Saturday, April 20, 2024

නොකැඩූ 5000 නොට්ටු සහිත ජනාධිපති ගෝටාභයගේ සල්ලි මල්ල ආවේ කොහෙන්ද? ඊට මොකද වුනේ?

ඡායාරූපය: එක්කෝටි හත් ලක්ෂයක් අධිකරණයට ඉදිරිපත් නොකළ කොටුව පොලිස් ලොක්කා!

ජුලි 09 වෙනිදා ජනාධිපති ගෝටාභය හදිසියේම මාලිගය හැරදමා රහසිගතව පලා යාමේදී රුපියල් මිලියන 17.8 ක සල්ලි මල්ලක් ඔහුගේ නිදන කාමරයේ අල්මාරියක් තුල සඟවා තිබී අරගල කරුවන් සොයාගන්නවා. ඔවුන් එය වීඩියෝ ගතකොට STF පොලිස් නිළධාරීන්ට භාර දීමට සූදානම් වෙනවා. එහෙත්, අදාළ STF නිළධාරීන් නිවැරැදිව ජනාධිපති මාලිගය අයිති කොටුව පොලීසියේ OIC වෙත එම මුදල් භාර දීමට කටයුතු කරන ලෙස අරගල කරුවන්ට උපදෙස් දෙනවා. අරගල කරුවන් ගේ කට උත්තර සටහන් කරගත් කොටුව පොලිසිය එම මිලියන 17.8ක මුදල භාර ගත් අතර පසුව මාධ්‍ය විසින් විමසීමේදී එම මුදල් උසාවියට ඉදිරිපත් කර අවශ්‍ය කටයුතු කරන බව කොටුව පොලීසියේ OIC ප්‍රකාශ කරනවා.

“මා අසන්නේ, මෙතරම් විශාල මුදලක් පෞද්ගලිකව ජනාධිපති වරයා තම සන්තකයේ තබාගැනීම පිළිබඳව කිසිවෙක් ප්‍රශ්න නොකරන්නේ ඇයි?”

OIC වරයා අදාළ තොරතුරු බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් වෙත දැනුම් දීමට කටයුතු කරනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කොටුව පොලීසියේ OIC ට එම මුදල් තොගය පොලීසිය භාර ඇමැති ටිරාන් අලස්ට භාර දීමට කටයුතු කරන ලෙසත් , කිසිදු සටහනක් පොලිස් පොත් වල නොයොදන ලෙසටත් උපදෙස් දුන් බවත් මාධ්‍ය පසුව වාර්තා කොට තිබුණා. කෙසේ වෙතත් , කොටුව පොලීසියේ OIC එම නියෝගය පිළිනොගත් බවත් මාධ්‍ය වල සඳහන් ව තිබුනත් පසුව එය මුසාවක් බව පසුගිය දා උසාවියේදි ඔප්පු වුනා.

එහෙත් සිදුවූයේ සම්පුර්ණයෙන්ම වෙනත් දෙයක් . පසුගිය දිනෙක , එම මුදල් පොලිසියට සුරක්ෂිතව භාර දුන් අරගල කරුවන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ එවැනි විශාල මුදලක් සොයාගෙන , පොලීසියට භාර දුන් අයට ත්‍යාගයක් පිරිනැමීම වුවත් , මෙහිදී ඔවුන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම කෙතරම් සාධාරණද?

මා අසන්නේ, මෙතරම් විශාල මුදලක් පෞද්ගලිකව ජනාධිපති වරයා තම සන්තකයේ තබාගැනීම පිළිබඳව කිසිවෙක් ප්‍රශ්න නොකරන්නේ ඇයි?

මාධ්‍ය මේ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ කාගේ හෝ බලපෑමක් නිසාද ? නැතහොත් , මෙහි ප්‍රවෘත්තිමය වටිනාකමක් නොමැති නිසාද ?

ලේබල් නොකැඩූ මිලියන 17.8 ක් වූ රුපියල් 5000 නෝට්ටු බණ්ඩල කිහිපයක් මෙසේ ජනාධිපති සන්තකයේ තබාගැනීමට හේතුව කුමක්ද ?

මෙම මුදල ජනාධිපති වරයාට ලැබුණු අල්ලසක් වන්නට බැරිද?

මෙය රටේ මූල්‍ය විනය කෙබඳු මට්ටමක පවතින්නේ ද යන්න කියාපාන හොඳ උදාහරණයක් නොවන්නේද ?

මෙම අරගල කරුවන් උසාවිය හමුවට ඉදිරිපත් කිරීමේදී , කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා පොලිසියෙන් ප්‍රශ්න කලේ එම මුදල් තොගය උසාවියට මෙතෙක් ඉදිරිපත් නොකළේ මන්ද කියායි. එයට නිරුත්තර වූ පොලීසියට විනිසුරු වරයා නියෝග කලේ වහාම එම මුදල් තොගය උසාවියට ඉදිරිපත් කරන ලෙසයි.

