Friday, April 26, 2024

නවක වදය: පේරාදෙණි ශාස්ත්‍ර පීඨය විසින් විකල්පය මර්දන කිරීමක්? – ධනුෂ්ක සිල්වා

2022-09-04 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවට අයත් සිසුන් 12 දෙනෙකුට නවකවදලෝලී සිසුන් පිරිසක් අමානුෂික ලෙස පහර දී තිබේ- පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනෙකු රෝහල් ප්‍රතිකාර සදහා යොමු කර තිබෙනවා- ඒ අතර සිසුන් දෙදෙනෙක් හා සිසුවියන් දෙදෙනෙක් සිටි.

පහර කෑමට ලක්වූ සිසුන් සුළු තුවාල ලබා ඇතත් තුවාලයක වටප්‍රමාණය අනුව පහරදීම/ශාරීරික පීඩා කිරීමේ ක්‍රියාවක අගය තීරණය නොවේ. පහර දීම කළ සිසුන් ශාස්ත්‍ර පීඨයට අයත් වන අතර විශ්ව විද්‍යාලය තුළ ඊටම ආවේණික උපසංස්කෘතියක් හා එහිම දිගුවක් ලෙස නවකවදය ( කවුරුත් දන්නා ලෙස පැරණි පන්නයේ සුන්දර අරුත නොවේ) සංස්කෘතියක් ලෙස නඩත්තු කිරීමට දායක වී සිටින්නෝය.

මෙම පහර දීමට අදාළ සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් සංසරණය වන අතර ශිෂ්‍යයන් විසින් ආහාර ගනිමින් සිටියදී අදාළ පහර දීම සිදුවේ. මෙම කතුවරයා කළ කරුණු සොයා බැලීමෙන් අනාවරණය වූයේ 30-50ක ශිෂ්‍ය පිරිසක් පහරදීමට මුල් වූ බවයි. මේ වියවුල්සහගත තත්වය හේතුවෙන් ම පෙරාදෙණි ශාස්ත්‍ර පීඨය වසා දමා ඇති අතර ශාස්ත්‍ර පීඨාධිපති පේරාදෙණි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. විශ්ව විද්‍යාල අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර නීති දෙපාර්තමේන්තුව හා ශිෂ්‍ය සංගම් අතර නව සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට නියමිතය.

මෙම සිදුවීම ගැන මෙම කතුවරයාට දැනගන්නට ලැබෙන්නේ මාධ්‍යවේදී අසේල කුරුළුවංශ ලියූ (දිනමිණ හා Daily News භැඅි පුවත්පත්වල විය යුතුය) කෙටි ලිපියක් මගිනි. එහි දැක්වූයේ නීතී දෙපාර්තමේන්තුවට අයත් ශිෂ්‍ය දෙපිරිසක් නවකවදයට අදාළ යම් කරුණක් මුල් කරගෙන ගැටුමකට පැටලී ඇති බවයි. එහෙත් මුල් වාර්තාවල කරුණු වැරදි බව කතුවරයා හා ශිෂ්‍යයන් පෙන්වා දෙන ලදී. එම වැරදි පුවත්පත් වාර්තා මෙහි දැක්වේ- කෙසේවෙතත් ඉන් පසුදින කරුණු නිවැරදි කර එහි පළ කරන්නට අසේල කුරුළුවංශ කාරුණික විය- නිවැරදි පුවත් වාර්තා මෙහි දැක්වේ.

කතුවරයා හොදින්ම දන්නා කරුණු අනුව නීති දෙපාර්තමෙන්තුව එය ස්ථාපිත කරන ලද දිනයේ සිට නවකවදය හෙළා දකින ප්‍රතිපත්තියක රැදී සිටී. ඒ අරුතෙන්, අනෙකුත් දෙපාර්තමෙන්තු අතර නවකවදය හා දැඩි හිංසක ප්‍රත්තිපත්තිය පිටුදැකීම ආයතනික ලෙස තහවුරු කරන ලද අතලොස්සක් අධ්‍යන ඒකක අතර නීති දෙපාර්තමේන්තුව කැපී පෙනේ.

කතුවරයා කල්පනා කරන ආකාරයට එහි ගෞරවය හිමිවිය යුත්තේ විශ්ව විද්‍යාල පරිපාලනයට හෝ දෙපාර්තුමේන්තු අධ්‍යයනය මණ්ඩලයට වඩා වාර්ෂිකව නවකවද ලෝලීන්ගේ ඇනුම්, බැනුම් හා පහර කෑම් ලබමින් වුවත් නවකවදය හා වින්දිතභාවයේ විෂම චක්‍රය (Cycle of Victimization) ක්‍රමයක් ලෙස වර්ධනය වන්නට ඉඩ නොදී ඊට විකල්පය ලෙස අවිහිංසක ක්‍රමයක් තහවුරු කරන ලද/කරමින් සිටින හිටපු හා දැන් සිටින සිසුන්ටය.

එහි අනෙක් අරුත නම් ඇකඩමික විෂයය මාලාව තුළින් දැඩි අවිහිංසක ප්‍රතිපත්තියක් කෙරෙහි ශිෂ්‍යයාගේ සිතුවිලි පද්දතිය බල ගැන්වීමට විශ්ව විද්‍යාල පරිපාලනය හා දෙපාර්තමේන්තු අධ්‍යයන මණ්ඩලය සමත් වී ඇතත් ඒත් සමගම මතුවන ප්‍රායෝගික ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීමේ කාර්යයේදී ඔවුන් දැඩිව මන්දෝත්සාහී වී තිබීමයි.

මෙම ත්‍රාඩ ප්‍රහාරය හෙළා දකිමින් හා ප්‍රාහරයකයන්ට සුදුසු දඩුවම් නියම කරන ලෙස බලකරමින් නීති දෙපාර්තමේන්තුවෙ ආදී ශිෂ්‍ය සංගමය නීතීඥවරු හා නීතීවේදීන් 142 දෙනෙකුගේ අත්සනින් යුතුව විවෘත ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එම ලිපිය මෙහි දැක්වේ

Archive

Latest news

Related news