Thursday, April 25, 2024

අරගල බිමේ විරෝධාතාකරුවනට එල්ල කල ප්‍රහාරය පිළිබඳ රජය පැහැදිළි කළ යුතුයි – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

ඡායාරූපය: පහර දීමට පැමිණි සෙබළෙක් සහ පහර කෑ විරෝධතාකරුවෙක්

මාධ්‍යවේදීන් ඇතුළු විරෝධතාකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමු

 අද (22) අලුයම ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාධරයන් එල්ල කරමින් ආරක්ෂක හමුදාව සහ පොලීසිය යොදවා සිදු කල ප්‍රහාරය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ පිළිකුලෙන් යුතුව හෙළා දකියි.

විශේෂයෙන් මෙම සිදු වීම වාර්තාකරමින් සිටි දෙස් විදෙස් මාධ්‍යවේදීන්ද එකී ප්‍රහාරය ගොදුරු බවට පත් වී ඇති බවටද මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සිදු කරගෙන යාමට ඔවුන්ට බාධා කල බවටද සහ මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ ආදියට අලාභ හානි සිදු කල බවටද කරුණු වාර්තා වෙයි. එමෙන්ම මෙම පහර දීම සම්බන්ධයෙන් සිය වෘත්තීය මට්ටමින් මැදිහත්වීමට ගිය නීතිඥයන්ටද දරුණු ලෙස පහර දී ඇති බවත් දැනගන්නට ලැබේ.

මේ වන විටත්, මෙම සිදු වීම අන්තර්ජාතික ප්‍රජාව තුළද කම්පනයක් ඇති කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයටද මෙම අමනෝඥ ප්‍රහාරය මගින් හානි වී ඇති බවත් අප රජයට පෙන්වා දෙමු.

සාමකාමී ලෙස සිය අදහස් ප්‍රකාශ කිරීමේ සහ විරෝධතා දැක්වීමේ අයිතිය ව්‍යවස්ථානුකූලව මෙරට පුරවැසියන්ට හිමි වූ අයිතියක් බව අප රජයට අවධාරණය කරමු. එමෙන්ම සිය සේවාදායකයන් වෙනුවෙන් මැදිහත්වීමටත්, කරුණු කියා පෑමටත් නීතිඥයන්ට අයිතියක් ඇති බවත් ජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් ඕනෑම දුෂ්කර අවස්ථාවකදී තොරතුරු වාර්තාකිරීමට මාධ්‍යවේදීන්ට අයිතියක් ඇති බවත් අප රජයට අවධාරණය කරමු. එකී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ශිෂ්ඨසම්පන්න රජයක අත්හළ නොහැකි වගකීමකි.

විරෝධතාකරුවන්ගේ මැදිහත්වීම් ව්‍යවස්ථානුකූල සීමාවක රැදිය යුතු බවට නිරන්තරයෙන් සිහි ගන්වන රජයට විරෝධතාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හා නීතිඥයන්ට හිමි ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් අමතක වීම කණගාටුදායකය.

මෙම සිදුවීමේදී අත්අඩංගුවට පත් සියළුම දෙනාට යුක්තිය සදහා ඇති සමාන මෙන්ම සාධාරණ ප්‍රවේශය සහතික කරන ලෙසත්, මෙම සිදුවීම සම්බන්ධව නව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහා පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසත් , මෙම සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙසත් අප රජයට බල කර සිටිමු.

දුලාන් දසනායක                                   කේ. සංජීව

ලේකම්                                                සභාපති

Archive

Latest news

Related news