Thursday, April 25, 2024

රනිල් රාජපක්ෂගේ දූෂණ ආණ්ඩුවට අන්තර් ජාතික මුල්‍ය ආධාර නැති හේතු මෙන්න! – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ශ්‍රී ලංකාවේ විශාලතම බැදුම්කර වංචාව රනිල් රාජපක්ෂගේ කූටෝපායකි. එවැනි මිනිසකු අගමැති වූ කළ දූෂණ රජ නොකරනු ඇත්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පසුගිය 01දා ට්වීටර් පණිවිඩයක් මගින් මෙසේ කීවේය:

“නව IMF වැඩසටහනේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට එහි පූර්ණ හැකියාවන් සපුරාලීමට හැකි වන පරිදි, වඩාත්ම අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කරමින්, මූල්‍ය ස්ථාවරත්වය රැක ගනිමින් සහ දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වේගවත් කරන අතරම, ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමයි.”

මේ පිළිබඳව ටිවිටර් පනිවිඩයකින්ම අදහස් දැක් වූ පා.ම. සුමන්දිරන් කියා සිටියේ එහි ඇති වැදගත්ම පණිවිඩය “අවදානම් ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම” යන්න බවයි.

එදිනම IMF ට්වීටයට එකතුවක් කරමින් එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව මෙසේ කියා සිටියේය:

“ ශ්‍රී ලංකාව සමඟ IMF එළඹෙන ඕනෑම ගිවිසුමක් මහ බැංකුවේ ස්වාධීනත්වය, ප්‍රබල දූෂණ විරෝධී පියවර සහ නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම මත පදනම් විය යුතුය.”

මූල්‍ය අරමුදල මෙන්ම එක්සත් ජනපදය (සහ නිරනුමානවම එය සමඟ එක්ව කටයුතු කරන යුරෝපා සංගමය) ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර දීම දූෂණ විරෝධී සහ නීතියේ ආධිපත්‍ය මත පදනම් විය යුතු බව අවධාරණය කරන්නේ රාජපක්ෂ පවුලෙහි මෙන්ම රනිල් රාජපක්ෂගේද ඉතිහාසය ඔවුන් දන්නා නිසා විය යුතුය.

දූෂණ විරෝධී ක්‍රමවේදයක් සහ පියවරක් මෙරට ඇති කිරීමෙන් තොරව අන්තර් ජාතික මූල්‍ය සහන ලබා ගත නොහැකි අතර එම තත්වය දිනා ගැනීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි බවට සාක්ෂි පහත දැක්වේ.

රනිල්-ගෝටා දූෂණ..

අද මෙරට අගමැතිවරයා වන්නේ රාජපක්ෂ පවුල විසින් කුලියට ගෙන රනිල් රාජපක්ෂ නමින් බෞතීස්ම කරන ලද තනි මංත්‍රීවරයාය. ඔහුගේ නායකයා වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය.

මෙම දෙදෙනාම මූල්‍ය දුෂණ සම්බන්ධයෙන් නම් දරා ඇති දෙදෙනෙකි.

ගෝඨාභය ජනතාවගේ බදු මුදලින් සිය මා පියන් වෙනුවෙන් දශ ලක්ෂ ගණන් වැය කර ස්මාරකයක් සාදා ගත්තේය. ඔහු ජනාධිපති වන විට ඔහුට නඩු 35 ක් තිබූ බව කීවේ ඔහුගේම නීතිඥයා වූ අලි සබ්රිය. එම නඩු දැන් නතර වී ඇත්තේ ජනාධිපති මුක්තිය නිසාය.

ඔහුගේ ගෝත්‍රික නායකයා වන මහින්ද රාජපක්ෂ සුනාමි මුදල් වංචා කළ බව වහෙන් ඔරෝ බසින් කීවේ මෙරට සිටි අගවිනිසුරුවරයෙකි.

මෙරට සිදු වූ විශාලතම බැඳුම්කර වංචාව ක්‍රියාවට නංවන ලද්දේ රනිල් වික්‍රමසිංහගේ විශ්වාසවන්තයකු වූ අර්ජුන් ඇලොසියස් විසිනි. ඔහු මෙරටට ගෙන්වා මහ බැංකු අධිපතිධුරය බාර දුන්නේ රනිල් වික්‍රමසිංහ ය. මෙම වංචාව සමබන්ධයෙන් රනිල් වික්‍රමසිංහට ද චෝදනා එල්ල විය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි ඇලෝසියස් පලා ගියේය. ඔහු පලා නොගිය බවත් විවාහ මංගල්‍යයකට සහභාගී වි යළි පැමිණෙන බවත් රනිල් වික්‍රමසිංහ පොරොන්දු විය. තවමත් ඇලොසියස් කට්ටි පනිමින් සිටින අතර ඔහු වෙනුවෙන් පරදු තැබූ වික්‍රමසිංහ දැන් රනිල් රාජපක්ෂ ලෙස කුලියට ගත් අගමැතිය.