මුදල් සුරක්ෂිතව පොලීසියට භාර දුන් අරගල කරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට තිබූ හදිස්සිය, එම මුදල් තොගය සති තුනක් ගතවන තුරුත් උසාවියට ඉදිරිපත් කිරීමට හදිසි නොවුනේ මන්ද?

දේශබන්දු තෙන්නකෝන්ගේ හෝ පොලිස් ඇමැති ටිරාන් අලස්ගේ නියෝගය හේතුවෙන් කොටුව පොලීසියේ OIC අදාළ මුදල් තොගය උසාවියට ඉදිරිපත් නොකර සිටියාද?

යහපත් චේතනාවෙන් අදාළ මුදල් තොගය පොලීසියට භාර දුන් තරුණයන් උසාවියට ඉදිරිපත් කරන්නේ කුමන චෝදනා යටතේද?

මෙපමණ මුදලක් (හිටපු) ජනාධිපති වරයා සන්තකයේ තබාගැනීම රජය කෙසේ සාධාරණීකරණය කරන්නේ ද?

මේ කාරණය සම්බන්ධව පාර්ලිමේන්තුවේ විපක්ෂය පොලීසිය භාර ඇමැති වරයාගෙන් ප්‍රශ්න නොකරන්නේ මන්ද ?

මෙයත් අවසානයේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලට වෙච්ච හදිය හා සමානය. ලංකාවේ දේශපාලකයින් සල්ලි තොග පිටින් සඟවාගෙන සිටිද්දී , රටේ ජනයාට පටි තද කර ගැනීමට කියති. වෙනත් රටක මෙවැන්නක් සිදුවූවා නම් මේ වන විටත් ජනාධිපති වරයා (හිටපු) අත් අඩංගුවට ගෙන හමාරය. මෑතක එංගලන්තයේ අගමැති වරයාට තනතුර හැර යාමට සිදුවූයේ කෝවිඩ් සමයේ අදාළ කොවිඩ් නීති උල්ලංඝනය කරමින් තම නිළ නිවසේ සාදයක් පැවත්වීමට කටයුතු කිරීමයි.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමැති මැට් හැංකොක්ට තම තනතුර අහිමි වන්නේ ඔහුගේ උපදේශිකාවකට හාදුවක් දීම නිසාය. එහෙත් ලංකාවේ මිනී මැරීම , රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම , අල්ලස, දූෂණය , නිසා ඇමැති කම් , අගමැති කම් හෝ ජනාධිපති කම් අහිමි වූ බවට 1977 න් පසු කිසිදු සාක්ෂියක් නොමැත.

එවැනි නීති විරෝධි ක්‍රියා වලට සම්බන්ධ වීම වගකීම් , උසස් වීම් ලැබීමට සුදුසුකමක් වනු ඇත. ජොන්සන්ටන් ෆනෑන්ඩු පසුගිය ගෝටාභය රාජපක්ෂ රජයේ මහාමාර්ග ඇමැති කමට අමතරව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක තනතුරත් ලබා දෙන්නේ ලංකාවේ මහාපරිමාන මද්‍යසාර වෙළෙන්දෙක් නිසාද?

කප්පම් නඩුවක වැරැදිකරු වී රුපියල් මිලියන 20 ක වන්දියක් සහ අවුරුදු තුනක් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබා ඇති ප්‍රසන්න රණතුංගට නිවාස ඇමැති කමට අමතරව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරත් පිරිනමන්නේ ජනාධිපති නොදැනද ?

මිනී මරුවන්ට ජනාධිපති පොදු සමාව දීමෙන් නොනැනවතී රජයේ අධිකාරියක සභාපති තනතුර දෙන්නේ කුමන සදාචාරයක් ඇතිවද? මේ ලංකාවේ දේශපාලනයි. මෙම දේශපාලන සංස්කෘතිය අප වෙනස් නොකළ යුතුද?

බහුතර ජනයාට එය වෙනස් කිරීමට අවශ්‍යතාවයක් ඇත. තක්කඩි, කොල්ලකාරී, ගජමිතුරු, දේශපාලනය වෙනුවට , ජනයාට වගවෙන, ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීමට නිවැරැදි දැක්මක් , ඉලක්කගත වැඩපිළිවෙළක් සහ උවමනාවක් තිබෙන කණ්ඩායමක් තෝරා පත්කර ගැනීමට ජනයාට අවශ්‍යයි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් හරහා මහ මැතිවරණයක් දිනාගැනීමට කටයුතු කරමු. ඒ සඳහා වහා පෙළගැසෙමු.

ශාන්ත ජයරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
SLIDA
31.7.22

Archive

Latest news

Related news