Friday, April 19, 2024

අධි ආරක්ෂක කලාප රිවස් වීම: රනිල් රාජපක්ෂ බාබා තොඳොල් කරන සිවිල්-ජනමාධ්‍ය කිරි අම්මලා

රනිල් රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පසුගිය 23 දා කොළඹ නගර මධ්‍යය අධි ආරක්ෂක කලාපයක් බවට පත් කළ බව නොදන්නා කෙනෙක් නැත.

මෙම භීෂණ පියවර ගන්නා ලද්දේ නැවත මහජන නැගිටීමක් ඇති වනු ඇතැයි ඔහු මහත් බයට පත්ව සිටින නිසා බවට ද සැකයක් නැත.

රනිල් රාජපක්ෂ සැළැස්ම

මෙම කරුණ තහවුරු කරමින් ගෝටා ගේ ගජයාගේ පුවත්පත වන ද මො(ර්)නින් මෙසේ ලීවේය:

“ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් වටලා නැවත වරක් මහජන විරෝධතා සංවිධානය කිරීමට පුද්ගලයන් උත්සාහ කරන බවට වාර්තා වීමත් සමඟ අධි ආරක්ෂිත කලාප පිළිබඳ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම එකඟ වී ඇති බව දැනගන්නට ඇත.”

රනිල් රාජපක්ෂ මෙම ගැසට්ටුව ගැන‍ හොඳින්ම දැන සිටි බව මෙමගින් තහවුරු වෙයි.

හොර මීඩියා ජමිලා යැයි අරගලය විසින් නම් පට බදින ලද, හිටපු රාජපක්ෂ දෝංකාරකාරියක වන ජමීලා හුසේන් ඩේලි නිව්ස් පුවත් පතට මෙසේ ලිව්වාය.

“ඩේලි මිරර් පුවත්පතට දැන ගන්නට ලැබී ඇති පරිදි පසුගිය සතියේ කොළඹ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රය ආපසු හරවන බවට වාර්තා පළ වුවද, අධි ආරක්ෂක කලාප අවශ්‍ය වන්නේ ඇයි සහ ලැයිස්තු ගත කර ඇති අඩවි ආරක්ෂා කළ යුත්තේ ඇයිද යන්න පිළිබඳව රජය ඉදිරි දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වනු ඇත”

මෙමගින්ද පෙනෙන්නේ අධි ආරක්ෂක කලාප පිහිටුවීම රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ දැනුවත් සැළැස්මක් බවයි.

විදග්දයාගේ හෙළුව

වන්දි භට්ට ස්තෝත්‍ර ගායකයින් විසින් රනිල් රාජපක්ෂ උජාරුවට නංවන ලද්දේ ලංකාව බේරා ගැනීමට සිටින එකම බුද්ධිමත් දේශපාලනඥයා ලෙසය.

එසේ නමුත් පිං ජනාධිපතිකමට පත් වූ දා සිට අරගල භුමිය මතින් සන්නද්ධ හෙලිකොප්ටර් යැවීමේ සිට මහ රෑ සන්නද්ධ හමුදා අරගල බිමට යැවීමෙන් පටන් ගත් මර්දනකාරී පියවර ගණනාවක් මගින් ඔහු දෙස් විදෙස්හි පතල වූයේ මර්දනකාරී පාලකයකු ලෙසය.

රනිල් රාජපක්ෂගේ මෙම මර්දනකාරී වර්තමානය දන්නා කවරෙකුට හෝ ඔහු විසින් නියෝග කරන ලද මෙම අධි ආක්ෂක කලාප ගැසට්ටුව පුදුමයක් නොවීය.

රනිල් රාජපක්ෂ නොකිය වූ තැන්

එම ගැසට් නිවේදනයට අනුව, අධි ආරක්‍ෂිත කලාප නම්: (1) පාර්ලිමේන්තු සංකීර්ණය, (2) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, කොළඹ සහ නීතිඥ ජෙනරාල් දෙපාර්තමේන්තුව. (3) ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානය සහ පොලිස් මූලස්ථානය. (4) අකුරේගොඩ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය, (5) ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදිය (6) අග්‍රාමාත්‍ය කාර්යාලය (මල් පාර), (7) කොල්ලුපිටිය, අරලිය ගහ මන්දිරය, සහ (8) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස යන ස්ථානයන්ය.

මෙම අත්තනෝමතික පියවරට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, සමගි ජන බලවේගය, ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජය, අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන සහ සමාගමයේ අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත Clément Nyaletsossi VOULE ගෙන් ඇතුළු දැවැන්ත විරෝධයක් මතු විය.

රනිල් රාජපක්ෂගේ බැල මෙහෙවරට ගොස් සිටින ඇන්ජීඕ නඩය මේ ගැනද දෙමුඛයම වසා ගෙන සිටියහ.

අවසානයේදී රනිල් රාජපක්ෂට සිය අනීතික ගැසට්ටුව අහෝසි කිරීමට සිදු වූයේ මෙම බලපෑම් නිසාය. එසේ නොවී නම් අදටත් එම නියෝගය බලපවත්වන බව නිසැකය.