දැන් යළිත් මෙරට මහ බැංකුව පාලනය කරන්නේ එළෙස සිය හෙංචයියකු දමා එය කොල්ල කෑ රනිල් රාජපක්ෂය. ඉදින් මහ බැංකුව ස්වාධීන කළ යුතු බවට ඇමෙරිකානු සෙනෙට් විදේශ සබඳතා කමිටුව කීම පුදුමයක්ද?

රනිල් රාජපක්ෂගේ කැබිනට්ටුව..

තව දුරටත් බලමු.

රනිල් රාජපක්ෂගේ කැබිනට්ටුවේ නැතත් පසුපස සිට සුක්කානම මෙහෙයවන නාමල් රාජපක්ෂ ගැන බලමු. පසු ගිය ඉරිදා ලංකාදීපය හෙළි කළ පරිදි තෙල් අර්බුදය ඇති කරන ලද්දේ නාමල් රාජපක්ෂ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින සමාගමකින් වැඩි මිලට තෙල් මිලදී ගැනිමට ය. එම සමාගමෙහි වෙබ් අඩවියේ වූ නාමල් රාජපක්ෂගේ ඡායාරූප පවා ඉවත් කර ඇත්තේ හොරය වසා ගැනීමට බව පෙනේ. රටම විනාශයක් අබිමුව සිටියදී පවා මෙවැනි දූෂණ මගින් ජාවාරම් කරන ආණ්ඩුවකට කවර රටක් හෝ මූල්‍ය ආධාර දෙනු ඇත්ද?

ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියා වන බැසිල් රාජපක්ෂ ඇමරිකානු බැංකුවක් මෙරටට විරුද්ධව පවරන ලද නඩුවක සඳහන් කර ඇත්තේ ‘මිස්ටර් ටෙන් පසෙන්ට්’ හෙවත් ‘සියයට දහයේ පගාකාරයා’ ලෙසය. බැසිල් ගැන නොදන්නා තානාපති කාර්යාලයක් මෙරට තිබිය හැකිද?

ගෝඨාභය රාජපක්ෂ කී බවට විජේදාස රාජපක්ෂ මාධ්‍ය සාකච්ජාවකදී කියා ඇති පරිදි, ගෝටාට ඕනෑම හදිසියකදී රනිල් රාජපක්ෂ අගමැතිකමින් ඉවත් කිරීමට බලය තමා අත තබා ගැනීම අවශ්‍යය. ඒ ඔහු තනි මංත්‍රීවරයකු වන නිසාත් ආණ්ඩුවේ බහුතරය ඕනෑම අවස්ථාවක ඔහුට අහිමිවිය හැකි නිසාය.

ගෝටාගේ ඊළඟ අගමැති..

එවැනි තත්වයක් ඇති වුවහොත් දූෂණයෙන් කෙළ පැමිණි රාජපක්ෂ පවුලටම යළි අගමැතිකම ලබා දීමට ඉඩ තිබේ. එවිට මූල්‍ය ආධාරවලට අබසරණ වනු ඇත. රනිල් රාජපක්ෂ පමනක් නොව වෙනත් ඕනෑම රාජපක්ෂ කෙනෙකු අගමැතිවීමේ ඉඩ කඩ නිසාම දූෂණ විරෝධී පියවර පුස්සක් බවට පත් වෙයි.

ටිරාන් අලස් නම් දූෂිතයා..

තවත් අයෙක් ගැන බලමු. රනිල් රාජපක්ෂගේ පොලිස් ඇමැති ටිරාන් අලස්ය. මෙම පොලිස් ඇමැති වරක් රාජපක්ෂලා එල්ටීටීඊයට මුදල් දුන් බවට ප්‍රසිද්ධියේ චෝදනාවක් කළේය. ඒ ඔහුගේ සහජාත මිතුරකු වූ මංගල සමරවීර පසෙකින් ඇතිවය. තවමත් එම වීඩියෝව අන්තර් ජාලයේ තිබේ. ඒ පුද්ගලයා අන් කිසිවකු නොව එල්ටීටීඊයට මුදල් නොව බත් පිඩක් දුන් ජනයා පවා ඝාතනය කළ නැත්නම් දශක ගණන් සිරගත කළ රටක, රාජපක්ෂවරුන් එල්ටිටීඊයට මුදල් දුන් බවට තමා සාක්ෂියක් වශයෙන් ඇතිව චෝදනා කළ ටිරාන් අලස් ය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති රටක නම් එක්කෝ බොරු චෝදනා කළ බවට ටිරාන් අලස් සිර ගත විය යුතුය. නැත්නම් ටිරාන් අලස්ගේ එම චෝදනාව අනුව රාජපක්ෂලා සිරගතව සිටිය යුතුය.

මෙය මහා පරිමාණ දූෂණයකි. මන්ද යත් එලෙස එල්ටීටීඊයට ටිරාන් අලස් ගෙන ගොස් දෙන ලද්දේ මෙරට මහජනයාගේ අරමුදල් නිසාය.

