Friday, April 26, 2024

සියයට දෙකේ රනිල් රාජපක්ෂ පරාජය කළ යුත්තේ ඇයි? – සුනන්ද දේශප්‍රිය

රනිල් වික්‍රමසිංහට තමන් තරඟ කළ කොළඹ දිසාවෙන් 2020 මහා මැතිවරණයේදී ලැබුනේ ජන්ද සියයට 02ක් තරම්ය. එමගින් පෙනෙන්නේ ඔහු ජනතාව විසින් කොතරම් දරුණූ දේශපාලන අගාධයකට ඇද දැමුවේද යන්නයි. මෙරට පැරණිම පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය මිනීවලට ගෙන ගියේද එම රනිල් වික්‍රමසිංහය .

ඔහු 2020 මහා මැතිවරණයෙන් පසු පක්ෂයේ නායකත්වය තරුණයකුට බාර දෙන බව කීවේය. ඉන් වසර දෙකහමාරක් ගතවීත් ඔහු තවමත් නායකතුමාය.

මහා මැතිවරණයෙන් පසු තම පක්ෂයට ලැබුණූ ජාතික ලැයිස්තු ආසනය පිරවීමට රනිල් වික්‍රමසිංහ වසර එකහමාරක් ගත්තේය. අන්තිමේදී තමාම එම ආසනයට නම් කර ගත්තේය.

දැන් රාජපක්ෂ පිහිටෙන් තාවකාලික ජනාධිපති වී සිටින රනිල් රාජපක්ෂ වික්‍රමසිංහ ඉදිරි වසර දෙකහමාර සදහා ජනාධිපතිවීමට රාජපක්ෂවරුන් සමඟ අවකල් දීගයකට ගොස් තිබේ. මේ දීගය දිගුකාලීන අනියම් සබඳතාවයක විපාකයකි.

සියයට දෙකක් ඡන්ද ගත් මේ මිනිසා ජනාධිපති කරවීමට රාජපක්ෂවරුන් මෙතරම් කැසකවන්නේ මන්ද? ඒ අන් කිසි හේතුවක් නිසා නොව මේ අවස්ථාවෙහි තමන්ට විශ්වාසදායකම දේශපාලනඥයා රනිල් රාජපක්ෂ නිසාය. තමන්ගේ ගැලවීම රඳා පවතින්නේ රනිල් රාජපක්ෂ වෙත සිය බලය ආරෝපණය කිරීමෙන් පමණක් බව රාජපක්ෂ පවුල සහ එහි ගජ මිතුරන් දනී.

බැසිල් රාජපක්ෂගේ හොරණෑව වන පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් පොහොට්ටු මංත්‍රීන්ගේ අවසරයක් හෝ නැතිව සිය ජනාධිපති අපේක්ෂකයා රනිල් රාජපක්ෂ බව කීවේය. තවත් රාජපක්ෂ වහලකු වන ජී.එල්.පීරිස් ප්‍රසිද්ධියේම කියා සිට ඇති පරිදි එම තීරණය පොහොට්ටු මංත්‍රීන් කැඳවා ගනු ලැබූ එක්ක නොවේ.  පීරිස්, රනිල් රාජපක්ෂ සමඟ නයි වෛරය.

දි අයිලන්ඩ් කතුවැකියක් පෙන්වා දෙන පරිදි රනිල් රාජපක්ෂ ජනාධිපති කර වීම බැසිල් රාජපක්ෂගේ කූටෝපායකි. බැසිල් රාජපක්ෂගේ මල්වාන නඩුවෙහි ඔහු වෙනුවෙන් පෙනී සිටියේ රනිල් රාජපක්ෂගේ සහජාත පංති මිතුරකු වන රනිල් විසින් විදේශ ඇමැති ලෙසද පත් කළ තිලක් මාරපනය. අන්තිමේදී බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කරන ලද්දේ රටම දන්නා සත්‍යයක් යටපත් කරමිනි.

අද මෙරටට අවශ්‍ය වන්නේ සමාජ සාමය සහ සමාජ විශ්වාසය ගොඩ නැඟිය හැකි දේශපාලන වෙනසකි. ඉන් තොරව මෙරට මුහුණ දී සිටින අගාධයෙන් ගොඩ ඒමට අත්‍යාවශයම සාධකය වන දේශපාලන ස්ථාවරත්වය ඇති කළ නොහැක.

මෙම සතිය තුළ මෙම වෙනස සංකේතාත්මක වන්නේ බදාදා පැවැත්වෙන ජනාධිපති තේරීමේ පාර්ලිමේන්තු ඡන්දයෙනි.

වෙනත් වචනයෙන් කියන්නේ නම් හැකි වහාම මහා මැතිවරණයක් පවත්වා ජනතා නියෝජිතයින් තෝරා ගැනීමට ජනතාවට ඉඩ ලබා දෙන තුරු එම ස්ථාවරත්වය ගොඩ නැගිය හැක්කේ වැඩිම පිළිගැනීමක් සහිත ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත් කර ගැනීමෙනි.

