Friday, March 29, 2024

පෙර නොවූවිරූ ආර්ථික අර්බුදය හමුවෙහි මෙරට අපරාධ ඉහළ නගී!

පෙර නොවූවිරූ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ  මෙරට  සමස්ත අපරාධවල වැඩිවීමක් දක්නට  ඇති බව පොලිස් සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

වාහන සොරකම්වල වැඩි වීමක් දක්නට ලැබෙන අතර, මේ වසරේ 2022 සැප්තැම්බර් වන විට වාහන සොරකම් 1,406 ක් වාර්තා වී තිබේ.  ඒ අනුව  බස් රථ 12 ක්, වෑන් රථ 25 ක්, ලොරි රථ 16 ක්, කාර් 14 ක්, ත්‍රිරෝද රථ 311 ක්, යතුරුපැදි 1,016 ක් සහ තවත් වාහන 12 ක් සොරකම් කර ඇත.  පොලිස් මාධ්‍ය කොට්ඨාශය 2022 සැප්තැම්බර් මස නිකුත් කරන ලද වාර්තාවක ඒ බව දැක්වේ.

වාහන ආනයනය නැවැත්වීමෙන් පසු  අමතර කොටස් පිරිවැය ඉහළ යාම නිසා වාහන සොරකම් වැඩි වී ඇති බව ප්‍රවාහන සැපයුම්කරුවන් සහ වාහන ව්‍යාපාරිකයෝ පවසති.

මේ අතර, වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාව මිනීමැරුම් 435 ක් වාර්තා වී ඇති අතර, පසුගිය වසරේ වාර්තා වූ සමස්ත මිනීමැරුම් ගණන 403 කි. සංවිධානාත්මක අපරාධයන්ට (පාතාල) සම්බන්ධ වෙඩි තැබීම් රට තුළ වැඩි වීමක් දක්නට ලැබේ.

පවතින මුදල් අර්බුදය මධ්‍යයේ වර්ධනය වන දුෂ්කරතා හමුවේ  දරිද්‍රතාවයට  පත් පුරවැසියන් අපරාධ සහ සොරකම්වලට යොමු වීම නිසා  මෙරට අපරාධවල වැඩිවීමක් දැකිය හැකි  බව ආර්ථික විද්‍යාඥොයෝ පවසති.

ගවයන් සහ දේපල සොරකම් කිරීම ද වැඩි වී ඇති බව පොලිසිය පවසයි.

මේ අතර, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ, ළමා දූෂණ ඇතුළු දූෂණ 1500ක් දිවයින පුරා වාර්තා වී තිබේ. ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ස්ත්‍රී දූෂණ 199 ක්, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ 951 (එනම් නිසි වයස් සීමාවට පෙර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම්) ක් සහ ළමා දූෂණ 273 ක් දක්වා වාර්තා වී ඇත.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව, 2021 පළමු කාර්තුවේ 4,073 සිට සියයට 11.8කින් වැඩිවී 2022 පළමු කාර්තුවේදී එච්අයිවී රෝගීන් 4,556ක් වාර්තා වී ඇත.

( ඉකොනොමි නෙක්ස්ටි හි පළ වූ වාර්තාවක් ඇසුරිනි)

Archive

Latest news

Related news