ප්‍රකාශ කළ බවයි. හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු ප්‍රතිපාදනයක් යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බලන ලෙස කොමිසම නිර්දේශ කර ඇති බව ද මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවට පැවසීය.

හිටපු ජාතික බුද්ධි සේවා ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිසිපති සිසිර මෙන්ඩිස් සම්බන්ධයෙන් ද එවැනිම නිර්දේශයක් ඉදිරිපත් කර තිබේ.

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා සහ ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති නීතිඥ සංජිව රාජරත්නම් අවම වශයෙන් කොමිසමේ නිර්දේශ සලකා බැලුවේද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිය යුතු බව රහුමාන් මන්ත්‍රීවරයා පැවසයි. කොමිසමේ නිලධාරීන්ට අදාළ නිර්දේශ මත නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළේද යන්න විමසිය යුතු මන්ත්‍රීවරයා පැවසීය.

පාස්කු ඉරිදා පරීක්ෂණයට ස්කොට්ලන්ඩ්යාඩ් සම්බන්ධ කර ගන්නා රනිල් රාජපක්ෂ දුන් පොරොන්දුව තවම ක්‍රියාත්මක කර නැත. එම පියවර ක්‍රියාවට නගන්නේ නම් තමන් ඊට සහාය දෙන බවද මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවට පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන්ගේ සහ රාජපක්ෂවරුන්ගේ සම්බන්ධය ගැන පාර්ලිමේන්තුව දෙවනත් කළ සහ ඒ සම්බන්ධයෙන් ජානීවා මානව හිමිකම් කොමිසම හමුවේ පවා අදහස් දැක් වූ හරීන් ප්‍රනාන්දු දැන් රාජපක්ෂ තුරුලේ නැළවෙන බැවින් නිලන්ත ජයවර්ධනගේ පත්වීම ගැන දෙමුඛයම වසා ගෙන සිටී.

සේ. පියවර්ධන විසිනි

Archive

Latest news

Related news