ජාතික සාම මණ්ඩලය පෙන්වා දී ඇති පරිදි අද මෙරට හමුවෙහි ඇති හොඳම තෝරා ගැනීම නම් සමස්ත පාර්ලිමේන්තුවෙහිම සම්මුතියෙන් එවැනි ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත් කර ගැනීමයි.

අද මෙරට ජනයා මුහුණ දෙන ආර්ථික පීඩනය අවම කිරීමට අවශ්‍ය අන්තර් ජාතික සහාය ලබා ගත හැක්කේ එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවකට පමණි.  රනිල් රාජපක්ෂයට හැක්කේ රාජපක්ෂ වහලුන්ගේ ආණ්ඩුවක් පිහිටුවීමට පමණි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික ප්‍රශ්ණ පිළිබඳව විද්වත් අදහස් දැක්වීම සමබන්ධයෙන් පරසිදු මහාචාර්ය රොහාන් පෙතියාගොඩ පෙන්වා දෙන්නේ අගමැති බවට පත් පස් වතාවෙහිදීම සාධනීය ආර්ථික වෙනසක් කිරීමට රනිල් රාජපක්ෂ අසමත් වූ බවයි.

මහ බැංකුව කොල්ල කෑ රනිල් රාජපක්ෂයට හෝ ඔහු විසින් නම් කරනු ලබන ඇමැති මණ්ඩලයකට හෝ  දේශිය වේවා අන්තර් ජාතික වේවා සහායක් ලබා ගත නොහැක. මන්ද යත් අද ලෝකය පුරාම රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ මෙරට අද මුහුණ දී තිබෙන අර්බූදයට හේතුවක් බව පිළිගෙන ඇති නිසාය.

එපමණක් නොව රනිල් රාජපක්ෂ අද මෙරටට අත්‍යාවශය දේශපාලන ප්‍රතිසංස්කරණයන්ට විරුද්ධය.

ව්‍යවස්ථා විහාරදයකු වන මහාචාර්ය අසංග වැළිකළ පෙන්වා දෙන්නේ  නව ආණ්ඩුවක් කළ යුතු වැදගත්ම දේශපාලන පියවර වන්නේ විධායක ජනා එනම් නව ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු සහිත නව ආණ්ඩුවක් ජනාධිපති ක්‍රමය අහෝසි කැරෙන 21වන සංසෝධනය සම්මත කිරීමට ක්‍රියාකර, එකම දවසක නව මහා මැතිවරණයත් ජනමත විචාරණයත් පැවැත්විය යුතු බවයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව අද මෙරට ජනතාවගෙන් සියයට 75ක් අපේක්ෂාවයි.

රනිල් රාජපක්ෂ කල්පනා කරන්නේ ඉදිරි වසර දෙක හමාරම තම ජනාධිපති ධූරය යටතේ පවත්වා ගැනීමටයි. රාජපක්ෂවරුන්ට සහ එහි ගජ මිතුරු දූෂිතයින් කල්පනා කරන්නේ එම කාලය තුළ සිය බලය යළි පිහිටුවා ගැනීමට රනිල් රාජපක්ෂ අවස්ථාව සළසනු ඇතැයි කියාය.

ඔහු විජේදාස රාජපක්ෂ සමඟ එක්ව ව්‍යාජ ව්‍යවස්ථා සංසෝධනයක් ඉදිරිපත් කලේ එනිසාය.

අද මෙරට හමුවේ ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ ප්‍රශ්ණයක් නොවේ. දේශපාලන ස්ථාවරත්වය සහ බහුතර සම්මුතිය පිළිබඳ ප්‍රශ්ණයකි. රාජපක්ෂවරුනටද බහුතරය තිබුණි. නමුත් අවශ්‍ය ආධාර ලැබුණේ නැත.

අද අවශ්‍ය කරන්නේ නීතිඥ සංගමය විසින්ද පෙන්වා දී ඇති පරිදි රටෙහි ඇතිව තිබෙන විශ්වසයේ හැඩැස පිරවීය හැකි දේශපාලන වෙනසකි.

රාජපක්ෂවරුන්ගේ අවතාරය වන රනිල් රාජපක්ෂට කළ හැක්කේ එම හිඩැස තවත් භයානක ලෙස පුළුල් කිරීම පමණකි. වැරදීමකින් හෝ රනිල් රාජපක්ෂ ජනාධිපති කරවීමට බැසිල් රාජපක්ෂ සමත් වුවහොත් දි අයිලන්ඩ් කතුවැකිය පෙන්වා දෙන පරිදි සිදුවනු ඇත්තේ අරගලය තවත් වටයකින් මුවහත්ව මහ බලයකින් නැගී සිටීමයි.

ලබන බදාදා පාර්ලිමේන්තුවෙහි පැවැත්වෙන ඡන්දය ශ්‍රී ලංකාව අගාධය කරා ඇද වැටෙන්නේද එසේ නැත්නම් අනාගතය කරා සාධනීය මාවතක් විවර කරන්නේ යන්න තීරණය කරනු ඇත්තේ එනිසාය.

රනිල් රාජපක්ෂ පරාජය කිරීම අද දවසේ දේශපාලන කර්තව්‍ය වන්නේ ද හරියටම එනිසාය.

Archive

Latest news

Related news