Thursday, November 21, 2024

ජූලි 18 පැනවූ හදිසි නීති රෙගුලාසි මූලික අයිතිවාසිකම්වලට බලපාන්නේ කෙසේද? – නීතිඥ ජගත් ලියන ආරච්චි

මූලික අයිතිවාසිකම් සහ සීමාවන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් පිලිබද සීමාවන් පිලිබදව දැක්වෙන 15 වන ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව (සර්වසාධාරණාත්වයේ අයිතිය), 13 වන ව්‍යවස්ථාව (අන්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන් රදවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම), 14 වන ව්‍යවස්ථාව (භාෂණයේ රැස්වීමේ සමාගමයේ රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස) යන අයිතිවාසිකම් භුක්ති විදිය යුත්තේ ජාතික ආරක්‍ෂාවට අදාලව නීති මගින් සලසා ඇති සීමාවන්ට යටත්ව බවයි. එහිදී නීතිය යන්නට ජාතික ආරක්‍ෂක නීතියක් යටතේ පනවන ලද රෙගුලාසිද ඇතුලත් වන බවද, දක්වා ඇත. ඒ අනුව හදිසි නීති රෙගුලාසි මගින් සිතීමේ නිදහස, හෘදය සාක්‍ෂියේ නිදහස සහ ආගමික නිදහස ( 10 වන ව්‍යවස්ථාව) සහ වධහිංසාවලින් නිදහස (11 වන ව්‍යවස්ථාව) යන ව්‍යවස්ථාවන් මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් හැර අනෙකුත් මූළික අයිතිවාසිකම් සීමා කල හැකි බවයි.

ජූලි 18 වන දින පැනවූ හදිසි නීති රෙගුලාසි

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා විසින් ජූලි 17 වන දින දිවයින පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන ලදී. එසේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ව්‍යවස්ථාව මගින් සහ (40 වන අධිකාරිය වූ) මහජන ආරක්‍ෂක ආඥාපනතේ 2වන වගන්තිය අනුවය.

හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මහජන ආරක්‍ෂක පනතේ 5 වන වගන්තියට අනුව හදිසි අවස්ථා නියෝග නිකුත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවේ. ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජූලි 18 වන දින අංක 2289/07 දරණ අති විශෙෂ ගැසට් පත්‍රය මගින් මගින් 2022 අංක 1 දරණ හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග පනවන ලදී.

මෙම නියෝග කොටස් කිහිපයකින් යුක්තයි. එනම් මූලික වශයෙන් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම, සෝදිසි කිරීම් සහ අත් අඩංගුවට ගැනීම, වැරදි සහ දණ්ඩන, විමර්ශන සහ නඩු විභාග සහ විවිධ බලතල ලෙස හදුන්වාදිය හැකිය,
මෙම හදිසි අවස්ථා නියෝග හදිසි නීතිය බලපවත්නා තෙක් පවතී. 2022 ජූලි මස 17 වන දින හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමේ නියෝග 2022 ජූලි මස 27 වන දිනට පෙර පාර්ලිමේන්තුව විසින් සම්මත කල හොත් අගෝස්තු 17 වන දින දක්වා හදිසි අවස්ථාව බලපවත්වන අතර, හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් නොකල හොත් ජූලි 31 වන දින (දින 14ක්) දක්වා බලපැවැත්වේ. ඒසේ නැතහොත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට මෙම හදිසි අවස්ථාව අහෝසි කල හැකිය. කෙසේ නමුත් අවලංගු නොකරන්නේ නම් හදිසි අවස්ථාව පවතින තාක් දුරට හදිසි නීති රෙගුලාසි අප රටේ නීතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අනෙක් නීති අභිබවා යන කොටසක් ලෙස බලාත්මක වේ.

