Thursday, April 25, 2024

කමල් ගුණේ, ශවේන්ද්‍ර ඇතුළු  “රණ විරුවන්ට” විරුදධව රාජපක්ෂ කඳවුර අධිකරණයට!

සුනන්ද දේශප්‍රිය.

දෙමළ ජනතාවට එරෙහිව සහ ජනමාධ්‍යවේදීන්ට කළ  අපරාධ සම්බන්ධයෙන් යුද හමුදා සාමාජීකයිනට නඩු පැවරීමට විරුද්ධව රණ විරුවන් රැකගැනීමට යැයි විරුද්ධ වූ රාජපක්ෂ කඳවුර දැන් තමන්ගේ නිවෙස් ගිනි තැබී යයි යුද සහ පොලිස් ප්‍රධානීන්ට විරුද්ධව දැන් අධිකරණය හමුවට ගොස් තිබේ.

යුද අපරාධ හරි. ගෙවල් ගිනි තැබීම වැරදි

2015න් පසු ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයර් පැහැර ගෙන වධහිංසා පැමිණ වීම, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම, නාවික හමුදාව විසින් පැහැර ගෙන ගොස් තරුණයින් 11 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදා පිරිස්වලට චෝදනා ඉදිරිපත් කිරීම මෙම රාජපක්ෂ කඳවුර විසින් දක්වන ලද්දේ රණ විරුවන්ට විරුද්ධ ව්‍යාපාරයක් ලෙස ය.

උතුරු නැගෙනහිර යුද සමයේ දී කරන ලද මහා පරිමාණ අතුරුදහන් කිරීම් ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයින්ට විරුද්ධව චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් ද මෙම රාජපක්ෂ කඳවුර විසින් රණවිරුවන්ට විරුද්ධ දේශද්‍රෝහී ව්‍යාපාරයක් ලෙස මහා ඝෝෂාවක් නංවන ලදී.

දැන් තමන්ගේ නිවෙස් ගිනි තැබීම සම්බන්ධයෙන් එකී රාජපක්ෂ කඳවුර ම අධිකරණයට පැමිණිලි කර තිබේ.  මෙම නිවෙස් ගිනි තබන ලද්දේ සිය දහස් ගණන් ජන පිරිස් විසිනි. ඊට හේතුව වූයේ මහින්ද රාජපක්ෂ විසින් කැඳවන ලද මැර බලකායක් සාමකාමී ගෝටා ගෝ ගම විරෝධකරුවන්ට එල්ල කරන ලද නින්දිත මැර ප්‍රහාරයයි.

දැන් රාජපක්ෂ කඳවුර මෙලෙස අධිකරණයට ගොස් ඇත්තේ මැයි 9 වැනිදා ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු දේපළවලට සහ ජනතාවට සිදු වූ හානි වැළැක්වීමට පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ නියෝගයට හිතාමතා ම අකීකරු වී ඇතැයි කියමිනි.

උන්ගේ ගෙවල් සහ සාමකාමී ජනයාගේ ජීවිත

එසේ නමුත් එදිනම  ගෝටා ගෝ ගමට  එල්ල  වූ ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම ගැන මෙම මෙම කිසිවතු අධිකරණයට ගොස් නැත.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට වරෙන්තු නිකුත් කරන ලෙස පසුගිය දා අධිකරණය නියෝග කළේ සිවිල් ජනයා පිරිස් විසින් පවරන ලද නඩු නිසාය.

තමන්ගේ නිවෙස්වලට එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, යුද හමුදාපති ලුතිනන් එව්.එල්. වී.එම්. ලියනගේ සහ තවත් නිලධාරීන් සම්බන්ධ දැයි තහවුරු කර ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස රාජපක්ෂ කඳවුර අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම අභියාචනාධිකරණයට යොමු කර ඇත්තේ බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග ඇතුළු රාජපක්ෂ කඳවුරේ 37 දෙනෙකු  විසිනි. එම පෙත්සම ජනවාරි 16වන දින සලකා බලනු ඇත. මෙම අලාභ සම්බන්ධයෙන්  කෝටි ගණන් වන්දි රනිල් රාජපක්ෂ විසින් දැනටමත් ගෙවා තිබේ.

