ඡායාරූපය: සුද කොළ ඔසවා විරෝධය පාන චීනයේ ෂැංහයි නුවර ජනයා.
සුනන්ද දේශප්‍රිය.
නිදහස වනාහි මානවයාගේ සහජ ලැදියාවක් බව පෙන්වමින් පසුගිය දිනයන්හි, ලෝකයේ දරුණුතම ඒකාධිපතිත්වයක් පවත්වා ගෙන යන චීනය පුරා නිදහස සඳහා විරෝධතා පැතිර ගියේය. විශ්ව විද්‍යාල 150ක් ඊට එක් විය. මේ විරෝධතා පැන නැගුණේ කොවිඩි මර්දනයේ නාමයෙන් එරට ජනයාගේ සංචරණ නිදහස අවුරා ලීමට එරට රජය දිගටම ක්‍රියා කිරීමට විරුද්ධවය.
මෙම විරෝධතාවයේ සලකුණ වූයේ කිසිවක් ලියා නැති සුද කොළය. සුදු කොලය ඔසවා සිටීම වරදක් ලෙස දැක්වා සිර ගත කළ නොහැක. එනමුත් විරෝධතාකාරියන් සහ විරෝධතාකරුවන් අත තිබූ සුදු කොලයේ පාලකයින්ට නොපෙනන විරෝධතා සටන් පාඨ දිදුලනු එරට ජනයාට පෙනුනි.
සාධාරණ අරගලයක් ජනයාගේ එකක් බවට නිතැනින් පත් වෙයි.
ඒකාධිපති රාජ්‍යන්හි ජනයා බොහෝ විට විරෝධතා දැක්වීම සඳහා පොදු ජනයාට එක් විය හැකි සුදු කොලය වැනි සලකුණ යොදා ගනිති. මියන්මාරයේ සහ තායිලන්තයේ විරෝධතාවයන්හි සලකුන මැදගිලි තුන ඔසවා පෙන්වීමයි. ඉරානයේ ස්ත්‍රීහු සිය හිස ආවරණ ගලවා එය ලෙලවා විරෝධය පෑහ. ඉරානයේ ස්ත්‍රී අරගලයට හිමිකම් කීමට කිසිවකු නොසිටි අතර එය ස්වයං සිද්ධ අරගලයක් ලෙසින් ඉරාන සමාජය සෙලවීමට සමත් විය.
සාර්ථක විරෝධතාවයක ලකුණක් නම් නිර්මාණශීලී බව සහ පොදු ජනයා ඊට එක්වීමට ඇති පහසුවයි. 2002 වසරෙහි සාධාරණ මැතිවරණයක් සඳහා අප විසින් දියත් කළ කහ පටි ව්‍යාපාරයද එවැනි පොදු ජනයා අතර පැතිර ගිය ව්‍යාපාරයක් විය.
ගාලු මුවදොර අරගලයට කවර හෝ පොදු නායකත්වයක් තිබුණි නම් ලෙහෙසියෙන්ම කහ පටි ව්‍යාපාරය වැනි අහිංසක සළකුණක් මගින් එය සමාජය පුරාම ගෙන යාමටත් සමාජයේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමටත් හැකි වන්නට තිබුණි. එවැනි අදහස් පිළිගැනීමට සූදානමක් අරගලයේ ක්‍රියාකාරී පිරිස් අතර සූදානමක් නොතිබුණි.
කලු කොඩි එසවීමට වඩා කහ පටියක් බැඳ ගැනීම හෝ සුදු කොලයක් අල්ලා ගෙන සිටීම පහසුය. සහභාගිත්වය එකමය.
ගාලු මුව දොර අරගලය එහි මුල් කාලයේ ආදරයේ අරගලය ලෙස මෙරට ජනයාගේ සිත් බැද ගත්තේ එහි වූ ස්වයං සිද්ධ සහ නිර්පාක්ෂික බව නිසාය.
චීන ජනයාගේ ක්‍රියාකාරී පිරිස් අතර සුදු කොලයේ ලාංඡනය නොනැසී පවතිනු ඇත. ෂී ජින් පිං වැනි බලගතු නායකයකු බිය ගැන්වීමට සුදු කොලයකට හැකි වෙතැයි සිතු අයෙක් නොවූයේ ආදරයේ අරගලය මෙරට ජනයාගේ අපේක්ෂාව බවට පත් වෙතැයි සිතීමට 2022 අප්‍රේල් මාසයේ දී වත් සිතිය නොහැකි වූ නිසාය.
අප කැමැකි වුවත් නැති වුවත් රාජ්‍ය නායකයින් බිය ගන්වමින් නිදහස සඳහා අරගලය සෑම තැනකදීම කලින් කල පැන නැගෙනවා ඇත.
එමෙන්ම අද ලෝකයේ ඒකාධිපතියන් පරණ කාලයේ ඒකාධිපතියන් මෙන් නොවේ. ඔවුන් මර්දනය දියත් කරන්නේ ආගමික පාඨ (ඉරානය සහ ශ්‍රී ලංකාව) සමඟ හෝ වාම දේශපාලන පාඨ (චීනය සහ වෙනිසියුලාව) සමඟ බද්ධ කරමිනි.
නූතන ඒකාධිපතියන් මැතිවරණ නොපැවැත්වීම වෙනුවට දූෂිත මැතිවරණ මගින් බලයේ සිටීම තහවුරු කර ගනිති. මාධ්‍ය නිදහස මර්දනය කරනු වෙනුවට මාධ්‍ය මුදලට බා ගනිති.
එබැවින් සුදු කොලයෙන් එපිටට ආදරයේ අරගලය ගෙන යෑම හුදෙක් සටන් පාට සහ විරෝධතා මගින් පමණක් කළ නොහැක.
ඒ සඳහා සාමූහික බුද්ධිය මෙහෙයවා නව මං සෙවිය යුතුය. නැතහොත් අපට ලැබෙනු ඇත්තේ අලුත් බෝතලයක පරණ වයින්ය.