Thursday, November 14, 2024

දෙසති මණ්ඩප පත්‍රිකා අංක 01 – අරගලය: ඉතිහාසයෙන් අනාගතයට

ජන අරගලය ලංකා දේශපාලන ඉතිහාසයේ ආශ්චර්යය ජනක සිදුවීමකි. එහි ගමන් ම‍ගෙහි සන්ධි ස්ථානයක් කරා පැමිණ තිබේ. මෙම සන්ධි ස්ථානයෙහි එක් මාවතක් නිර්-ලිබරල් (illiberal) රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාලන තන්ත්‍රය අත තිබෙන අතර අනික් මාවත පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මහජන අවකාශයට බට “අරගලකරුවන්” සහ ඊට සහාය දුන් පුරවැසි ජනයා  සඳහා  විවෘතව පවති.

අරගලයේ ප්‍රතිඵළයක් වශයෙන් නොසෙල්විය හැකි බල පරාක්‍රමයකින් යුක්ත යැයි උත්කර්ෂයට නංවා තිබු, සිංහල බෞද්ධ ජාතිවාදය මත ගොඩ නැගුන රාජපක්ෂ රෙජිමය ආණ්ඩුකරණයෙන් පලවා හැරිණ. තරුණ පරම්පරාවේ අරගලය සම්බන්ධයෙන් මහජන මතය ධනාත්මක වු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය  විසින් මෑතක දි පවත්වන ලද මහජන මත විමසුම් සමික්ෂණයේ දි වාර්තා වි තිබින.  ‘වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා රට ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් අරගලය, සක්‍රීය පුරවැසියන් ලෙස ක්‍රියාකරන තරුණ තරුණියන් විසින් මෙහෙයවනු ලබන බවට  84% ක් එකඟ වේ’ යැයි ජන මතයක් තිබෙන බවට ඉන්  වාර්තා විය.

අරගලකරුවන් බහුතරයක් ගෝඨා ගමින් නිල වශයෙන් නික්ම යාම සනිටුහන් කරමින් අගෝස්තු 9 දින නිකුත් කළ ප්‍රකාශයෙන් ( සබැඳිය- “ගෝඨා ගෙදර පල” විරෝධතාවය, සිය ජයග්‍රහණයේ ප්‍රකාශනය එළි දක්වයි!)  කි පරිදිම අරගලය ‘ජිවත් වෙන්න හිතෙන රටක් හැදෙන තුරු’ නොනවතිනු ඇතැයි අපේක්ෂා කළ හැක.

අරගලයේ ඉදිරි මග කුමක් විය හැකි ද? කුමක් විය යුතු ද?

කිසිවෙක් විසින් පුරෝකථනය කිරීමට අසමත් වු අරගලය, බංකොලොත් දේශපාලන ක්‍රමය අභියෝගයට ලක් කිරීමේ අරමුණින් ඔබ්බට යමින් එම දේශපාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම හා නැවත ගොඩ නැඟිම පිණිස මාර්ගයක්  විය. එම අර්ථයෙන් අරගලයේ ඉදිරි මග කුමක් විය හැකි ද? කුමක් විය යුතු ද? යන්න අභියෝගාත්මක ගැටළුවකි.

“දැනටමත් සිදුවෙමින් පවතින පරිදි එහි  අර්බුදයේ සියළු පිරිවැය දරන්නනට වන්නේ දැනටමත් ඒ පිරිවැය දරමින් සිටින සමාජ පිරමිඩයේ පහළ ස්ථරයන් නියෝජනය කරන ජන කොටස් වලටය. මේ නිසා අරගලය විසින් විවෘත කළ ප්‍රජාතන්ත්‍රවාදි විරෝධතා මාවත ඔස්සේ තව  තවත් ජන අරගල පුරෝකථනය කළ හැකිය.”  

