Wednesday, April 24, 2024

පවුල් පිටින් රට ගිය මරා -ගෝරා 2021දී මහජන මුදල් මිලියන 40ක් ගිලියි; 83% ම මරාට!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදේශ සංචාරවලට සාපේක්ෂව එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාර සඳහා වන වියදම බෙහෙවින් වැඩි බව අනාවරණය වී තිබේ.

2021 වසර තුළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විදේශ සංචාර දෙකක් සඳහා වැය කළ මිලියන 36 ක් වැය කරත්දී සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වියදම් කළේ  විදෙස් සංචාර තුනකට මිලියන 7ක් පමණි.

මහින්ද රාජපක්ෂගේ සීමාවක් නැති වියදම් කිරීමේ පුරුද්ද මෙමගින් යළි සනාථ වෙයි. හිටපු අගමැති රාජපක්ෂගේ නිල සංචාර සඳහා වැය වූ මුදල මුළු වියදමෙන් සියයට 83 කි.

මහින්ද රාජපක්ෂ සිය විදේශ සංචාර සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ පෞද්ගලික මිතුරන් ඇතුළු  විශාල පිරිස් රැගෙන යාම මෙම අධික වියදම් වලට හේතුව බව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ සපයා ඇති කරුණූ මගින්  තහවුරු වී තිබේ.

මෙම තොරතුරු ඉල්ලා ඉදිරිපත් කරන ලද අයදුම් පත 2022 ජනවාරි පළවැනිදා ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කළේය. ගෝඨාභය රාජපක්ෂ, තමාගේ සහ තම සහෝදරයාගේ විදෙස් ගමන් වියදම් ජනතාවට දැනුම් දීමට බිය විය. අනතුරුව මෙම තොරතුරු ලබා දෙන ලද්දේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අභියාචන නියෝගයක් අනුවය.

මෙම ඉල්ලීම කර තිබුණේ මාධ්‍යවේදියකු විසිනි.

එකී අභියාචන නියෝගය අනුව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කාර්යාලයෙහි වැඩ කරන දින 14ක් හෝ දින 21ක් ඇතුළත විස්තර සැපයිය යුතු විය. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය එම තොරතුරු සැපයීම සඳහා මාස දහයකට වැඩි කාලයක් ගත කළේය.

ජනාධිපති කාර්යාලය පවා නීතියට අනුව ක්‍රියා නොකරන බවට මෙය සාක්ෂි දරයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සපයන ලද තොරතුරු අනුව රාජපක්ෂ සොහොයුරන් දෙදෙනා පසුගිය වසරේ විදේශ නිල සංචාර පහක් සඳහා රුපියල් 44,739,184.91 ක මුළු මුදලක් වියදම් කර ඇති තිබේ.‍

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපදයේ  නිව්යෝර්ක් සංචාරයක් සඳහා සඳහා රුපියල් 5,461,221.71, එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ සංචාරය සඳහා රුපියල් 1,785, 210.42   සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය සඳහා 521,888.68ක්  වැය කර තිබේ.  මුලු වැය රුපියල් 7,768, 320.77 ක් වියදම් කර ඇත.

කෙසේ වෙතත්, මෙම සංචාරයන්හි අරමුණ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දෙන ලද තොරතුරු මගින් පැහැදිලි කර නැත.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ  2021 මාර්තු 19 වන දින බංග්ලාදේශ නිදහස් දින සැමරුම් උළෙලට සහ ෂෙයික් මුකර්ජි රහුමාන්ගේ ජන්ම සංවත්සරයට සහභාගී වීම සඳහා බංග්ලාදේශයේ කළ සංචාරය සඳහා රුපියල් මිලියන 10 (10,568,962.53) කට අධික මුදලක් වැය කර තිබේ. 2021 සැප්තැම්බර් 10 වන දින G20 නම් රාජ්‍ය නොවන සංවිධානයේ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීම සඳහා රුපියල් මිලියන 26 කට වැඩි මුදලක් (එනම් රු. 26,401,901.61 )   වැය කර ඇත. ඔහුගේ පවුලේ සමහර සාමාජිකයින් ද රැගෙන  ඉතාලියේ පැවති සමුළුවට ගිය  රාජපක්ෂ ඉතා වියදම් අධික හෝටලයක නවාතැන් ගත් බවත් ඒ දිනවලම වාර්තා විය. ( ශ්‍රී ලංකා බ්‍රීෆ් ද  එය වාර්තා කරන ලදී)

එම සමුළුව රාජ්‍ය සමුළුවක් ලෙස ප්‍රචාරය කරන ලද නමුත් පසුව එය රාජ්‍ය නොවන සංවිධානයක් බ හෙළි දරව්ව කරන ලද්දේ  මාධ්‍ය මගිනි. එහි මහින්ද රාජපක්ෂ පවා වාඩිවී සිටියේ බාල ප්ලාස්ටික් පුටුවකය.

රාජපක්ෂ පවුල මෙම අනවශ්‍ය වියදම් දරන ලද්දේ රටම කොවිඩ් 19 වසංගතයට හා බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි තීරණාත්මක අවස්ථාවකය. රටේ නායකයන් තම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් කැටුව විදේශ සංචාර සඳහා මේ ආකාරයෙන් මහජන මුදල් යෙදවීම මගින් පෙනෙන්නේ රාජපක්ෂ පවුල මහජන මුදල් ගසා කෑම සිය ජන්ම ගතිය බවට පත්කර ගෙන තිබූ සැටිය.

සේ. පියවර්ධන විසිනි.

( ඩේලි මිරර් හි පළ වූ වාර්තාවක් ද අසුරු කර ගන්නා ලදී)

Archive

Latest news

Related news