Thursday, March 28, 2024

ගෝටාගේ ව්‍යවස්ථාව සෑදීමට මිලියන 154ක නාස්තියක්! ලේකම්වරයාට මසකට රුපියල් මිලියන 1.2ක්!!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත් කළ නව දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව නියමිත කාලසීමාව තුළ වාර්තාව සම්පාදනය කිරීමට අපොහොසත් වී ඇති නමුත්, නිසි අනුමැතියක් ලබා නොගෙන එහි කටයුතු සඳහා සහ දීමනා වශයෙන් මිලියන ගණන්   පොදු අරමුදල් වියදම් කළ බව විගණන වාර්තාවක් පෙන්වා දෙයි.

කමිටුවේ මූලික රැස්වීම 2020 ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වුණද, 2021 දෙසැම්බර් වන විටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම අවසන් කර නොතිබුණි. කමිටුව පත් කළ දින සිට මාස හයක් ඇතුළත වාර්තාව සකස් කිරීමට මුලින් සැලසුම් කර තිබුණි. පසුව එහි කාලය දීර්ඝ කරන ලදී.

“අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර නිශ්චිත කාල රාමුවක් තුළ ක්‍රියාකාරකම් සිදු කර අවසන් කළ යුතුය” යනුවෙන් එම කමිටුව පත් කිරීමේදී දැනුම් දී තිබුණි.

2020 සැප්තැම්බර් 10 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වියදම් පියවා ගැනීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට අනුමැතිය ලබා දෙන ලදී.

වියදම් සඳහා කාලරාමුවක් හෝ ඇස්තමේන්තුවක් සකස් කිරීම පසුගිය වසරේ දෙසැම්බර් 27 වැනි දින විගණනය සිදු කරන විටත්  කර නොතිබූ අතර ඒ සඳහා ප්‍රතිපාදන වශයෙන් රු. මිලියන 158ක් ලබා දී තිබූ බව වාර්තාවේ.

එම කමිටුව සමන්විත වූයේ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතීඥ සමන්ත රත්වත්තේ, මහාචාර්ය නදීමා කමුර්දීන්, මහාචාර්ය ජී.එච්.පීරිස්, මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න, ආචාර්ය ඒ. සර්වේෂ්වරන්  යන අයගෙනි.

විගණන වාර්තාවේ කුලී ගෙවීම වැනි අඩුපාඩු කිහිපයක්ම සටහන් කර තිබේ.

භාවිත නොකළ කාර්යාල කාමර තුනක් සඳහා  රුපියල් 816,480 ක්  සහ භාවිතයට නොගත් කාර්යාල උපකරණ සඳහා තවත්  රුපියල් 435,348 ක් නිෂ්ක්‍රීය වියදම් ලෙස විගණන වාර්තාවේ සඳහන් වේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට අදාළ නිර්දේශ සකස් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර විවිධ පාර්ශ්වවලින් අදහස් හා යෝජනා ලබාගෙන සමාලෝචනය සිදු කළ යුතුව තිබුණි. එම කමිටුවේ සාමාජිකයින් යනු පූර්ණ කාලීනව සේවය කරන නිලධාරීන් නොවීය.  සාමාජිකයින් පස් දෙනෙකු කිසිදු දීමනාවක් ලබා නොගෙන සේවය කර තිබේ.

කමිටුව විසින් දරන ලද වියදම් අතර සැසිවාරවලට සහභාගී වීම සඳහා  රු. 3,100,000 ක් ද  එක් සැසියක් සඳහා එක් සාමාජිකයෙකුට රු. 25,000 ක්ද  රැස්වීමකට ගමන් දීමනාව සඳහා රුපියල් 5,000ක් බැගින් ද  ගෙවා තිබේ.  කමිටුවේ ලේකම්වරයාගේ මාසික දීමනාව රු. 1,200,000 ක් විය. එනම් රු. එක් සැසියක් සඳහා රු. 200,000 ක මුදලකි.

සෑම සැසියකටම රුපියල් 100,000 ලෙස සම්බන්ධීකාරකවරයාට ගෙවූ මාසික දීමනාව වූ රු. 600,000 ක් සඳහාද සෑම සැසියකටම රු. 80,000 ක් ලෙස  පූර්ණ කාලීන පර්යේෂණ සහකාරවරයාගේ මාසික දීමනාව වූ රු. 2,600,000ක් සඳහා ද  සෑම සැසියකටම රු.40,000 ලෙස, රු. 2,560,000 ක අර්ධකාලීන පර්යේෂණ සහකාර සඳහා දීමනා ද රු. 2021 දෙසැම්බර් 31 වන විට ගෙවා තිබූ නමුත් එම අදාළ ගාස්තු සඳහා අනුමැතිය ලබාගෙන තිබී නැත.

වාර්තාව සම්පාදනය කළ ජාතික විගණන කාර්යාලය, “මහජන මුදල් අවශ්‍යතා නිවැරදිව හඳුනා ගෙන ආර්ථික ගනුදෙනු සඳහා පමණක් යෙදවිය යුතු” බව අවධාරණය කරමින් නිර්දේශ කර ඇත්තේ භාණ්ඩාගාර අනුමැතිය ලබා නොගෙන සිදු කරන ලද ගෙවීම් වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අය කර ගත යුතු බවය.

එනමුත් මෙම අයථා වැය කිසිදු දිනෙක අයකර ගනු ඇතැයි සිතිය නොහැකි බව දේශපාලන අංශ පවසති.

 

Archive

Latest news

Related news