වර්තමාන සන්දර්භය තුළ රනිල් වික්‍රමසිංහ විසින් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකික සමාජයේ පාලක ප්‍රභූ පන්තිය පමණක් නොවේ. මේ ප්‍රභූ පන්තිය වෙනුවෙන් මෙහෙවරක යෙදි සිටින අන්තේවාසිකයින් පමණක් නොව පොහොට්ටුවේ අන්තතේවාසිකයින් සිය දේශපාලන පැවැත්ම සඳහා රනිල් වික්‍රමසිංහට නියෝජනය කිරීමට සිදු වි තිබේ. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව  විසින් ක්‍රියාත්මක කරන  ආර්ථික වැඩපිළිවෙළ  අල්ලස් හා දුෂණ වලින් පිරි ඉතිරි ගිය ‘ ගජ මිතුරු ධනවාදි’ මොඩලයම වන අතර, එහි දේශපාලන න්‍යාය පත්‍රය වන්නේ නිර්-ලිබරල්වාදය හෙවත් විකෘති ලිබරල් දේශපාලනයයි.

රනිල් වික්‍රමසිංහ ගේ  ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිවලින් ඔහු විසින් නියෝජනය කරන ප්‍රභූ පන්තියේ ඵළ ප්‍රයෝජන වලට හානියක් නොවන බව එම පන්තියට ඒත්තු ගොස් තිබේ. නමුත් ඉහත කී  ප්‍රතිපත්ති වලින්   මෙරට ආදායම් බෙදී යාමේ විෂමතාවය වැනි සාමජ සාධාරණත්වය කෙරෙහි බලපාන ගැටළු ආමන්ත්‍රණය කළ නොහැකි වනු ඇත. නමුත්  ඒ නිසා පහළ ආදායම් තීරූ වල සිටින  ජන කොටස් වල ජිවන තත්ත්වය නංවා ලීමට කිසිවක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට කළ නොහැකි වනු ඇත. වත්මන් ආර්ථික අර්බුදයේ බර රනිල් වික්‍රමසිංහ විසින් නියෝජනය කරන පාලක ප්‍රභූ පන්තිය හා ඊට අන්තේවාසිකම් කරන තක්කඩි දේශපාලන පන්තිය ද මත පටවන්නේ නැති බව සහතිකය. දැනටමත් සිදුවෙමින් පවතින පරිදි එහි  අර්බුදයේ සියළු පිරිවැය දරන්නනට වන්නේ දැනටමත් ඒ පිරිවැය දරමින් සිටින සමාජ පිරමිඩයේ පහළ ස්ථරයන් නියෝජනය කරන ජන කොටස් වලටය. මේ නිසා අරගලය විසින් විවෘත කළ ප්‍රජාතන්ත්‍රවාදි විරෝධතා මාවත ඔස්සේ තව  තවත් ජන අරගල පුරෝකථනය කළ හැකිය.

මර්දනයේ පුළුල් පරාසය

හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ  පණත  හා පොදු දේපල පණත ද උපයෝගි කර ගනිමින් ඊටත් අමතරව දුෂ් තොරතුරු සමාජගත කරමින් සිදු කරන ජන අරගලකරුවන් මර්දනය කිරීම සැලකිය යුත්තේ හුදෙක් අප්‍රියෙල්- ජුලි ජන අරගලයට දඬුවම් දීම ලෙස  පමණක් ම නොවේ. දේශපාලන සුජාතභාවයකින් තොරව නීතිමය අධිකාරියක් පමණක් භුක්ති විඳින රනිල් වික්‍රමසිංහ රජයට, බංකොලොත් වු ශ්‍රී ලංකාවට තිරසර ආර්ථික විසඳුමක් ගෙන ඒමට අසමත්වීම නිසාම, නුදුරු අනාගතයේ දී පැන නැගිය හැකි  තවත් ජන අරගලයකින් එල්ල විය හැකි යැයි පුරෝකථනය කරනු ලබන අභියෝග වලට සිදු  කරන රතු සංඥාවක් ලෙස මෙම මර්දන සැලකිය යුතුය. මෙය වෘත්තීය සමිති ඇතුළු ජන අරගලකරුවන් ගෙන් එල්ල විමට නියමිත අභියෝගය එල්ල විමට පෙර, (pre-emptive) විරෝධතාකරුවන්ට පහර  දි විනාශ කිරීමකි.