මූලික අයිතිවාසිකම් කෙරෙහි හදිසි නීති රෙගුලාසිවල බලපෑම

 

  • අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධ වැරදි

ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන අත්‍යවශ්‍ය සේවාවක යෙදෙනෙ සේවයකු (රාජ්‍ය හෝ පුද්ගලික) නිත්‍යානුකූල හේතුවකින් තොරව සේවයට වාර්තා නොකිරීම, වැඩවර්ජනය කිරීම, පැහැර හැරීම, සේවය කිරීම ප්‍රතික්‍ෂේප කිරීම වරදක් වේ, එසේම එසේ නිවේදනය කරනු ලැබූ අත්‍යවශ්‍ය සේවාවකට බාධා කිරීම ද මෙම නියෝග මගින් වැරදි ලෙස හදුනා ගෙන ඇති අතර එවැනි වරදක් සිදුකල පුද්ගලයකු මහාධිකරණ නඩු විභාගයකින් පසුව වසර 3ක් දක්වා බන්ධනාගාර ගත කල හැකි බව මෙම නියෝග වල දැක්වේ.

එයට අමතරව එවැනි වරදකට වරදකරු වූ පුද්ගලයකුගේ නිශ්චල සහ චංචල දේපළද රාජසන්තක කල හැකි බව වැඩි දුරටත් සදහන් වේ.

එසේම අත්‍යවශ්‍ය සේවා ලබා දෙන ස්ථානයකට අවසර නොගෙන ඇතුල්වීම වැළැක්වීම සදහා පූරවාරක්‍ෂක විධිවිධාන යෙදීමටද හැකියාව පවතින බව නියෝගවල සදහන් වේ.

මෙම ප්‍රතිපාදන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති නීත්‍යානුකූල රැකියාවක නියැලීමේ අයිතිය, සාමකාමී රැස්වීමේ නිදහස සහ භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහසද සීමාවන බව පැහැදිලිය.

අත් අඩංගුවට ගැනීම සහ සෝදිසි කිරීම යම් පොලිස් නිලධරයකු හෝ යම් සන්නද්ධ හමුදා සාමාජිකයකු විසින්, මේ නියෝගවලින් යම් නියෝගයක් යටතේ වන වරදක් හෝ (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහයේ (345, 354, 355, 356, 357, 358, 359, 360, 360අ, 360ආ, 360ඇ යන වගන්ති සහ 364, 365, 365අ, 365ආ යන වගන්ති සහ 427 සිට 446 දක්වාවන වගන්ති ප්‍රකාර යම් වරදක් කරන්නා වූ හෝ කරනු ලැබ ඇති හෝ වරදක් හා
සම්බන්ධ බවට හෝ වරදක් කරනු ලැබූ බවට සැක කරනු ලැබීමට යුක්ති සහගත හේතු ඇත්තා වූ හෝ යම් තැනැත්තකු සෝදිසි කිරීම, එසේ සෝදිසි කිරීමේ කාර්ය සඳහා රඳවා තබා ගැනීම, හෝ වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගැනීම හැකි බව නියෝග වල සදහන් වේ.

එසේම සන්නද්ධ හමුදා සාමාජිකයකු විසින් අත් අඩංගුවට ගැනීමක් කල විටක පැය 24ක් ඇතුලත පොලිස් ස්ථානයට භාර දිය යුතු බවත් කාන්තාවක් පරීක්‍ෂා කිරීමේදී කාන්තාවක් විසින්ම සිදු කල යුතු බවත් දැක්වේ.

හදිසි නීති රෙගුලාසිවල මෙම ප්‍රතිපාදන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති, අන්තනෝමතික ලෙස සිරභාරයට ගැනීම සහ රදවා ගැනීමද, නිර්දෝශීභාවයේ පූර්ව නිගමනයද 14(1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති යාම් ඊම් නිදහසද දැඩි ලෙස සීමාවන බව පැහැදිලිය.

  • රැස්වීම් පෙළපාලි සීමා කිරීම

නියෝග 11 හි දැක්වෙන්නේ ජනාධිපතිවරයාට නිශ්චිත කාල සීමාවකදී නිශ්චිතව දක්වන ප්‍රදේශවල රැස්වීම සහ පෙලපාලි තහනම් කිරීමේ නියෝග නිකුත් කල හැකි බවයි.