ඊළඟට ටිරාන් අලස් සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් වී සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකරදීම සඳහා මහා භාන්ඩාගාරයෙන් ‘රාඩා’ආයතනය වෙත නිකුත් කළ රුපියල් කෝටි 17 කට ආසන්න මුදලකින් එකදු හෝ නිවසක් ඉදිනොකර එම මුදල් අවභාවිතා කළ බවට මහාධිකරණයේ අධි චෝදනා ලැබ සිටි පුද්ගලයෙකි. එම නඩුවෙන් ඔහු නිදහස් වූයේ නඩුව විභාග කිරීමෙන් නොව ගෝටාබය බලයට පැමිණීමෙන් පසු නීතිපතිවරයා විසින් නඩුව ඉදිරියට ගෙන නොයන බවට අධිකරණයට දැනුම් දුන් නිසා ය.

කප්පම්කාර ඇමැති ප්‍රසන්න..

තව දුරට බලමු.

රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ තවත් ප්‍රබල ඇමැතියකු වන්නේ පමණක් නොව රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ද වන්නේ අධිකරණයෙන් වංචාකාරයකු ලෙස තීරණය වූ හොරෙකි. රුපියල් මිලියන 64 ක් වංචා කළ බවට අධිකරණය තීන්දු කළ ඒ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයකු ලෙස සිටීම ගැන මූල්‍ය අරමුදල කුමක් සිතනු ඇත්ද?

කුඩු ලන්සා..

තව දුරටත් බලමු.

රනිල් රාජපක්ෂ පසුගියදා රටේ දුගීබව විසඳීමට කමිටුවක් පත් කළේය. එහි ප්‍රධානියා කවරකු යැයි ඔබ දන්නවාද? මීගමුවේ මාධ්‍යවේදියකුට පහර දුන් බවට චෝදනා ලද එමෙන්ම ‘කුඩු ලන්සා’ යන නමින් කුප්‍රසිද්ධ බැසිල් රාජපක්ෂවාදී නිමල් ලන්සාය.

ඔහුගේ නිවස පරීක්ෂා කිරීමට මත්ද්‍රව්‍ය නාශක පොලිසිය කඩා වැදුණූ අවස්ථාවෙහි, ඔහු බේරා ගැනිමට ඊටත් වඩා දූෂිතයකු වන මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයකින් ගියේ බඩු අසුවීමට පෙර ඔහු බේරා ගැනීම බවට කටකතා පැතිර ගියේය. නැත්නම් මහින්ද රාජපක්ෂ තකහනියේ එහි දිව ගියේ මන්ද?

නිමල් ලන්සා ගේ කැරැට්ටුව මීගමුවේ සිවිල් ක්‍රියාකාරීහු දනිති. දැන් කුලියට ගිය අගමැතිගේ කමිටුවක ප්‍රධානියා ඔහුය.

බදු හොරා ධම්මික..

තවත් බලමු.

රනිල් රාජපක්ෂගේ තවත් ඇමැතියකු වන්නේ මංත්‍රීකම ලැබීමට දින දහයක් යන තුරුම කෝටි ගණන් බදු ගෙවීම පැහැර හරින ලද ජාවාරම් කාරයෙකි. කැසිනෝ කාරයෙකි. ඔහු 2015 වසරේ සිට ගෙවිය යුතුව තිබූ රුපියල් කෝටි 115 ක් ගෙවා තිබුණේ නැත. ඒ ඔහු මෙරට ධනවත්ම ජාවාරම්කරු ලෙස ප්‍රසිද්ධියටද පත්ව සිටියදී ය. තමා බැසිල් රාජපක්ෂ වෙනුවට පාර්ලිමේන්තුවට පත්කරන බව තහවුරු වන තුරු ඔහු එම දැවැන්ත මුදල ගෙවූයේ නැත.

දැන් ආයෝජන ප්‍රවර්ධන ඇමැති වන්නේ බදු වංචාකාරයකු වූ මෙම ජාවාරම්කාර ධම්මික පෙරේරාය. අපනයන බාර ඇමැති ද ඔහුය. ඔහු ප්‍රධානත්වය දැරූ, තවමත් එම කොටස් හිමි සමාගම් ගණනාවක්ම යෙදී සිටින්නේ අපනයන වෙළඳාමෙහිය.

මෙය දූෂණයක් නොවන්නේ නම් කුමක්ද?

දූෂණ ගුහාවකට මූල්‍ය ආධාර දෙන්නේ කව්ද?

රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව දූෂණ ගුහාවකි. එවැනි දූෂණ ගුහාවකට මූල්‍ය ආධාර දීමට කිසිදු රටක් හෝ ආයතනයක් හෝ සූදානම් නොවීම පුදුමයට කරුණක් නොවේ.

අන්තර් ජාතික ප්‍රජාව ඉල්ලා සිටින දූෂණ වැළැක්වීමේ පියවර පටන් ගත යුත්තේ දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති සහ දූෂිතයින් බවට සනාථ වී ඇති රනිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ හොරු රැල ආණ්ඩුවෙන් ඉවත් වීමෙනි.

Archive

Latest news

Related news