අරගලය නැවත කියවීම

අරගලකරුවන් හා අරගලකාරියන් ගෝඨා ගම පරිශ්‍රය තුළ සිය හැසිරීමේ දි පෙන්නුම් කළ නිදහස්කාමි බව විශේෂයෙන් ම සමාජ පිඩනයට ලක් ව ඇති ස්ත්‍රීන්, ආගමික පුජ්‍ය පක්ෂ, ජන වර්ග, ජන පරම්පරාවන් විසින් භූක්තිවින්ද නිදහස, ජනගහනයෙන් බහුතරයක් වන තරුණ පරපුරෙහි ජිවන දැක්ම හා විලාසිතාව  සංකේතවත් කිරීමක් විය. එවැනි පරපුරක් විසින් දියත් කළ අරගලය, ගොඩ නැගුන සමාජ ආර්ථික පසුබිම හා එහි අනන්‍යතාවය නැවත නැවත කියවීම අරගලයේ ඉදිරි උපාය උපක්‍රමික පිළිබඳ සංවාදය තවදුරටත් පෝෂණය කරනු ඇතැයි සිතමු. අරගලය නාමකරණය කිරීම පිළිබඳ විවාදයක් තිබෙන අතර එම විවාදය ට නොපිවිස අරගලය  තුලින් පිළිඹිඹු වු ඇතැම් අනන්‍ය ලක්ෂණ පිළිබඳ සටහනක් තැබීම එහි ඉදිරි මඟ ගවේෂණය කිරීමේ දි උපකාරි වනු ඇතැයි සිතමු.

අරගලය මාර්තු මාසයේ දි අහඹු ලෙස පැන නැගුන බව පෙනි ගියත්, ඊට 2021 සිටම ඈදුනු දේශපාලන පසුබිමක් තිබින. ග්‍රාමිය ප්‍රදේශ වල ගොවි උද්ඝෝෂණ, ගුරු වැටුප් වෘත්තීය සමිති ව්‍යාපාරය, රසායනික පොහොර භාවිතය තහනමට එරෙහි විරෝධතා ව්‍යාපාර, වතුකරයේ සාධාරණ වැටුප් සඳහා ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාරය මෙන්ම  උතුරේ කාන්තාවන් විසින් ක්ෂුද්‍ර මුල්‍ය ණය හිමියන්ට එරෙහිව ගෙන ගිය අරගලය ද  විසින් ගොඩ නගන ලද විරෝධතා දැක්වීම,  කුළු ගැන්වීමක් ලෙසට මාර්තු  අරගලය දැක්විය හැකියි. 

අරගලය මෙතෙක් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ හා සමාජ ව්‍යාපාර තුළ දක්නට නොලැබුන නැවුම් ප්‍රකාශන සවභාවයක් ප්‍රදර්ශනය කළේය.

අරගලයේ ද්විත්ව බලපෑම

මෙම නැවුම්  දේශපාලන ව්‍යාපාරය  පිළිබඳ  විවිධ නාමකරණ වලින් කියවෙන අර්ථ,  ප්‍රධාන තේමාවන් දෙකකට  කැටි කළ හැකියි:

පළමුවැන්න එය විරෝධතා ව්‍යාපාරයක් ම විය. විරෝධතා ව්‍යාපාරයක් ලෙසට ප්‍රභූ පාලක පංතියේ නිර් ප්‍රජාතන්ත්‍රවාදි, අධිකාරිවාදි, නිර්ලිබරල්වාදි  ප්‍රතිපත්ති හා භාවිතයන් ගණනාවකට විරෝධය පළ කිරීමක් විය. මුලික වශයෙන්ම දේශපාලන ව්‍යුහය, දේශපාලන භාවිතය, දේශපාලන ආයතන  පරිහානියට එල්ල වු ජනතා විරෝධතා ව්‍යාපාරයක් විය.

දෙවනුව එය දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ද වෙයි. ප්‍රතිසංස්කරණවාදි ව්‍යාපාරයක් ලෙසට දේශපාලන ක්‍රමය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය සම්බන්ධයෙන් ද ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට ජනතා පෙළ ගැස්මක් ඉන් ප්‍රදර්ශනය විය. ශ්‍රී ලංකාවේ දේශපාලන ආයතන, දේශපාලන ව්‍යුහයන්, රාජ්‍ය හා පුරවැසියන් අතර සම්බන්ධතා යලි නිර්වචනය කර ගත යුතු  බවට අදහස් හා යෝජනා අරගලය තුළ  තිබිණ. අරගලය විසින්  ඉදිරිපත් කළ ‘ක්‍රමය පෙරළමු’ යන සටන් පාඨය තුළ ප්‍රතිසංස්කරණ පමණක් නොව දේශපාලන ආයතන නැවත ගොඩ නැඟිම යන අදහස් ද ගැබ් විය.

