Thursday, April 25, 2024

ජනයාගේ කුසගින්න මැති ඇමැති උදර පෝෂනයට යොදා ගැනීම (දි අයිලන්ඩ් කතුවැකිය)

ශ්‍රී ලාංකිකයෝ දඬුවම් වලට කෑදරයෝය. 2019 දී, වඩා හොඳ අනාගතයක් අපේක්ෂාවෙන් ඔවුහු මිලියන 6.9 ක් වත්මන් පරිපාලනය තෝරා ගැනීම සඳහා සිය ඡන්ද බලය භාවිතා කළහ.

වසර තුනකට පසු, ඔවුන්ගේ සිහින නායකයින් රට    බංකොලොත් කර ඇති අතර, ලෝක ආහාර වැඩසටහන (WFP) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව, මිලියන 6.3 ක ජනතාවක් ආහාර අනාරක්ෂිත තත්වයට පත්ව ඇත. කුසගින්නෙන් පෙළෙන සියලු දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දදායකයින් වූයේ නම්, එය යම් ආකාරයක සාපයක් ලෙස සලකා යමෙකුට සැනසීමට හැකි වන්නට පුලුවන. නමුත් එය එසේ නොවේ. වත්මන් පාලනයට ඡන්දය නොදුන් අය පවා එය සිදු කළ ආර්ථික අපරාධවල ගොදුරු බවට පත් වී ඇත. වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ දරුවන්ය.

මේ රටේ දේශපාලනීකරණය නොවූ දෙයක් නැති තරම්ය. වත්මන් පරිපාලනය ළමා මන්දපෝෂණය පිළිබඳ ප්‍රශ්නයට දේශපාලන හැඩයක් ලබා දී ඇත. UNICEF වාර්තාවක සංඛ්‍යාලේඛන විවාද කරමින්, 2016 වසරේ සිට ළමුන් අතර මන්දපෝෂණයේ ව්‍යාප්තිය අඩු වී ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කළේය.

එ් අනුව මහජනතාව විශ්වාස කළ යුත්තේ ළමා පෝෂණය වැඩි දියුණු වී ඇති බවයි! ආණ්ඩුව මහජනතාව බූරුවාට අන්දවා ඇති බව පෙනේ! ලෝක ආහාර අරමුදලට  අනුව, ආහාර උද්ධමනය 90% දක්වා ඉහළ ගොස් ඇති අතර පෝෂ්‍යදායී ආහාර වේලක පිරිවැය 156% දක්වා ඉහළ ගොස් ඇත. ආණ්ඩුව හිතන්නේ ජනතාව තමන්ගේ කතාන්දර මිල දී ගන්න තරම් මෝඩයැයි කියාද?

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ කුසගින්න මැඩපැවැත්වීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස පාසල් සිසුන් වීඩියෝ කිරීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයකට තමන් අවසර දීම ප්‍රතික්ෂේප කළ බවයි. ශ්‍රී ලාංකීය දරුවන් එසේ පහත් කිරීමට තමන් කිසිවිටෙකත් ඉඩ නොතබන බව ඔහු පැවසීය.

අප බංකොලොත් ජාතියක් බව මුළු ලෝකයම දන්නා අතර මිලියන ගණනක් මිනිස්සු මෙරට බඩගින්නේ සිටිති. අනෙක් අතට, මහජන ධනය මංකොල්ල කෑ, ආර්ථිකය අවභාවිත කළ, රට බංකොලොත් කළ වත්මන් පාලනයේ උදවියට දරුවන්ගේ ගෞරවය ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇතැයි සිතන්නේ කවුද?

ජාතික ධනය කොල්ලකෑම ශ්‍රී ලාංකිකයන්ගේ බඩගින්නට මූලික හේතුව බව ලෝකයට දැන ගැනීමට හැකි වන පරිදි බර රන් මාල, වළලු සහ මැණික් ඔබ්බවන ලද මුදු පළඳින, ඔවුන්ගේ මාලිගාවන්හි සහ දීප්තිමත් වාහනවල නැගී ක්‍රීඩා කරන  මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප ලෝක ආහාර සංවිධානයට සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පළ කරන්නට හරිමු.

විසම්මුතික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පසුගියදා පාර්ලිමේන්තුවෙන් වාචාල ප්‍රශ්නයක ස්වරූපයෙන් ඉල්ලා සිටියේ, දැනට සිටින මන්ත්‍රීවරයෙකුගේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවාද යන්න දන්වන ලෙසයි. පිළිතුර පැහැදිලිවම ඍණාත්මක ය.

