Saturday, April 20, 2024

රනිල් නොගියොත් මහ වැඩවර්ජනයක් සහ හර්තාලයක්! 

උණුසුම් වන දේශපාලන වටපිටාව අවබෝධ කර ගනිමින්, ජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳව සැළකිලිමත් වෙමින්, කිසිදු ජන අනුමැතියක් නොමැති රනිල් වික්‍රමසිංහ සිය අනීතික, ඊනියා වැඩබලන ජනාධිපතිධූරයෙන් වහාම ඉල්ලා අස්වෙන ලෙස  බල කරන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව, මේ ඉල්ලීම පිළිබඳව සැළකිලිමත් නොවී, තවදුරටත් පාලනයේ රැඳෙමින් කටයුතු කරන්නට උත්සාහ ගන්නේ නම් සමස්ථ මහා වැඩවර්ජනයක් හා හර්තාලයක් කැඳවමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අවසන් කිරීමට සමස්ත ජනතාව සමග පෙළ ගැසෙන බව  අවධාරණය කරයි.

එම නිවේදනය පහත දැක්වේ:

2022.07.17
මාධ්‍ය නිවේදනය

ජන අනුමැතියක් නැති ඊනියා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කුමන්ත්‍රණකාරී ලෙස
බලය පැහැර ගැනීමේ සැළසුම් පරාජය කරමු!

වර්ධනය වෙන ආර්ථික සහ දේශපාලනික අරාජිකත්වය තුළ පවතින සමාජ පීඩනයට එරෙහිව සංවිධානය වූ ජන නැගිටීම් තුළින් මිනීමරු ගොඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් පළවා හරින්ට සමත්වූ අපේ රටේ මුළුමහත් ප්‍රගතිශීලී ජනතාව වෙත ,වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව, සිය උත්තමාචාරය පුදකර සිටිමු.

රටේ ජනතාව, පසුගිය මහා මැතිවරණයෙන් සිය ආසනය හා පක්ෂය අන්ත පරාජයකට පත්කළ, අධිරාජ්‍යගැති රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ අනුග්‍රහයෙන් අගමැති ධූරයට පත්වීම මුළුමහත් ශ්‍රී ලාංකික සමාජය ප්‍රතික්ෂේප කිරීම අප හොඳාකාරවම දනිමු.

ගෝඨාභය- රනිල් ආණ්ඩුවේ පාලනයට එරෙහි නොනවතින ජනතා අරගලය හමුවේ පළාගිය ගෝඨාභය රාජපක්ෂ අවසන් මොහොතේ රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කිරීම මේ රටේ ජනතාවගේ විරෝධය වඩවඩාත් උත්සන්න කිරීමට හේතු වී තිබේ.

රනිල් වික්‍රමසිංහගේ පත්කිරීමත් සමග තවදුරටත් උත්සන්න වූ ගෝල්ෆේස් අරගලය, සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා පොදු ජනතාව විසින් මෙහෙය වූ ජනතා අරගලය රාජ්‍ය පාලනයේ මර්මස්ථානයන් වූ ජනාධිපති ලේකම් කාර්‍යාලය, ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය සහ අවසානයේ අග්‍රාමාත්‍ය කාර්දයාලය ද සිය අනසකට යටත් කරගන්නා ලදී.

මෙවැනි තත්වයන් හමුවේ පරාජය බාර ගෙන රාජ්‍ය පාලනයෙන් ඉවත්විය යුතු මේ ඊනියා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ වෙනුවට පොලීසිය හා ත්‍රිවිධ හමුදාව යොදාගනිමින් මේ ජනතා ජයග්‍රහණ ආපසු හරවන්නට කුමන්ත්‍රණය කරමින් ජනතාව වෙත මර්ධනය මුදා හැරීමට සැළසුම් කරමින් සිටී. ආහාර, බෙහෙත්, ඉන්ධන, ගෑස් නොමැතිව නිරාහාරව දුක්විඳින ජනතාව පිළිබඳව අල්පමාත්‍රයක හැඟීමක්, අවබෝධයක් නොමැති කෘර පාලකයෙකුට හැර මෙවැනි නින්දනීය මර්ධන ක්‍රියාවලියක් සැළසුම් කළ නොහැක.

ජයග්‍රාහී ජනතාව තමන් අත්පත් කරගත් ආයතන සහ ගොඩනැගිලි නැවත පවරා දෙමින්, රනිල් වික්‍රමසිංහ පුමුඛ ආණ්ඩුව වෙත සහන් එළියක් නිකුත් කරමින්, සමස්ථ ජනතාව වෙනුවෙන් අරගලයට නායකත්වය දුන් පිරිස් ඉල්ලා සිටිනුයේ කඩානමින් ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් සහිත අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ඉටුකරන ලෙසය.

උණුසුම්වෙන දේශපාලන වටපිටාව අවබෝධ කරගනිමින්, ජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳව සැළකිලිමත් වෙමින්, කිසිදු ජන අනුමැතියක් නොමැති රනිල් වික්‍රමසිංහ සිය අනීතික, ඊනියා වැඩබලන ජනාධිපතිධූරයෙන් වහාම ඉල්ලා අස්වෙන ලෙස ,වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව, බලකර ඉල්ලා සිටී.

මේ ඉල්ලීම පිළිබඳව සැළකිලිමත් නොවී, තවදුරටත් පාලනයේ රැඳෙමින් කටයුතු කරන්නට උත්සාහ ගන්නේ නම් සමස්ථ මහා වැඩවර්ජනයක් හා හර්තාලයක් කැඳවමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අවසන් කිරීමට සමස්ත ජනතාව සමග පෙළ ගැසෙන බව අප සංවිධානය අවධාරණය කර සිටී.

පීඩීඑෆ් ගොනුවක් ලෙස:ATUMO Letter press

Archive

Latest news

Related news