අරගලය තුළ මධ්‍යගත  නායකත්වයක් නොතිබීම බොහෝ දෙනෙක් ගේ කණස්සල්ලට හේතු වි තිබින. දේශපාලන ව්‍යාපාර වු කලි මධ්‍යගත නායකත්වයක් සහිත විය යුතු බවට සමාජගත වු මතයක් තිබු අතර  ඒ නිසා අරගලය අරාජකවාදි සංසිද්ධියක් ලෙස ඔවුන්ගේ විවේචනයට ද භාජනය විය. නමුත් අහඹු පුරවැසි ප්‍රයත්නයන් ලෙස මාර්තු අග දි පැන නැගී මැයි  9 වන දායින් ප්‍රථම අදියර අවසන් වු ලෙස පෙනි  මෙම පුරවැසි ප්‍රයත්නය  විමධ්‍යගත, බහුත්ව හා විවෘත ප්‍රජාතන්ත්‍රවාදි සවරූපයක් පෙන්නුම් කිරීම අති විශිෂ්ට ලක්ෂණයක් විය.

අරගලය අසමසමය!

අරගලයට සමග පුළුල් පරාසයක පැතිරි සිටින දේශපාලන විරෝධතාකරුවන් හා  ප්‍රතිසංස්කරණවාදීන් සමුහයක් අත්වැල් බැඳ ගත්තේ ඔවුහු ගාලු මුවදොරට පැමිණ සිය සහයෝගය දැක්විමෙනි. ඔවුන් අතර වෘත්තීය සමිති, කලාකරුවන්, විද්වතුන්, වෘත්තිකයින්, ආගමික ප්‍රජාව, නාගරික මධ්‍යම පංතිය කැපි පෙනුනි.  ශ්‍රී ලංකාව තුළ මිට පෙර කිසිදු දේශපාලන ව්‍යාපාරයකට එවැනි බහුජන සහභාගිත්වයක් ලැබි නොතිබින.

ජන අරගලය සවයං සිද්ධ ප්‍රජාතන්ත්‍රවාදි  මහජන නැගිටීමක් වු අතර, අරගලය විසින් සමාජයට දෙන ලද විශිෂ්ටතම පණිවුඩය වුයේ දේශපාලන බලයේ උල්පත ජනතාව යන්නයි.

රනිල් රාජපක්ෂ බවට පත්වීම

‘ඓතිහාසික අවස්ථාව’ මඟ හැරීම හා අභියෝග

අරගලය විසින් විවෘත කරන ලද ‘ඓතිහාසික අවස්ථාව’ ජන හිතකාමි දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා භාවිතා කරනු වෙනුවට, අරගලය කුණු කූඩයට විසි කිරීම හේතුන් කිහිපයක් නිසා ප්‍රජාතන්ත්‍රවාදින් ගේ විරෝධයට පාදක වෙයි.

රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව විසින් දියත් කර ඇති නිල මර්දනය ජේ.ආර්.ජයවර්ධන විසින් දියත් කරන ලද මර්දනය පිණිස රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගැනීමේ දර්ශනය යලි භාවිතයට ගැනීමකි. අරගලකරුවන්ට ආණ්ඩුව සමග සංවාදයක් ගොඩ නැගීම වෙනුවට, ආණ්ඩුවේ දවිත්ව ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වි තිබේ. එක් අතකින්  අරගලකරුවන් හට අඩන්තේට්ටම් කිරීම, විධිමත් අධිකරණ ක්‍රියාපටිපාටියකින් තොරව අත් අඩංගුවට ගැනීම ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය වීම   ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නිතිඥ සංගමය ඇතුළු  බලපෑම් සහගත ජාත්‍යන්තර පාර්ශවකරුවන් ගේ පවා දැඩි අවධානය ලක් වි තිබේ.අනිත් අතට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අරගලයේ දෘෂ්ටිය යටපත් කිරීමේ දෘෂ්ටිමය අරගලයක් ද දියත් කොට තිබේ. ශ්‍රී ලංකාවේ නිදහස ලැබු දා සිට ගරා වැටුන  නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හා ලිබරල්වාදය ප්‍රතිසංස්කරණය කිරීම හා යලි ගොඩ නැගිම පිණිස අරගලකරුවන් ඉදිරිපත් කළ යෝජනා නිර්දය ලෙස විකෘති කොට පැසිස්ට්වාදි යෝජනාවලියක් ලෙස  සමාජගත කිරීමේ දේශපාලන බොළඳ ප්‍රයත්නයක් නිරත වෙමින් සිටිමත් ප්‍රබල අභියෝගයකි. දේශපාලන බලය සමග ගණුදෙණු කිරීමේ අදියරකට අරගලය වර්ධනය වි තිබෙන අතර එහිදි ආණ්ඩුව විසින් අරගලයේ තිබු දේශපාලන දැක්ම, එහි හරය සහ පොදු න්‍යාය පත්‍ර කුණු කූඩයට දමමින්  ඒ වෙනුවට අරගලය මත ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රය උත්තරාරෝපණය කිරීම එම අභියෝගය තුළ ගැබ්ව පවති.

මෙහි දි ආණ්ඩුව  විසින් මෙහෙයවන ජනාධිපති මාධ්‍ය ඒකකය ඇතුළු  විවිධ ඒජන්තවරුන් විසින් අතිවිශාල දුෂ් හා අසත්‍ය තොරතුරු ප්‍රමාණයක් අරගලයට විරුද්ධව විවිධ සන්නිවේදන ජාලා ඔස්සේ සමාජගත කරන බව ද නිරික්ෂණය කළ හැකිය.

මාධ්‍ය ද රනිල් රාජපක්ෂ මර්දනයේ ඉලක්කයකි.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අරගලකරුවන් මර්දනය කිරීම, ඉදිරියේ දි ක්‍රියාත්මක කරනු ලබන්නේ යැයි අනුමාන කළ හැකි වඩාත් පුළුල් මර්දනයක පෙරහුරුවක් යැයි සැලකිය හැකිය. වත්මන් ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් රනිල් වික්‍රමසිංහ විසින් සකස් කරනු ලබන කවර සැලැස්මක වුවද පාඩු ලබන රාජ්‍ය වියදම් අඩු කිරීම පිණිස රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම, රාජ්‍ය සේවයේ වියදම් අඩු කිරීම, ශුභසාධන වියදම් කපා හැරීම වැනි වෘත්තීය සමිති හා ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ විසින් අභියෝගයට ලක් කළ හැකි යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් සාකච්ඡාමය උපාය මාර්ග වලට වඩා මර්දනය අවියක් වශයෙන් භාවිතා කිරීම අපේක්ෂා කළ හැකියි.

දේශපාලන වශයෙන් මහජන යහපත සඳහා භාරකාරත්වයක් දරන්නේ යැයි කියනු ලබන ආණ්ඩුවකට විරෝධය පළ කිරීම පිණිස තිබෙන මහජන අවකාශයක්‍රමක් ක්‍රමයෙන් හකුලා දැමීම සිදුවෙමින් පවති. අරගලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මර්දනය  බවත්, එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීම බවත් ජනාධිපතිවරයා ඉතාමත් තදින්ම අවධාණය කරන බව ‘ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ආචාර කරනු වෙනුවට,  යුද්ධ හමුදාවට නිල වශයෙන්ම සම්මාන ප්‍රදානය කිරීමෙන්’ සංකේවත් කෙරිණ.

