Tuesday, July 16, 2024

තමන්ගේ දේශපාලන අනන්‍යතා ඇතිව හෙට විරෝධතාවයට එක්වෙමු! – තරුණ ජනමාධ්‍යවේදියෝ

2022 නොවැම්බර් 01.

තම-තමන්ගේ දේශපාලන අනන්‍යතා සහිතව, මේ මොහොතේ අත්‍යවශ්‍ය – නිශ්චිත පොදු අරමුණ වන මර්දනයට එරෙහිව නොවැම්බර් 02 දින එකට එක් වන ලෙස පුරවැසියන්ගෙන්, සිවිල් සංවිධානවලින් සහ දේශපාලන පක්ෂවලින් කරන ඉල්ලීමයි.

විරෝධය ආණ්ඩුවට එල්ල කරමු!

අසමත්කම නිසා රටේ ඇතිවී තිබෙන ආර්ථික සහ දේශපාලන ගැටලුවලට විසඳුම් ලබාදීමට අපොහොසත් වත්මන් ආණ්ඩුව, මේ වන විට දැවැන්ත මර්දනයක් දියත් කර තිබේ. සාමකාමී විරෝධතාවලට එරෙහිව අධිකරණ නියෝග ලබාගැනීම, සාමකාමී විරෝධතා ප්‍රචණ්ඩත්වය යොදා විසුරුවා හැරීම මෙන්ම විරෝධතාකරුවන් අනීතිකව අත්අඩංගුවට ගැනීම ද දිගින්-දිගටම සිදු වේ.

එයින්ද ඔබ්බට යමින් වසර ගණනාවක සිට ම මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් හකුලා ගන්නා ලෙස බල කළ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනයට යොදගෙන ඇත. එසේම විරෝධතාකරුවන් සිර කිරීමටත්, භාෂණයේ ප්‍රකාශනයේ නිදහස හීන කිරීමටත් පුනරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත වැනි නව නීති ගෙන එමින් තිබේ.

රාජ්‍ය ත්‍රස්තවාදය පරදවමු

රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපයෙන් ගෙන යන ආණ්ඩුවේ මෙම නොනවතින මර්දනයට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව නොවැම්බර් 02දා විරෝධතා පාගමනක් සංවිධානය කළේ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, මර්දනය නතර කිරීමටත් ආණ්ඩුවට බලකිරීම සඳහා ය.

මෙම මර්දනයට එරෙහි පාගමනට සම්බන්ධ වන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දේශපාලන පක්ෂවලට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විවෘත ආරාධනයක් කර ඇත්තේ ද ආණ්ඩුවේ ත්‍රස්තවාදයට එරෙහිව පාට, පක්ෂ බේද අතහැර එකාවන්ව සටන් කළ යුතු නිසා ය.

රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ඉදිරිපත් කරන ‘මර්දනය නවතනු’ සහ ‘මර්දනයට යොදාගන්නා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි නීති-රීති අහෝසි කරනු’ යන සටන් පාඨ දෙක මානව හිමිකම් අගයන, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලුම පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ පුරවැසියන්ට කොන්දේසි විරහිතව සහයෝගය දිය හැකි මාතෘකා බව අපි විශ්වාස කරමු.

ඉල්ලීම

මර්දනයට එරෙහි මෙම පාගමනට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහයෝගය ලබා දෙන අතර, නොවැම්බර් 02දා පස්වරු 3ට මේ සඳහා සම්බන්ධ වෙමින් මර්දනයට එරෙහිව ඔබේ හඬ අවදි කරන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දේශපාලන මතවාද අතින් වෙනස්කම් තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. එසේ වුවද, මෙසේ බරපතළ මර්දනයක් ක්‍රියාත්මක වන අවස්ථාවකදී එවැනි මතබේද පසෙකින් තබා පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මැදිහත් වීම දේශපාලන පක්ෂවල සහ සිවිල් සංවිධානවල වගකීමකි.

එසේ හෙයින් මෙම තීරණාත්මක අවස්ථාවේ මර්දනයට එරෙහිව එක්ව, රාජ්‍ය ත්‍රස්තවාදය නතර කිරීම සඳහා සක්‍රීයව දායක වන ලෙස සියලු වෘත්තීය සමිතිවලින්, බහුජන සංවිධානවලින් සහ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු.

මර්දනයට එරෙහි මෙම ඒකාබද්ධ විරෝධය සඳහා සක්‍රීයව දායක වන ලෙසත්, ඒ සඳහා පුළුල් ආවරණයක් ලබාදෙමින් භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය ඇතුළු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙසත් සියලුම මාධ්‍ය ආයතනවලින්, මාධ්‍යවේදීන්ගෙන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගෙන් ද අපි ඉල්ලා සිටිමු.

ස්තූතියි.

තරිඳු ජයවර්ධන – සභාපති
එම් එෆ් එස් ෆසීර් – ලේකම්
ශාලික විමලසේන – කැඳවුම්කරු
නිරෝෂ් මෛත්‍රී – භාණ්ඩාගාරික

Archive

Latest news

Related news