මෙම හදිසි නීති ප්‍රතිපාදන මගින් 14(1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති සාමකාමී රැස්වීමේ නිදහස, භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස සහ යාම් ඊම් නිදහසද සීමා වේ.

  • ඇදිරිනීතිය පැනවීම

යම් ප්‍රදේශයක යම් නිශ්චිත කාලයක් තුල පොලිස් ස්ථානාධිපතිවරයකුගේ අවසරයකින් තොරව පොදු ස්ථානවල හැසිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කිරීමට නැතහොත් ඇදිරිනීතිය පැනවීමට පොලිස්පතිවරයාට බලය පවතින බව නියෝග 12හි දැක්වේ.

මෙම හදිසි නීති ප්‍රතිපාදන මගින් 14(1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති සාමකාමී රැස්වීමේ නිදහස, සහ යාම් ඊම් නිදහසද, නීත්‍යනුකූල රැකියාවක නියැලීමේ අයිතියද සීමා වේ.

  • වැරදි

මෙම හදිසි අවස්ථා නියෝග මගින් දක්වන්නේ

දේපළවලට හානි කිරීම,

යම් තැනැත්තෙකු මරණයට පත් කිරීම හෝ තුවාල සිදුකිරීම,

සාපරාධි බිය ගැන්වීම සහ අඩංතේට්ටම් කිරීම,

විනාශයට පත් හෝ හිස්කරන ලද පරිශ්‍රයන්ගෙන් දේපල සොරකම් කිරීම,

19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහයේ 345, 354, 355, 356, 357, 358, 359, 360, 360අ, 360ආ,
360ඇ, 364, 365, 365අ, 365ආ වගන්ති යටතේ යම් වරදක් සිදු කිරීම,

මංකොල්ලකෑම, සොරකම, බලෙන් ලබාගැනීම,

(19 වන අධිකාරය වූ) දණ්ඩනීති සංග්‍රහයේ 427 සිට 446 දක්වා වූ වගන්තිවලින් කවර හෝ වගන්තියක් යටතේ යම් වරදක් සිදු කරන හෝ එවැනි යම් පරිශ්‍රයකින් යම් බඩු බාහිරාදිය හෝ ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ඉවත් කරන හෝ ඉවත් කිරීමට තැත් කිරීම;

ඉහත කාර්යයන් සදහා වන නීති විරෝධි රැස්වීමක සාමාජිකයන් වීම.

මෙවැනි වරදකට වරදකරු වන පුද්ගලයකුව ජීවිතාන්තය දක්වා බණ්ධනාගාරගත කිරීමකින් දඩුවම් කල හැකිය. එසේම
මහජන ආරක්ෂාවට, මහජන සාමයට හෝ ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාමට හෝ අගතිගාමී වන කරුණු අඩංගු යම් අත් පත්‍රිකා බෙදීමක් නොකල යුතු බවත්.

මහජනයා බිය වැද්දවිය හැකි හෝ මහජනයා කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතු විය හැකි හෝ වරදක් සිදුකිරීමට පෙළඹවිය හැකි කිසිදු කටකථාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම නොකල යුතු බවත්.
බිය ගැන්වීම නොකල යුත බවත් මෙම නියෝගවල දැක්වේ.

රාජ්‍ය සේවකයකු හෝ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත පුද්ගලයකු අසනහකාරීත්වකයට පත් කිරීම.
එසේම
බලය දරන තැනැත්තන්ට විරෝධය පෑම හෝ අවහිර කිරීම,
මාර්ග, දුම්රිය මාර්ග ආදියට බාධා කිරිම හෝ හානි කිරීම,
මෙම වැරදි සිදුකිරීම මෙන්ම ඒ සදහා තැත්කිරීම ආධාර අනුබලදීම හෝ ඒ සදහා කුමන්ත්‍රණය කිරීමද මෙම නියෝගවලට අනුව වරදකි.