පැසිස්ට් නාමකරණය පිටුපස

නිරික්ෂණය කළ හැකි එක් කාරණයක් නම්, සමාජ පංතිමය වශයෙන් අරගල ප්‍රයත්නය ද දෙකඩ විමයි. එක් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ කෙරෙහි බලාපොරොත්තු තබා ගනිමින් ඔහුගේ කඳවුරට එකතු වෙමින් සිටිති. මේ කණ්ඩායම සමාජයේ බරපතල වෙනස් කම් අපේක්ෂා කළ  කණ්ඩායමක් ද නොවිය. අනිත් අතට අරගලකරුවන් ශ්‍රී ලංකාවේ නිර් ලිබරල්වාදය හා අධිකාරිවාදය පිළිබඳ ප්‍රබල විවේචනයක් හා විසඳුමක් ලෙස ඉදිරිපත් කරන ලදි. එම විවේචනය හා යෝජනා වල හරය වටහා ගැනිමට නොහැකි වු නිර්ලිබරල් කොටස්  එම යෝජනා පැසිස්ට් යෝජනා යැයි නාමකරණය කරන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග අත්වැල් බැඳ ගැනීම බලාපොරොත්තු විය හැකි ප්‍රතිචාරයක් නමුත් එය අරගලයේ තිබු සංයුත්ත බව තුළ විශාල හිඩැසක් නිර්මාණය කර ඇත.

අරගලයට සහයෝගය පළ කළ විවිධ කණ්ඩායම්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන අතර අරගලය පිළිබඳ පොදු සම්මුතියක් ඇති නොවීම ද සැලකිය යුතු අභියෝගයක් වෙයි. අරගලය ක්‍රියාත්මක වුයේ පවතින දේශපාලන පක්ෂ හා සංවිධාන මග හරිමින් නව මාවතක් ඔස්සේ වන අතර ඉදිරියට අරගලකරුවන් පවතින දේශපාලන සංවිධාන වල නායකත්වය පිළි ගැනීමට සුදානම් වෙයි යන්න අභියෝගයකි.

අනාගත මැතිවරණයක අභියෝග

මැතිවරණ ක්‍රියාවලිය හා ඉන් අපේක්ෂා කළ හැකි ප්‍රතිඵළ කඩිනම් සාකච්ඡාවක කේන්ද්‍රීය මාතෘකාවක් නොවුවත්, අනාගත මැතිවරණ හා අරගලය පිළිබඳ ඇතැම් නිරික්ෂණ ද සටහන් කර තැබීම කළ යුත්තක් සේ පෙනේ. නව ජනවරමක් පිණිස මැතිවරණ පැවැත්විම පිළිබඳ විවාදයක් පවතින අතර, එමගින් අරගලකරුවන්ට හෝ ඔවුන්ගේ ඉල්ලීම් නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට පාර්ලිමේන්තුව තුළ සුවිශේෂ ජයග්‍රහණයක් අත්පත් කර ගත නොහැකි වේයැයි යනුවෙන් තිබෙන අනුමානය ද  සැලකිල්ලට ගත යුතු වේ. ඇතැම් සිවිල් ක්‍රියාකාරින් ගේ අදහස වන්නේ ලෙබනනය හා ටියුනිසියාවේ සිදු වුවාක් මෙන් මෙන් ශ්‍රී ලංකාවේ ද මැතිවරණයක දි අරගලකරුවන්ට හා ඔවුන් ගේ නියෝජිතයින්ට  පාර්ලිමේන්තු බලය ලබා ගැනීම අභියෝගයක් විය හැකි බවයි. එහි ප්‍රතිඵළයක් වශයෙන් දැනට දේශපාලන වශයෙන් පෙරමුණේ සිටින කණ්ඩායම් ම නැවත පාර්ලිමේන්තුවට ඇතුල් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.

මැතිවරණයක දි වර්ග වාදය හා ආගම් වාදය ඉස්මතු විමේ ඉඩකඩ ද කල් තියා සැලකිල්ලට ගත යුතු අභියෝගයක් වෙයි. අරගලය ශ්‍රී ලංකික ප්‍රජාවට විමුක්තිකාමි හැඟිමකින් පණ පොවන ලද නිදහසක් භූක්ති විඳමේ අවකාශයක් නිර්මාණය කරන ලදි. එහි ප්‍රතිඵළයක් වශයෙන් ආගම්, කුල, විවිධ ජනවර්ග, ලිංගික නැමියාවන්ට එරෙහිව සමාජය විසින් කාලාන්තරයක් තිස්සේ ගොඩ නගන ලද බැඳිම් ලිහිල් කරන ලද්දේය. යලිත් මැතිවරණයක දි බොහෝ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ මෙකි තුරුම්පු දේශපාලන වේදිකාවට ගෙන ඒමට තිබෙන ඉඩකඩ වටහා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

