Friday, April 26, 2024

වේරංග පැහැර ගැනීම සහ පොලිස් අවනීතිය ගැන පරීක්ෂනයක් අවශ්‍යයි – තරුණ ජනමාධ්‍යවේදීහු හිමිකම් කොමිසමෙන් ඉල්ලති.

වෙරංග පුෂ්පික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද, අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් ද, ඔහුට නීතිඥ නියෝජනයක් අහිමි කිරීම සම්බන්ධයෙන් ද විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ සහ පොලිසියේ ක්‍රියාරිත්වය මත වෙරංග පුෂ්පිකගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිර්දේශ කර ඊට අදාල සුදුසු සහන නිර්දේශ කරන ලෙසත්, මෙම ක්‍රියාවලියට සම්බන්ධ වූ නිලධාරීන්ගේ නම් සහ තනතුරු අනාවරණය කරගෙන ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට විනය බලධාරීන්ට නිර්දේශ කරන ලෙසත්  ඉල්ලා සිටිමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යවා තිබේ.

එම ලිපිය පහත දැක්වේ.

සුලාරි ලියනගම මහත්මිය,
විමර්ශන අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.

අධ්‍යක්ෂතුමියනි,

මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධවයි

නිදහස් මාධ්‍යවේදියකු මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන වෙරංග පුෂ්පික නම් තරුණයා පසුගිය 27 වැනිදා කොළඹ කොටුවේ බස් රථයක් තුල සිටියදී පැහැර ගැනීම ගැන අප විසින් කළ දැනුම්දීමට අනුව ඒ මොහොතේම ක්‍රියාත්මක වීම සහ ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශන නිලධාරියකු යොමු කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමු.

සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පිරිසක් විසින් පැහැර ගනු ලැබූ එම තරුණයා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පසුව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොටුව පොලිස් ස්ථානයට රැගෙන එන බවත් ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබිණි.

කෙසේ වෙතත් එදින ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත. වෙරංග පුෂ්පික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් ඔහු 28 වැනිදා කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළේය. පොලිසිය නීතිඥවරුන්ට ද ඒ බව දැනුම් දී තිබිණි.

ඒ අනුව නීතිඥවරුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඔහු ඉදිරිපත් කරන තුරු බලා සිටියද, ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත. පසුව දැනගත් පරිදි ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ජනමාධ්‍ය පොලිසිය උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ වෙරංග අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් නීතිඥවරුන් ඉදිරිපත් නොවූ බවයි. ඔහු වෙනුවෙන් ඉදිරිපත් වීමට ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛව නීතිඥවරුන් විශාල පිරිසක් සූදානමින් සිටිය ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ ශ්‍රී ලංකා පොලිසිය අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් සටහන් කිරීම සහ කරුණු දැක්වීම චේතනාන්විතව මග හැරීමට කටයුතු කර ඇති බව බැලූ බැල්මට පෙනී යයි.

අත්අඩංගුවට ගත් වෙරංග ස්ථාන කිහිපයකට රැගෙන ගොස් ඇති බව ද වාර්තා විය. සත්‍ය වශයෙන්ම සිදුවූයේ ඔහු අත්අඩංගුවට ගැනීමක් නොව ඔහු පැහැර ගැනීමකි. පොලිසියේ හැසිරීම තුලින් පෙනී යන්නේ පැහැරගෙන ගොස් ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් තිබුණේද යන්නයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, නීතිඥවරුන්, ජනමාධ්‍ය, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් හදිසියෙ ්මැදිහත්වීම තුල පොලිසියේ උත්සාහය ව්‍යර්ථ වන්නට ඇතැයි අපි සැක කරමු.

වෙරංග පුෂ්පික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද, අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් ද, ඔහුට නීතිඥ නියෝජනයක් අහිමි කිරීම සම්බන්ධයෙන් ද විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ සහ පොලිසියේ ක්‍රියාරිත්වය මත වෙරංග පුෂ්පිකගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිර්දේශ කර ඊට අදාල සුදුසු සහන නිර්දේශ කරන ලෙසත්, මෙම ක්‍රියාවලියට සම්බන්ධ වූ නිලධාරීන්ගේ නම් සහ තනතුරු අනාවරණය කරගෙන ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට විනය බලධාරීන්ට නිර්දේශ කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
[email protected]

පිටපත්
සභාපති,ශ්‍රී ලංකා නීතිඥ සංගමය.

Archive

Latest news

Related news