එසේම යම් හදිසි නීති රෙගුලාසියකට පටහනැනිව කටයුතු කරන පුද්ගලයන් පිලිබදව දන්නේ නම් ඒ බව වහාම පොලිස් ස්ථානයකට දැනුම්දිය යුතු බවත් එසේ කිරීමට අපොහොසත් වීම වරදක් බවත් මෙම රෙගුලාසිවල සදහන් වේ.

මෙම රෙගුලාසි මගින් 14(1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති භාෂනයේ ප්‍රකාශනයේ නිදහසද, සාමකාමී රැස්වීමේ නිදහසද, සමාගමයේ නිදහසද සීමා වේ.

  • නඩු පැවරීම

මෙම වරදක් සම්බන්ධයෙන් නඩු පැවරීම නීතිපතිවරයාගේ අනුමැතිය මත මහාධිකරණයක නඩු පැවරීම සිදුකල යුතුය.

  • රදවා තබාගැනීමේ නියෝග

මෙම නියෝග යටතේ සිදුකරන වරදක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන්ව දින 14ක් දක්වා රැදවුම් නියෝග නිකුත් කිරීමේ හැකියාවක් පවතී. ඒ අනුව මෙවැනි සැකකරුවෙකුව මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් නොකර දින 7ක් දක්වා රදවා ගැනීමේ හැකියාව පොලිසියට පවතී.

මෙම ප්‍රතිපාදන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති අත්තනෝමතික සිරභාරයට ගැනීමෙන් සහ රදවාගැනීමෙන් නිදහස සහ සාධාරණ නඩු විභාගයක් සදහා වන අයිතිය සීමාවට ලක්වේ.

  • සන්නද්ධ හමුදාවට පැවරෙන විශේෂ බලතල

මේ නියෝගය අඛණ්ඩව බලපවත්නා කාලය තුළ සැරයන් නිලයට නොඅඩු නිලයක සිටින යම් පොලිස් නිලධරයකු විසින් හෝ කෝප්‍රල් නිලයට නොඅඩු තත්ත්වයක සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යම් සාමාජිකයකු විසින් හෝ ප්‍රධාන නැවියකුට නොඅඩු තත්ත්වයක සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවේ යම් සාමාජිකයකු විසින් හෝ කෝප්‍රල් නිලයට නොඅඩු තත්ත්වයක සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යම් සාමාජිකයකු විසින් හෝ යම් පොදු මාර්ග යක, දුම්රිය මාර්ගයක, පොදු පිට්ටනියක, පොදු විනෝද ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක, මුහුදු වෙරළක හෝ යම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් හෝ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් අසළ හෝ එහි භූමියෙහි සිටින යම් තැනැත්තකුට හෝ තැනැත්තන්ට ඒ ස්ථානයෙන් ඉවත් වීමට අණ කළ හැකි ය. තව ද, ඒ නියමය පිළිපැදීම, අවස්ථාචෝචිත පරිදි, ඒ තැනැත්තාගේ හෝ ඒ එක් එක් තැනැත්තාගේ යුතුකම විය යුතු ය.

මෙම හදිසි නීති රෙගුලාසි ප්‍රතිපාදන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති සාමකාමී රැස්වීමේ නිදහස, භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස සහ යාම් ඊම් නිදහස සහ නීත්‍යානුකූල රැකියාවක නියැලීමේ අයිතිය මෙන්ම පුද්ගලිකව හෝ සාමූහිකව සංස්කෘතිය භුක්ති විදීමේ අයිතියද සීමා වේ.

හදිසි නීති රෙගුලාසි මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම් හදිසි නීති පැනවීම මගින් හෝ හදිසි නීති රෙගුලාසි යටතේ කටයුතු කරන නිලධාරියකුගේ ක්‍රියාකාරකමක් මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම් හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකට අත්‍යාසන්න වන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකල හැකිය.

සටහන
නීතිඥ ජගත් ලියන ආරච්චි
2022 ජූලි

Archive

Latest news

Related news