බොහෝ මන්ත්‍රීවරුන් මහජන අනුකම්පාව දිනා ගැනීම සඳහා මැතිවරණ සමයේදී ඔවුන්ගේ නිහතමානී ආරම්භය උද්දීපනය කරන නමුත් ඔවුන් සහ ඔවුන්ගේ පරම්පරාව ජීවත් වන්නේ සුඛවිහරණයෙනි. ඔවුන් මෙතරම් ධනයක් රැස් කළේ කෙසේද?

බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ සහ මිලියන 6.3 ක ජනතාවක් ආහාර අනාරක්ෂිත තත්වයට පත්ව ඇත්තේ මන්දැයි මෙම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර පැහැදිලි කරයි.

රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු පත් කිරීමත් සමඟ ඊයේ දිනයේදී මහජනතාවගේ ලේ උරා බොන කූඩැල්ලන්ගේ ජනපදය පුළුල් විය. ආණ්ඩුව සිතන්නේ ඇමැතිවරු විශාල ලෙස වැඩි කළේ උදව් ඉල්ලන ජනතාවට සහන ලබා දීමට යැයි කියාද? ඇමති ධුරයක් යනු මේ රටේ මහජන මුදල් සොරකම් කිරීමට සහ බලය අයුතු ලෙස භාවිතා කිරීමට ඇති බලපත්‍රයයි.

පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටත්, නාස්තිය සීමා කිරීමටත්, ආර්ථිකය කණපිට හැරවීමටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සුක විය හැකි නමුත් ඔහු රාජපක්ෂ පවුලේ බලපෑම්වලට යට වෙමින් සිටී. ඔහු ණයට ගත් පියාපත් මත පියාසර කරන නිසාත්, ඔහුව නූලක බැඳ තබා ගන්නා පරපෝෂිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විරුද්ධ වීමට  නොහැකි නිසාත් ඔහු අසරණ වී ඇත. මේ වේගය අනුව කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවේ ද විශාල වැඩිවීමක් සිදුවනු නොඅනුමානය.

ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තා වලට දේශපාලන වශයෙන් ලැජ්ජාවට පත් වීම හෝ ඝෝෂාකාරී වාචාල කතා වල සිදුරු තෝරා ගැනීම නොවේ.

කුසගින්නෙන් පෙළෙන දරුවන් පෝෂණය කිරීමට සහ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට කළ යුතු දේ එය කළ යුතුය. රාජ්‍ය මුදල් නාස්තිය සහ දූෂණය මැඩපවත්වන්නේ නම්, අවශ්‍යතා ඇති අයට, විශේෂයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ආහාර ආධාර සැපයීමට ප්‍රමාණවත් මුදලක් ලැබෙනු ඇත. ඒ වෙනුවට ආණ්ඩුව නැමෙන්නේ තම මන්ත්‍රීවරුන්ගේ සහ ඔවුන්ගේ නෑදෑයින්ගේ උදර මහත් කර ගැනීමට උදව් කිරීමටය.

රුපියල් කෝටි 100ක් ඉල්ලූ මන්ත්‍රීවරයා නම් කරන ලෙස, දෙමළ ජාතික සන්ධානය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් බදාදා ඉල්ලා සිටියේය. මැයි මාසයේ දී මැර කල්ලි විසින් විනාශ කරන ලද ඔහුගේ දේපළ සඳහා වන්දි වශයෙන් බිලියනයක් ඔහු ඉල්ලා තිබේ.

එවැනි මිල අධික වත්කම් අත්පත් කර ගැනීම සඳහා ඔහු අරමුදල් රැස් කර ඇත්තේ කෙසේද? ඔහු ඒවා ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබේද? මිලියන සංඛ්‍යාත පුරවැසියන්, විශේෂයෙන්ම ළමයින්, කුසගින්නෙන් පෙළෙන අතරවාරයේ, මහජන මුදල් ස්වකීය උදර පෝෂණය සඳහා යොදා ගන්නා, මහජන නියෝජිතයන් යැයි කියාගන්නවුන් හෘදයාංගම විය හැකි යැයි සිතීම මුලාවකි.

( Fleecing the hungry නම් කතුවැකියෙහි දළ පරීවර්නයකි)

Archive

Latest news

Related news