තවද මෙම අවස්ථාවෙහි ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය රැස් වෙමින් නොතිබුණේ නම්, එය අභිමුව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් නොවී නම් රනිල් රාජපක්ෂ මෙම නියෝග අකුලා ගනු ඇතැයි විශ්වාස කිරීම ද උගහටය.

නමුත් දැන් රනිල් රාජපක්ෂට කිරි පොවන කුලී කාර ජනමාධ්‍ය කිරි අම්මලා මෙම නියෝගය රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය නොමැතිව ඔහුගේ ආරක්ෂක ලේකම් ජෙනරල් ගුණරත්න  සහ පොලිස් ඇමැති ටිරන් අලස් පිටින් යැවීමට වළි කති. උදාහරණයක් ලෙස සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු කියන්නේ රනිල් රාජපක්ෂ මෙම නියෝගයට අත්සන් කළේ කියවන්නේ නැතිව බවයි.

එම දේශපාලන ලියුම්කරුට අනුව මෙවැනි නියෝග සඳහා අත්සන් කරනවා හැර වෙන වගකීමක් ජනාධිපතිකාරයාට නැත.

ඔහු මෙසේ කියයි : ආරක්‍ෂක විෂය භාර අමාත්‍යවරයා වශයෙන් එවැනි නියෝගවල සත්‍යතාව පරීක්‍ෂා කිරීම ජනාධිපතිවරයාගේ සිරිත නොවේ. එම නියෝගය සිදු කරනු ලබන නිශ්චිත නීතිමය ප්‍රතිපාදන පිළිබඳව පරීක්ෂා කිරීමද ජනාධිපතිගෙන් බලාපොරොත්තු වන්නේ ද නැත. එබැවින් වික්‍රමසිංහ ජනාධිපති කිසිම පැකිලීමකින් තොරව ඊට අත්සන් කළේය”.

හුටා! කෝ බං අර ලොක්කා!

හුටා! කියා බලපිටිය සහ රත්ගම ජනයා කියන්නේ මෙවැනි ඇදහිය නොහැකි අබග්ගයන්ටය. ඒ අනුව ලංකාව බේරා ගැනීමට සිටින මහා විශාරදයා යැයි කියන රනිල් රාජපක්ෂ කොළඹ නගර මධ්‍යයේ වර්ග සැතපුම් පහක් තරම් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කළේ ගැසට්ටුව කියවන්නේ නැතිවය!

මේ වනාහී පාස්කු ඉරිදා ප්‍රහාරයන් ගැන ලද බුද්ධි තොරතුරු එවකට ජනාධිපති වූ සිරිසේන ගණන් නොගැනීම සාධාරණ යැයි කීමක් වැනි නොවේද?

රනිල් රාජපක්ෂ විසින් උපදේශකයින් සහ තවත් විවිධ කාර්යන් සඳහා පත් කර ගෙන සිටින හැටහුටාහමාරක් අන්තේවාසිකයින් ගෙන් එකෙකුට හෝ මෙම නියෝගය කියවා සිය ස්වාමියාට තේරුම් කර දෙන්නට බැරි වීද?

ලංකාවට සිටින ඊනියා “එකම විදග්ද දේශපාලනඥයා” මෙම නියෝගය අත්සන් කළේ අඩ නින්දකදීද?

මෙම නියෝගය රනිල් රාජපක්ෂගේ නියෝගයකි. එය අන් අයට පැවරීම කපටි නරියකුගේ දුබල උත්සාහයකි.

දෙස් විදෙස්හි නැගී ආ විරෝධය හමුවේ, මෙම නියෝගය නිකුත් කරන ලද්දේ රනිල් රාජපක්ෂගේ අනුමැතියෙන් නොවන බවට පුවතක් දින කිහිපයකට පෙර පැල කරන ලද්දේ ද දුසිම් ගණනාවක් සිටින රනිල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය විසිනි.

මෙම ස්තෝත්‍ර ගායක හෙංචයින් උත්සාහ කරන්නේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි රනිල් රාජපක්ෂගේ නිරුවත යම් දුරකට හෝ ආවරණය කිරීමටය.

මේසා බරපතල නියෝගයකට ජනාධිපති රනිල් රාජපක්ෂ අත්සන් කළේ නොදැන යැයි කීමෙන් එම අන්තේවාසික ස්තෝත්‍ර උපදේශකයින් කර ඇත්තේ, ජනප්‍රවාද ගත වඳුරු ආරක්ෂකයා මෙන්, රජතුමාගේ ශ්‍රී දේහය මත වැසූ මැස්සාට  කඩු පහරක් දී රජතුමා ඝාතනය කිරීමය.

සරම උස්සල මූණ වහගනිල්ලා

රනිල් රාජපක්ෂගේ දේශපාලන හෙළුව, ඇතුළට පමණක් නොව දැන් දින පතා ලොවටම පෙනෙන්නට පටන් ගෙන තිබේ. වඳුරු උපදේශකයින්ට එය වැසිය හැක්කේ තමන්ගේ රෙද්ද උස්සා ගැනීම මගින් පමණි!

සේ. පියවර්ධන

Archive

Latest news

Related news