Saturday, April 20, 2024

ත්‍රස්ත පනත යොදා ගැනීම ඇතුළු ලංකාණ්ඩුවේ මර්දනකාරී ක්‍රියා පිළිබද යුරෝපා සංගමයට INSDයෙන් විවෘත ලිපියක්

යුරෝපා සංගමය සහ යුරෝපීය කොමිසම වෙත විවෘත ලිපියක් යවමින් යුරෝපයෙහි ජීවත් වන  ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම් ලත් ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය’  ශ්‍රී ලංකාණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙලෙසමින් එරට විසංවාදය මැඩලීමට කටයුතු කිරීම යුරෝපා සංගමයේ සහ යුරෝපීය කොමිෂන් සභාවේ අවධානයට ලක් කරයි.

එම ලිපිය මෙසේ ද සඳහන් කරයි.

විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවා සිටීම, ශ්‍රී ලංකාණ්ඩුව විසින් 2017 වසරෙහිදී ජීඑස්පී පල්ස් සහනය යළි ලබා ගැනීම පිනිස දෙන ලද පොරොන්දුව කඩ කිරීමක් බව සඳහන් කිරීමට ද අපි කැමැත්තෙමු.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි යන විරෝධතාකරුවන් තිදෙනා අගෝස්තු මස 22 දින සිට එළෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටී. මේ වන විට 3,500කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් බහුතරයක් ඇප මත මුදා හැර ඇත. 1,500කට වැඩි පිරිසක් තවමත් අත්අඩංගුවෙහි තබා ගෙන සිටී.

ශ්‍රී ලංකාව පෙර නොවී විරූ සමාජ දේශපාලන සහ ආර්ථික අර්බූදයකට  අවිචාරශීලී අත්තනෝමතික ප්‍රතිපත්ති මගින් ඇඳ දැමූ පාලකයින්ට එරෙහිව තරුණ ජනයා විසින් දියත් කළ සාමකාමී අවිහිංසාවාදී අරගලය ප්‍රචණ්ඩත්වය මගින් විනාශ කිරීමට උත්සාහ කිරීමට ඍජුවම රාජපක්ෂ පවුල් පාලනය වග කිව යුතුය.

මහින්ද රාජපක්ෂ අගමැති නිල නිවසේ සිට පොලු මුඟුරු ගත් මැර හමුදාවක් පසුගිය මැයි 09දා ද ජනාධිපති රනිල් වික්‍රමසංහ විසින් ආයුධ සන්නද්ධ යුද හමුදා පිරිස් පූලි 22 දිනද සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව උසි ගන්වන ලදී. එනමුත් එම අනීතික ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු සාධනීය පියවරක් ලංකාණ්ඩුව මේතාක් ගෙන නැත.

අගමැති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ  සිට  එදින පොලු මුගුරු රැගෙන පැමිණ නිරායුධ විරෝධතාකරුවනට පහර දුන් කිසිවකු අත්අඩංගුවෙහි රඳවා ගෙන නැත.

‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය’   කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් අනුමත නොකරයි. ආණ්ඩු පාක්ෂිකයින්ට විරුද්ධව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා, ආණ්ඩුව විසින් මුදා හරින ලද ප්‍රචණ්ඩත්වයට එරෙහි ස්වයං සිද්ධ ප්‍රහාරයන් බව සඳහන් කළ යුතුව තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන විසංවාදය මැඩලීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව දන්වන ලෙසත්, ප්‍රචණ්ඩ ක්‍රියා උසි ගැන්වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු සියල්ලන්ට විරුද්ධව නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන ලෙසත් විරෝධතා දැක්වීම් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නොසළකන ලෙසත් ශ්‍රී ලංකාණ්ඩුවට දන්වන ලෙස ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය’    යුරෝපා සංගමයෙන් සහ යුරෝපීය කොමිසමෙන් ඉල්ලා සිටී.

තවද එළඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 51 වන සැසි වාරයේදී  මෙම කරුණ ඉස්මතු පියවර කිරීමට පියවර ගන්නා ලෙසත් ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය’   ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව සමඟ කරන සියලු රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු වලදී, විසංවාදයට ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ සහ සමාගමයේ නිදහස අවධාරණය කරන ලෙසත්, සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීම හෙළා දකින ලෙසත් ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය’   ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ අන්තර් ජාතික ජාලය වෙනුවෙන්.

රංජිත් හේනායක ආරච්චි, සුනන්ද දේශප්‍රිය, සිවසාමි සිවරාජන්, උමා පරරාජසිංහම්, සේනක වත්තේගෙදර

Stratgart, Germany / 01.09.2022

Archive

Latest news

Related news