හදිසි නීති රෙගුලාසි ගැසට්පත්‍රය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන ආකාරය ගැන නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා තැබූ සටහන පහත දැක්වේ.
2022 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග (2022 ජූලි 18) මගින් බැලූ බැල්මට මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන අවස්ථා
නියෝග 11(11)
ජනාධිපතිවරයාට නියමයන් මගින් යම් ප්‍රදේශයක් තුල මහජන පෙළපාලි හෝ මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කළ හැක. මෙය සාමකාමීව රැස්වීමේ හා සමාගමයේ නිදහස 14(1)ආ,ඇ ව්‍යවස්ථාවන්, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස 14(1)අ ව්‍යවස්ථාව, යාම් ඊම් කිරීමේ නිදහස 14(1)ඌ ව්‍යවස්ථාවන් උල්ලංඝණය කරයි.
නියෝග 11 (12)
පොලිස්පතිවරයාට යම් ප්‍රදේශයක් සම්බන්දයෙන් පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ ලිඛිත අවසර පත්‍රයක් නොමැතිව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, උද්‍යානයක, ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු ස්ථානයක කිසිදු තැනැත්තකු රැදී නොසිටින ලෙසට විධානය කල හැකිය. මෙය සාමකාමීව රැස්වීමේ හා යාම් ඊම් කිරීමේ නිදහස 14(1) ආ,ඌ ව්‍යවස්ථාවන් උල්ලංඝණය කරයි.
නියෝග 14
මහජන ආරක්ෂාවට, මහජන සාමයට හෝ ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍යය සැපයීම් හා සේවා පවත්වාගෙන යාමට අගතිගාමී වන කරුනු අඩංගු දැන්වීම් කොළ, අත්පත්‍රිකා හෝ පත්‍රිකා මහජනයාට පෙනෙන යම් ස්ථානයක ඇලවීම හෝ බෙදාහැරීම නොකල යුතු. මෙය ප්‍රකාශනයේ අයිතිය 14(1)අ ව්‍යවස්ථාව උල්ලංඝණය කරයි.
නියෝග 15
මහජනයා බියවැද්දවිය හැකි හෝ මහජනයා කැළබිය හැකි… කටකතාවක්, අසත්‍ය ප්‍රකාශනයක් හෝ යම් තොරතුරක් හෝ පින්තූරයක් හෝ පනිවිඩයක් කට වචනයෙන් හෝ ඩ්ජිටෙල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුලු කවරවූ හෝ ක්‍රමයකින් සංනිවේදනය නොකළ යුතුයි. මෙය භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය 14(1)අ ව්‍යවස්ථාව උල්ලංඝණය කරයි.
නියෝග 17(1)
සිරභාරයට ගන්නා ලද තැනැත්තකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගේ නියමයක් මත දින 14 ක කාලයක් රදවා තබා ගත හැක. මෙය අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් නීතියෙන් නියම කර ඇති කාර්‍ය පටිපාටිය අනුව හැකි ඉක්මනින් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරනු ලැබීමට ඇති අයිතිය 13(2) ව්‍යවස්ථාව උල්ලංඝණය කරයි.
නියෝග 17(4)
නීතිඥවරයකුට අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කොන්දේසි වලට යටත්ව රදවා තබා සිටින තැනැත්තා වෙත ප්‍රවේශවීමේ හා ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් අයිතිවාසිකමක් උල්ලංඝණය නොකලද සාධාරණ නඩු විභාගය හා සම්බන්ද අයිතීන් (Fair trial rights) උල්ලංඝණය  කරන බැවින් බරපතළ මානව හිමිකම් කඩකිරීමකි.
නියෝග 18 (1)
යම් තැනැත්තකු වාසය කරන හෝ වැඩ කරන ගෙයක නැතහොත් ස්ථානයක් අසලට එම තැනැත්තා බිය ගන්වන ආකාරයෙන් හෝ … සාමය කඩ වීමට තුඩු දෙන ආකාරයෙන් කිසිවකු නොයා යුතු. – යාම් ඊම් කිරීමේ නිදහස 14(1) ඌ ව්‍යවස්ථාව උල්ලංඝණය කරයි.
නියෝග 26 (ආ)
හදිසි අවස්ථා නියෝග යටතේ වරදකට සම්බන්ධ සිද්ධීන් පිළිබඳ දනුමක් ඇතැයි සැක කරනු ලබන තැනැත්තකුගේ, ආදර්ශ අත් අකුරු, චායාරූප, ඇගිලි සටහන් හා වෙනත් හදුනා ගනීමේ ලක්ෂණ ලබා ගත හැක. සැකකරුවකු සම්බධයෙන් මෙලෙස කටයුතු කිරීම අවමන් සහගත සැලකිල්ලකට ලක් නොවී සිටීමට ඇති අයිතිය 11 ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ලෙස සැලකිය හැක.
නියෝග 26 (ඉ)
යම් විද්‍යුත් පණිවිඩයක්, තැපැල් ලේකණයක් හෝ යම් බැංකුවක ඇති වෙනත් පොතක් හෝ ලේකණයක් ඇතුලුව ඕනෑම චංචල දේපලක් පරීක්ෂා කොට සන්තකයට ගත හැක. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සෘජුව උල්ලංඝණය නොකලද පුද්ගලිකත්වයට ඇති අයිතිය දැඩි ලෙස උල්ලංඝණය කිරීමකි.

Media LK