මෙම නිලධාරීන් විසින් රාජ්‍ය පාලනය අඩපණ කිරීම සඳහා දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත සැලැස්මක් හෝ වෙනත් න්‍යාය පත්‍රයක් තිබුණේ ද යන්න සොයා බැලීම සඳහා පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

එයින් කියා සිටින්නේ ජෙනරාල් ශවේන්දු සිල්වා ඇතුළු පිරිස් ගෝටා පාලනය පෙරළීමට කටයතු කළේ ද යන්නයි.

ගෝටාගේ කොමිසමේ වාර්තාව රනිල් රාජපක්ෂට

එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් යුද සහ පොලිස් හමුදා යම් වැරදි කර ඇත්දැයි සෙවීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ‘විමර්ශන මණ්ඩලයක්’ පත් කරන ලදී. එම පරීක්ෂණ වාර්තාව දැන් ජනාධිපති රනිල් රාජපක්ෂ වෙත ලබා දී තිබේ.

රාජපක්ෂ කඳවුර මෙම නඩුව පවරා ඇත්තේ එම වාර්තාව පදනම් කර ගෙනය. මෙම නඩුව පැවරීමට රනිල් රාජපක්ෂගේ සම්බන්ධය තවම අවිනිශ්චිත නමුත් ගෝටාවාදීන් ඉවත් කර තමන්ගේ හෙංචයියන් ආරක්ෂක අංශය වෙත පත් කිරීමට ඔහුට අවශ්‍ය වී තිබීමට පුළුවන.

එකල සිදු වූ කාලීන ප්‍රචණ්ඩ ක්‍රියා වලදී සන්නද්ධ හමුදා සහ රාජ්‍ය ඔත්තු සේවයන්හි හැසිරීම ද සොයා බැලීමට එම කොමිසමට බලය පවරා තිබුණි.

අදාළ කාලසීමාව තුළ  හිටපු යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ක්‍රියා කාරිත්වය අතිශයින් ප්‍රශ්නකාරී බවත්, හිටපු ජනාධිපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඔහුට සෘජුව සහ නැවත නැවතත් ලබා දුන් උපදෙස් ඔහු අවස්ථා කිහිපයකදී ම නොසලකා හැර ඇති බවත් රාජපක්ෂ කඳවුර සිය පෙත්සමින් කියා සිට තිබේ. පෙත්සම්කරුවන්ගේ පෞද්ගලික දේපළ මෙන්ම අනෙකුත් පුරවැසියන්ගේ මෙන්ම රාජ්‍යයේ පොදු දේපළ ද ආරක්ෂා කිරීම සඳහා ආරක්‍ෂා කිරීමට ඔහු අසමත් වූ බව එමගින් කියා සිටිති.

2022-03-31 සහ 2022-05-09 යන දිනවල ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ හැසිරීම අතිශය සැක සහිත සහ ප්‍රශ්නකාරී බව එම කොමිසම විසින් සොයා ගෙන ඇති බව රාජපක්ෂ කඳවුර කියා සිටිති.

ජනාධිපතිවරයා විසින් හදිසි ප්‍රකාශයට පත් කර තිබියදීත්, පවතින ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් නොගත් බවත් රාජපක්ෂ කඳවුර කියා සිටිති.

ශවේන්දු සිල්වා සහ ගෝඨාභය රාජපක්ෂ යුද සමයෙහි යුද හමුදාපති වූ ජෙනරාල් සරත් පොන්සේකාට විරුද්ධව කටයුතු කළ බවට එකල චෝදනා නැගුණි. සුදු කොඩි රැගෙන යටත් වීමට ආ එල්ටීටීඊ සටන්කරුවන් කණ්ඩායමකට වෙඩි තැබීමට ගෝඨාභය රාජපක්ෂ අණ දුන්නේ ශවේන්ද්‍ර සිල්වාට යැයි ද චෝදනා නැගී තිබුණි.

