Tuesday, May 7, 2024

සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී දිල්රුක් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

2022/10/10
චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

පොලිස්පතිතුමනි,

සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර සහකාර පොලිස් අධිකාරී දිල්රුක් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටීම

කොළඹ ගාලු මුවදොර ඊයේ (09) පැවැති සාමකාමී විරෝධතාවයකට සහ සැමරුමකට කඩා වැදුණු පොලිස් නිලධාරීන් පිරිසක් ඊට බාධා කළ අතර ඊට සහභාගී වූවන්ට කෘර, අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකනු දක්නට ලැබිණි.

භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබියදී ශ්‍රී ලංකා පොලිසිය ඊට අවස්ථාව නොදුන්නා පමණක් නොව සාමකාමීව සිටි පිරිසට පහරදීම ද සිදු කර පාසල් ශිෂ්‍යකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.

දරුවකු ඇතැතිව සිටි යුවළකට සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක් ඇතුළු පොලිස් නිලධාරීන් හිරිහැර කළ දැරියක සමඟ සිටි මවකටද හිරිහැර කළහ. ඊට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවීම සජීවීව විකාශය කරමින් සිටි පාසල් ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබා ගෙන සිටි අතර තවත් සාමකාමී විරෝධතාකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලිස් හිරිහැර නිසා අවුරුද්දක් පමණ වයසැති දරුවකු රෝහල් ගත කර සිටින අතර එම දරුවාගේ පියා ද රෝහල් ගත කරනු ලැබ සිටියි.

මෙම පොලිස් නිලධාරීන් පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා පමණක් නොව වධ දීම හා අනෙකුත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත යටතේ ගැණෙන වරදවල් ද, දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැණෙන වරදවල්ද සිදු කරන ආකාරය පැහැදිලිවම වීඩියෝ දර්ශනවල දක්නට ලැබේ.

කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ, සහාකර පොලිස් අධිකාරී නලීන් දිල්රුක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් ඇතුළු පිරිසගේ හැසිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ලවා අපක්ෂපාතී විමර්ශනයක් කර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, ඔවුන්ට එරෙහිව අපරාධමය වශයෙන් ක්‍රියාකරන ලෙසත්, ඊට සමගාමීව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටිමු.

විමර්ශනය ආරම්භ වූ පසු අවශ්‍ය සාක්කි ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.

ස්තුතියි.
මෙයට,

තරිඳු ජයවර්ධන
සභාපති
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
[email protected]

පිටපත්
1) විමර්ශන අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
2) සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය.
3) විධායක කමිටුව, තරුණ නීතිඥ සංගමය.

Archive

Latest news

Related news