Tuesday, April 23, 2024

ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම, ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාදාමයෙහි දිගුවකි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු හා ඉදිරිපෙළ සමාජ ක්‍රියාකාරිකයකු වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් දියත් කර ඇති අදහස් ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම්වලට එරෙහි මර්දන ක්‍රියාදාමයෙහිම දිගුවක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකී.

අගෝස්තු 3 වැනිදා සවස කොළඹ ලංකා ගුරු සංගම් කාර්යාලයෙහි රැඳී සිටියදී ජීප් රථ තුනකින් පැමිණි පොලිස් බල ඇණියක් විසින් කාර්යාලය වටලා ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, මැයි 28 වැනිදා අධිකරණ නියෝගයක් කඩ කරමින් උද්ඝෝෂණයක නිරත වීම අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස ප්‍රකාශ කර ඇත. හාස්‍යයට කරුණක් වන්නේ, එම උද්ඝෝෂණයෙහිම ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වූ සමන් රත්නප්‍රිය, දෙදිනකට පෙර ජනාධිපතිවරයා විසින් වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් නම් තනතුරකට පත් කරනු ලැබීමය.

පොලිසිය මෙබඳු විවිධ හේතු දක්වමින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු රජයට එරෙහි උද්ඝෝෂණවල නිරත වූ විශාල පිරිසක් පසුගිය දිනවල අත්අඩංගුවට ගත් අතර මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරිකයන් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කෙරිණි. රජය විවේචනය කිරීමේ චෝදනාව මත මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට එරෙහිවද අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ.

අවස්ථා ගණනකදී ගෝල්ෆේස් අරගලභූමිය ඉවත් කිරීමට හා උද්ඝෝෂණ වැළැක්වීමට අධිකරණයෙන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වී තිබියදී, ගෝල්ෆේස් අරගලකරුවන්ට ඉන් ඉවත් වන ලෙස කොටුව පොලිසිය විසින් නියෝගයක් නිකුත් කර ඇත. එමෙන්ම ජූලි 22 වැනිදා අළුයම ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය වාර්තා කරමින් සිටි දෙස් – විදෙස් ජනමාධ්‍යවේදීන් පිරිසකට එල්ල කළ බිහිසුණු ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් විධිමත් පරීක්ෂණයක් සිදු වී නොමැති අතර, ඒ සඳහා අතුරු හමුදා යොදාගෙන ඇති බවට බරපතළ සැක මතු වී තිබේ.

ජූලි 9 වැනිදා අගමැතිවරයාගේ නිවස අසල උද්ඝෝෂණය වාර්තා කරමින් සිටි සිරස මාධ්‍යවේදීන්ට පහර දීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විමර්ශනයක් සිදු කළ අතර, අදාළ ප්‍රහාරය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ නිරනුමානවම ඊට වගකිව යුතු බවත් කොමිසම නිගමනය කර තිබේ. මුහුණු ආවරණ සහිත නිල ඇඳුම නිසා වැරදිකරුවන් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණය කරන කොමිසම, සිවිල් කටයුතු සඳහා මුහුණු ආවරණය සහිත නිල ඇඳුම භාවිත නොකළ යුතු බවට පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇත.

වීසා කොන්දේසි උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ජන අරගලය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කළ බ්‍රිතාන්‍ය ගමන් බලපත් හිමි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියකගේ ගමන් බලපත්‍රය අගෝස්තු 2 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි. වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වූ වහාම හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ අතර, ඒ යටතේ අදහස් පළ කිරීමේ අයිතියෙහිම අංගයක් වූ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයේ නියෝග පනවා ඇත.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් සිය මූලික අයිතිවාසිකම් හා පරමාධිපත්‍යය බලය කෙරෙහි දැඩි උද්‍යෝගයකින් ක්‍රියා කරන හා අන් කවර කලකටත් වඩා එම අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදීව උරගා බලමින් සිටින මොහොතක, ආණ්ඩුවේ මෙම මර්දනකාරී ක්‍රියාදාමය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ආඥාදායකත්වයක් දෙසට ගමන් කිරීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. එය ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් කොට පවතින අර්බුදය තවත් උත්සන්න කරන අදූරදර්ශී පිළිවෙතකි. මෙම ක්‍රියාදාමය ජනාධිපතිවරයා සිය රාජාසන කථාවේදී සඳහන් කළ කරුණුවලට සපුරා පටහැනි ය.

එබැවින් අත්අඩංගුවට ගත් ජෝසප් ස්ටාලින් වහා නිදහස් කරන ලෙසත්, අදහස් පළ කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් ඇතුළු මර්දන ක්‍රියාමාර්ගවලින් බැහැර වන ලෙසත් අපි ජනාධිිපතිවරයා ඇතුළු රජයට බල කර කියා සිටිමු.

04. 08. 2022
මාධ්‍ය නිවේදනයකි /නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Archive

Latest news

Related news