කොවිඩ් වසංගතය අවස්ථාවෙහි එ සම්බන්ධ සියලු කටයුතු බාරව කටයුතු කිරීමටද ගෝටාභය පත් කළේ ශවේන්ද්‍රය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දේපාර්ථමෙන්තුව ජෙනරල් ශවේන්දු සිල්වා යුද අපරාධයන්ට සම්බන්ධ බවට විශ්වසනීය සාක්ෂි ඇතැයි එරටට ඇතුළු වීම තහනම් කරන ලද්දේ වසර ගණනාවකට පෙරය. එම අවස්ථාවෙහි ඔහු වෙනුවෙන් රාජපක්ෂ කඳවුරම පෙනී සිටියේය.

වීරයා ද්‍රෝහියා වීම

ජෙනරාල් ශවේන්දු සිල්වා විමල් වීරවංශ- ගම්මන්පිල – වාසුදේව- ගෙවිදු යනාදී වර්ගවාදී කණ්ඩායමේ ජනාධිපති අපේෂකයා වනු ඇතැයිද පසුගිය කාලයේ කට කතා පැතිර ගියේය.

මැයි 09 දින මහජන වටලීමකට හමුව බියෙන් ගැහෙමින් සිටි මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස  බේරා ගෙන ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට ගෙන යෑමට මූලිකත්වය ගත්තේ ද ජෙනරාල් ශවේන්ද්‍ර බව කියනු ලැබේ.

දැන් රාජපක්ෂ කඳවුර විසින් චූදිතයකු ලෙස නම් කර ඇති නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවමත් රනිල් රාජපක්ෂ පාලනය ආරක්ෂා කිරීමෙ ප්‍රමුඛයකු ලෙස කටයුතු කරයි. ඔහු පොලිස් ඇමැති ටිරන් අලස් ගේ ගජ මිතුරකු බවත් නිතිපතා ඔහුගේ පුවත්පත් කාර්යාලයට පවා පැමිණෙන බවත් කියනු ලැබේ.

එවැනි තවත් චූදිතයකු වන ජෙනරල් කමල් ගුණරත්න ගෝඨාභයගේ දතුණූ අත තරම් සමීපතමයතු විය. ඔහු ගෝටා නමින් ප්‍රශස්ති ගායනා පොතක්ද පළ කලේය. කමල් ගුණේ දකුනු අත වූයේ නම් ගෝටාගේ වම් අත වූයේ ශවේන්ද්‍රය.

රාජපක්ෂ කඳවුර දැන් සිය අවි අමෝරා සිටින්නේ කලක් රණ විරුවන් ලෙස පුම්බා ආරක්ෂා කළ පිරිස් වෙතය. මෙම නඩුවෙහි අරමුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීම බව ද පෙනේ.

දෙමළ ජන ඝාතනය සම්බන්ධයෙන් ද මෙම යුද නිලධාරීන් චෝදනා ලබා තිබුණ ද රාජපක්ෂ කඳවුර එම අවස්ථාවන්හි එම චෝදනා දේශද්‍රෝහී ක්‍රියා ලෙස හෙළා දකින ලදී.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට

“ දෙමළ ජනයා මරන විට වීරයන්ය. අප නො රකින විට ද්‍රෝහීන්ය” යන්න රාජපක්ෂ කඳවුරේ සටන් පාඨය වී තිබේ.

මැයි 09 දින  ” ගෝටා ගම ප්‍රහාරයට රාජපක්ෂ කඳවුර සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැනි පිරිස් වගකිව යුතු බවට පවරා ඇති නඩුවෙහි දී රජයේ නීතිපතිවරයා පෙනී සිටින්නේ  වින්දිත සිවිල් ජනයා වෙනුවෙන් නොව රාජපක්ෂ කඳවුර ආරක්ෂා කිරීමටය.  එම නඩුව පවත්වා ගෙන යෑමට නීතිපතිවරයා  විරුද්ධ වුවද ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අවසර දුන්නේය.

දැන් මෙම නඩුවෙහි දී නීතිපතිවරයා කුමන පාර්ශවයක් ගනු ඇත්දැයි දේශපාලන අංශ විමසිලිමත්ව සිටිති.

හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමයටය.

( මෙම ලිපියෙහි ඇතැම් කරුනු පමණක් ඩේලි මිරර් පුවත් පතෙහි පළ වූ  ලිපියක් අසුරිනි.)

 

 

Archive

Latest news

Related news