Tuesday, July 16, 2024

ගෝටා ගෝ ගමට පහර දීම ගැන මානව හිමිකම් කොමිසමේ විමර්ශනය: ප්‍රහාරය නොවැළැක්වීම ගැන ඩීඅයිජී දේශබන්දු වගකිය යුතුයි – තරුණ ජනමාධ්‍යවේදීයෝ

ඡාායරූපය: ප්‍රහාරයට සූදානම් වන පා.මත සනත් නිශාන්ත සමඟ දේශබන්දු තෙන්නකෝන්.

ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට පහරදීම සැලසුම් සහගත ක්‍රියාවක් බවත්, සාමකාමී අරගලයට පහර දීම සඳහා ආණ්ඩුවට පොලිසිය සහාය දැක්වූ බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී ප්‍රකාශ කළේය.

ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පවත්වන විමර්ශනයේ පැමිණිලිකරුවන් ලෙස අද එම කොමිසම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කැඳවා තිබිණි.

එම කැඳවීම අනුව නීතිඥ නුවන් බෝපගේ සහ නීතිඥ ඩී එම් දිසානායක මහත්වරුන් සමඟ සංගමයේ සාමාජිකයන් වන තරිඳු ජයවර්ධන, ශාලික විමලසේන සහ එම් එෆ් එම් ෆසීර් පෙනී සිටි අතර නිරීක්ෂකයකු ලෙස මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මහතාද පැමිණ සිටියේය.

මානව හිමිකම් කොමිසමේ සභාපති, විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය ඉදිරියේ සාක්කි විභාගය පැවති අතර කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ සුලාරි ලියනගම, නියෝජ්‍ය අධ්‍යක්ෂ සුමනලාල් වීරසිංහ සහ විමර්ශන නිලධාරීන් පිරිසක් සාක්කි සටහන් කර ගැනීමට සහ ප්‍රශ්න කිරීමට සම්බන්ධ වී සිටියහ.

තරිඳු ජයවර්ධන

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට දිවුරුම්පිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොමිසම දැනුම් දුන් අතර ඒ අනුව සංගමය වෙනුවෙන් තරිඳු ජයවර්ධන දිවුරුම්පිට මුලින්ම සාක්කි ලබා දුන්නේය.

ආණ්ඩුව හිතාමතා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීමට උත්සාහ දරණ බවත්, විරෝධතා සජීවීව විකාශය කළ සිරස රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස පොලිස්පතිවරවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් ප්‍රකාශ කළ ඔහු එම ලිපිය සලකුණ කර මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළේය.

ගාලුමුවදොරට පහරදීමේ සැලසුම ගැන මීට පෙරම තම සංගමය මානව හිමිකම් කොමිසම දැනුම්වත් කළ බවත්, මර්දනය සම්බන්ධ සිදුවීම්වලට එරෙහිව කළ පැමිණිලි පොලිසිය විමර්ශනය නොකළ බවත් සංගමය ප්‍රකාශ කළේට.

මෙම සිදුවීම වන අවස්ථාව වන විට කැරලි මර්දනය තිබුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ බවත්, ජල ප්‍රහාරක රථ ආදිය යොදවන්නේ නම් ඊට පෙර තමාගෙන් අවසර ගන්නා ලෙස තෙන්නකෝන් මහතා මැයි 03 ලිඛිත උපදෙසක් ලබා දී ඇති බවත්, තෙන්නකෝන් මහතා විසින් මැයි 07 පොලිස්පතිට යැවූ ලිපියක කඳුළු ගෑස් ආදි භාවිත කිරීමට පෙර තමා දැනුම්වත් කළ යුතු බවට සඳහන් කර ඇති බවත්, ඒ අනුව අරගලයට පහරදීම නැවැත්වීමට දේශබන්දු තෙන්නකෝන්ට වගකීමක් සහ හැකියාවක් තිබූ බවත් අදාල ලේඛන ඉදිරිපත් කරමින් සංගමය සාක්කි ලබා දුන්නේය.

මෙම පහරදීමට පෙර එවැනි පහරදීමක් වන බව පොලිසිය දැන සිටි බවට සහ ඒ සම්බන්ධයෙන් තම සංගමය අදාල ආයතන දැනුම්වත් කළ බව අදාල සාක්කි ඉදිරිපත් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

මෙම සිදුවීමට ජනාධිපති, ආරක්ෂක ලේකම්, අගමැති, ඇමැතිවරු කිහිප දෙනෙක්, පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් සෘජුව වගකිව යුතු බව සාක්කි ලබා දෙමින් ඔවුන් ප්‍රකාශ කලේය.

පහරදීමට අදාලව සහ පොලිසිය පහරදීමට ඉඩ හැරීමට අදාලව වීඩියෝ සාක්කිද එම සංගමය සලකුණු කරමින් ඉදිරිපත් කළේය.

අනතුරුව නීතිඥ නුවන් බෝපගේ මහතා දිවුරුම්පිට සාක්කි ලබා දුන්නේය. ගෝඨාගෝගමට පහරදෙන ආරංචියට තමා සහ නීතිඥ කණ්ඩායමක් එම ස්ථානයට ගිය බවත්, මයිනාගෝගමට පහරදී එන පිරිස නතර කිරීහට හැකියාව තිබියදී පොලිසිය එය නතර කිරීමට පියවර නොගත් බවත්, පොලිසිය බලා සිටියදී පහරදීම් සිදුවූ බවත් නුවන් බෝපගේ මහතා ප්‍රකාශ කළේය.

පොලිසිය පහර දුන් පුද්ගලයන්ට ඒමට ඉඩ හැර ඔවුන් ගාලුමුවදොරට පැමිණ පහර දෙමින් සිටියදී, පහර කන පිරිසටද වදින ලෙස පොලිසිය ජල සහ කඳුළුගෑස් ප්‍රකාර එල්ල කළ බව කී නීතිඥවරයා තමාටද කඳුළුගෑස් වැදුණු බව කීවේය. ඊට අදාල වීඩියෝ සාක්කිද ඉදිරිපත් කළේය.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ ගෝඨාගෝගම සහ මයිනාගෝගම 20 දෙනකුට ආසන්න පිරිසකගේ දිවුරුම් ප්‍රකාශ ද නුවන් බෝපගේ මහතා කොමිසමට ඉදිරිපත් කළේය.

සිදුවීමට අදාලව සහ පැමිණිල්ලට අදාලව කොමිසම දීර්ඝ ලෙස ප්‍රශ්න කර සාක්කි ලබා ගත් අතර ප්‍රකාශවල සඳහන් වූ කාරණා දෙකක් ගැන වැඩිදුර සාක්කි ඉදිරිපත් කරන ලෙස සභාපතිවරිය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට දැනුම් දුන්නේය.

විමර්ශනයේ සාක්කි විභාගය පැය දෙක හමාරක පමණ කාලයක් සිදු විය.

(තරිඳු ජයර්ධනගේ  සමාජ ජාල සටහනකි.)

Archive

Latest news

Related news