ජන මාධ්‍ය විසින් ප්‍රජාතන්ත්‍රවාදි න්‍යාය පත්‍රයකට එරෙහිව ජන මනස ගොඩ නැගිමට ඉටු කරන බලපෑම අභියෝගයක් ලෙස සැලකිය යුතුය. ජනතාව වැඩි දෙනෙක් ප්‍රවෘත්ති  දැන ගැනීම පිණිස භාවිතා කරනු ලබන විද්‍යුත් නාලිකා සහ ප්‍රභු දේශපාලන පංතිය අතර තිබෙන ව්‍යාපාරික සම්බන්ධය ප්‍රශ්න කළ යුතු වෙයි. සමාජ වෙනසක් සඳහා අවදානම ගත් අරගලකරුවන් /  කාරියන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පෙළ ගැසුන නමුත් සමාජ වෙනසක් අපේක්ෂා නොකරන මෙන්ම සමාජ වෙනසක් පතන නමුත් අවදානම් ගැනීමට අකමැති ජන කොටස් බහුල වශයෙන් පරිශිලනය කරනු ලබන්නේ විද්‍යුත් මාධ්‍ය වෙයි. මේ නිසා විද්‍යුත් මාධ්‍යයට ජන මනස හැඩ ගැස්සීමට කළ හැකි බලපෑම අනාගත ප්‍රජාතන්ත්‍රවාදි අරගලයට ද  විශාල අභියෝගයක් ලෙස සැලකිය යුතු වෙයි.

“අරගලකරුවන් විසින් විසින් වැඩි බරක් තැබිය යුුතු අක්ෂය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පුද්ගලයින් එකතු කිරීමට සමගාමීව ප්‍රජාතන්ත්‍රවාදය  පිළිබඳ ‘අදහස’ සමාජ වෙනසක් අපේක්ෂා කරන අවදානමක් ගැනීමට සුදානම් ජන කොටස් අතර ප්‍රවර්ධනය කිරීමයි.”

අරගල මාවත ශක්තිමත් කිරීමට යෝජනා කිහිපයක් 

ගරා වැටි ඇති නිර්ලිබරල් පාලන තන්ත්‍රය  කෙරෙහි ප්‍රතිපත්තිමය බලපෑමක් කිරීමට ජන බලයක් එකි පාලන තන්ත්‍රයට, පරිබාහිරව ගොඩ නැගිමට අවශ්‍ය සාධක ශ්‍රී ලංකා මහපොළවේ පැල වි තිබේ. ඒ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදි පුරවැසි බලවේගයන් සහ පුරවැසියන් විසින් ප්‍රයෝජනයට ගත යුතුයැයි අපි යෝජනා කරමු.

වහාම ආරම්භ කළ යුතු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලය සඳහා ප්‍රජාතන්ත්‍රවාදින් ගේ භූමිකාව  අක්ෂ කිහිපයක් ඔස්සේ සලකා බැලිය යුතු වෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත හා පොදු දේපල පණත ඇතුළු මර්දනකාරි අණපණත්, රෙගුලාසි හා නිල ක්‍රියාදාමයන්  ඉවත් කර ගැනීම  සටන් පාඨයක් ලෙස ඉදිරිපත් කළ යුතු අතර ශ්‍රී ලංකා රජයට බලපෑමක් ඇති වන පරිදි මෙරටට තීරණාත්මක වන අන්තර්ජාතික ප්‍රජාව වෙත  මෙම සටන් පාඨය මත පිහිටා බලපෑම් කළ යුතුවේ.

උතුරු නැගෙනහිර හා කඳුකර වාසි දමිළ හා මුස්ලිම් ජනතාව පුළුල් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණක  නියෝජනය කිරීම අනාගත වැඩ පිළිවෙළක ප්‍රධාන අක්ෂයක්  විය යුතු වෙයි.  දමිළ හා මුස්ලිම් ජනතාව සමාජ සාධාරණත්වය සඳහා කරන අරගලයට යෝජිත ‘ප්‍රජාතන්තවාදි දේශපාලන විසඳුම’ ලබා දිම දක්වා විශාල පරාසරයක විසිරි ඇති ගැටලු අරගලයේ සටන් පාඨ තුළ අන්තර්ගත නොවු බව සැලකිල්ලට ගනිමින් අනාගත ප්‍රජාතන්ත්‍රවාදි පුළුල් පෙරමුණක දි ඒවා ආමන්ත්‍රණය කිරීම ප්‍රමුඛ කාර්යක් වෙයි.

