Tuesday, April 23, 2024

“09දා සහ ඉන්පසු ප්‍රචණ්ඩත්වයන් ගැන යැයි වග විභාගයක් නැති පොලිස් අත්අඩංඟුවට ගැනීම් බරපතල දෙස් විදෙස් ප්‍රතිවිපාක ඇති කරාවි” – නීතිඥ සංගමය

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යවන ශ්‍රී ලංකා නීතීඥ සංගමය, 2022 මැයි 9 වැනි දින සහ ඉන් පසුව ඇති වූ සිද්ධීන්වලින් පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය විසින් නිසි ක්‍රියා පරිපාටියකින් තොරව විශම ලෙස ලෙස අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ප්‍රශ්නය මතු කරයි.

මෙම ලිපිය යවා ඇත්තේ ජූනි 02 දිනය.

ලිපිය:

සී.ඩී. වික්‍රමරත්න,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 1.

හිතවත් වික්‍රමරත්න මැතිතුමනි,

පොලිසිය විසින් වගවිභාගයක් නැතිව අත්අඩංගුවට ගන්නේ යැයි කැරෙන චෝදනා පිළිබඳව.

2022 මැයි 9 වැනි දින සහ ඉන් පසුව ඇති වූ සිදුවීම්වලින් පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළව පොලිසිය විසින් වගවිභාගයක් නැතිව  අත්අඩංගුවට ගත් අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) සාමාජිකයින් අපගේ අවධානය යොමු කර ඇත.

රට පුරා සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී සහ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුවේ පක්ෂග්‍රාහීභාවය පිළිබඳව ඔවුන් දැඩි අවධානය යොමුකර තිබේ. බොහෝ පොලිස් ස්ථාන භාර නිලධාරීන්ගේ දේශපාලන පක්ෂග්‍රාහීභාවය පිළිබඳව ඔබ විසින් කරන ලද ප්‍රකාශයන් සහ ඔවුන් තෝරා ගත් ආකාරය සම්බන්ධයෙන් මෑත කාලීන හෙළිදරව් කිරීම් හේතුවෙන් මෙම චෝදනාවල බරපතලකම තවත් වැඩි වී තිබේ.

සාමාජිකයින් විසින් චෝදනා කරන ලද පක්ෂග්‍රාහී අවස්ථා අතර:

අ) සැකකරුවන් අපරාධය සිදු වූ ස්ථානයේ නොසිටි නමුත් ඒ වන විට වෙනත් ස්ථානයක සිටි බවට වන ප්‍රකාශයන් සත්‍යාපනය නොකර අත්අඩංගුවට ගැනීම්;

ආ) කිසිදු විශ්වසනීය තොරතුරු නොමැතිව, නමුත් දේශපාලනඥයන් ඇතුළු වෙනත් සම්බන්ධ දක්වන පාර්ශ්වයන් විසින් සපයනු ලබන ලැයිස්තු මත පදනම්ව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම;

ඇ) 2022 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ රජයට එරෙහිව සාමකාමී විරෝධතාවලට පුද්ගලයන් සහභාගී වූ පදනම මත පමණක් අත්අඩංගුවට ගැනීම්;

ඈ) යම් යම් පුද්ගලයන්ට එරෙහිව කිසිදු සාක්ෂියකින් තොරවල හුදෙක් එය අවසන් වන තෙක් ඔවුන් රිමාන්ඩ් භාරයේ තැබීමේ අරමුණින් හඳුනා ගැනීමේ පෙරට්ටු සඳහා වන ඉල්ලුම් කිරීම;

e) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට පෙර සැකකරුවන් ඡායාරූපගත කිරීම නිසා එවැනි පෙරට්පෙටු වලට පෙර  සාක්ෂිකරුවන්ට එම ඡායාරූප පෙන්වන්නේද යන සැකය  ඇති කරයි

f) පුද්ගලයන් රිමාන්ඩ් භාරයේ තබා ගැනීම සඳහා දැනට අවලංගු වී ඇති හදිසි නීති රෙගුලාසි අසීමිත ලෙස භාවිතා කිරීම;

පොලිස් පරීක්ෂණ ස්වාධීන හා අපක්ෂපාතී විය යුතු අතර නීති විරෝධී ඇඟිලි ගැසීම්වලින් තොර විය යුතු බව අප අවධාරණය කළ යුතු නැත. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට එරෙහි පක්ෂග්‍රාහී චෝදනා මහජන විශ්වාසය බරපතල ලෙස ගිලිහී යාමට තුඩු දෙන අතර එමගින් රටේ නීතිය හා සාමය නරක අතට හැරෙනු ඇත. එවැනි චෝදනා රටේ මානව හිමිකම් තත්ත්වය කෙරෙහි ද බලපානු ඇති අතර ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ගවලට බෙහෙවින් බලපාන වෙනත් ප්‍රතිවිපාකවලට ද තුඩු දිය හැකිය.

ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙසත්, සියලුම විමර්ශන නීතියේ පරාමිතීන් තුළ සිදු වන බවටත් ස්වාධීනව සහ අපක්ෂපාතීව සිදු වන බවටත් සහතික වන ලෙස ඔබේ යටත් නිලධාරීන්ට වහාම උපදෙස් දීමට කඩිනම් පියවර ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ඔබට ස්තුතියි,
ඔබේම විශ්වාසි

සාලිය පීරිස්. සභාපති, BASL

ඉසුරු බාලපටබැඳි, ලේකම්, BASL

( ඉංග්‍රිසි බසින් කරන ලද ප්‍රකාශනයේ සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news