අරගලකරුවන් විසින් විසින් වැඩි බරක් තැබිය යුුතු අක්ෂය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පුද්ගලයින් එකතු කිරීමට සමගාමීව ප්‍රජාතන්ත්‍රවාදය  පිළිබඳ ‘අදහස’ සමාජ වෙනසක් අපේක්ෂා කරන අවදානමක් ගැනීමට සුදානම් ජන කොටස් අතර ප්‍රවර්ධනය කිරීමයි. ජාතික මෙන් ම ජාත්‍යන්තර වශයෙන් විසිරි සිටින ප්‍රජාතන්ත්‍රවාදීන් ‘එක්සත් අදහස් සමුහයක්, එක්සත් න්‍යාය පත්‍රයක්, එක්සත් දැක්මක්’ වටා එක් රැස් කිරීමයි. එය ‘ගෝඨා ගෝ හෝම්’ යන  සටන් පාඨයට වඩා තිරසර  දැක්මකින් පෝෂණය කරන සටන් පාඨයක් විය යුතුයි.

එවැනිම බරක් තැබිය යුතු තවත් අක්ෂයක්  වන්නේ ඇතැම් විට නිර්ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට ආදේශකයක් මෙන්ම ඌන පුරකයන් ද සපයමින් නව දේශපාලන සංකල්ප ජන සංවාදයට යොමු කිරිමයි.ප්‍රාමාණික මෙන්ම  ප්‍රායෝගික ද  විය යුතු එම කාර්ය කඩිනමින් ආරම්භ කළ යුතු වන්නේ උදා වි ඇති මෙම අවස්ථාව ආපසු හරවා ගැනීමට සම්ප්‍රදායික ප්‍රභූ තක්කඩි (demagogue) දේශපාලන පංතිය වේගයෙන් පෙළ ගැසෙමින් සිටින බව නිරික්ෂණය කළ හැකි බැවිනි.

ශ්‍රී ලංකාවට ඔබින ආර්ථික මොඩලයක් පිළිබඳ කතිකාවක්  විද්වත්-සිවිල් සංවිධාන නායකත්වයන් විසින්  ගොඩ නඟා තිබේ. එම සාකච්ඡාව ට දායක වෙමින් පුරවැසියන්ගේ බදු මුදලින් නඩත්තු කරන පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය නොකරන්නේ නම් අදාළ වෘත්තීය සමිති වෙත එම ආයතන ලාභ ලබන ආයතන ලෙස පවත්වා ගෙන යන්නේ කෙසේ ද යැයි මාර්ග සිතියමක් ඉදිරිපත් කිරීමට පැවරෙන වගකිම ඔවුන්ට සිහිපත් කළ යුතු වෙයි.

දැනට පෙරහුරුවක විලාසයක් ගන්නා, අනාගතයේ දි වඩාත් ත්‍රිව් විය හැකි රාජ්‍ය මර්දනයට මුහුණ දෙමින්, මේ වන විටත් මැයි 9 වන දින පටන් මර්දනයට ලක් වි ඇති අරගලකරුවන් ට යුක්තිය ඉටු කරන ලෙසට කරන බලපෑමත් සමග ඉදිරියට ගමන් කිරීම තවත් අක්ෂයක් වෙයි. විශේෂයෙන්ම බලපෑම් සහගත ජාත්‍යන්තර සංවිධාන ඇතුලු  ජාතික සංවිධාන වෙත කඩිනම් පිඩනයක් එල්ල කිරීමේ වැඩ පිළිවෙළක අවශ්‍යතාවය අවධාරණය කිරීම හා ඒ සඳහා පහසුකරණය ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනිම පිණිස කරන අරගලයට වැදගත් දායකත්වයක් වනු ඇත.

කෙලී සේනනායක
බර්නාඩ් එදිරිසිංහ
දෙසති මණඩපය වෙනුවෙන්
කොළඹ, 2022 සැප්තැම්බර් 1, බ්‍රහස්පතින්දා

Archive

Latest news

Related news