Friday, April 26, 2024

මානව හිමිකම් කොමිසම නැති බලයක් ගෙන නීතිඥ සේනක පෙරේරාගෙන් ප්‍රශ්ණ කරයි!

ඡායාරූපය: නීතිඥ සේනක පෙරේරා.

පසුගිය 09වන දින කොළඹ ගාලු මුව දොර ගෝටා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරයට සිරකරුවන් යොදා ගෙන ඇතැයි සැකයක් මතුවන බවට සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්, මානව හිමිකම් කොමිසම ඔහුගෙන් කිසිදු පෙර දැනුම් දීමක් නොකර ප්‍රශ්ණ කර තිබේ.

තවද මෙම ප්‍රශ්ණ කිරීමට මානව හිමිකම් කොමිසමට සම්බන්ධයක් නැති ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද ද සම්බන්ධ වී තිබේ.

මෙම ප්‍රශ්ණ කිරීමේදී සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව ලියා පදිංචි කළ එකක්ද යනාදී ප්‍රශ්ණ පවා විමසා තිබේ. පුද්ගලික රෑපවාහිනී නාලිකාවක  ප්‍රවෘත්ති විකාශයක දී සේනක පෙරේරා එම සිරකරු ප්‍රශ්ණය ගැන කතා කරන කොටස ද මානව හිමිකම් කොමිසම මෙම පර්‍රක්ෂනය කිරීමට යොදා ගෙන තිබේ.

මානව හිමිකම් කොමිසමට බලය ඇත්තේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පමණක් බවත්, සිවිල් සංවිධාන ගැන සොයා බැලීමට එවට අයිතියක් නැති බවත් පවසන නීතිඥ සේනක පෙරේරා මෙම ප්‍රශ්ණ කිරීමට හේතුව පැහැදිළී කරන ලෙස දන්වා මානව හිමිකම් කොමිසමෙහි සභාපතිනිය වෙත ලිපියක් යවා තිබේ.

එම ලිපිය පහත පළවේ.

නීතිඥ සේනක පෙරේරා
සභාපති, සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව

සභාපතිනිය,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

පැමිණිලි අංක HRC/1401/22,HRC/SUO/MOTU/07/22 සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම.

සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන මා හට ඉහත පැමිණිල්ලේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් පහත කරුණු පැහැදිලි කර ගැනීම අත්‍යාවශ්‍ය යැයි සිතමි.

01. ඉහත විමර්ශනය මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ පැමිණිල්ලකට අදාල විමර්ශනයක් ද ? එසේ නැතහොත් මානව හිමිකම් කොමිසමේ suo moto විමර්ශනයක් ද ?

02. අප ඉහත කාරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින් මෙම විමර්ශන කටයුතු සදහා අප සංවිධානය අදාල පාර්ශවයක් වූයේ කුමන පදනමින් ද ?

03. මෙතෙක් පැවැති විමර්ශන කටයුතු වලදී මෙය අප සංවිධායට එරෙහි විමර්ශනයක් බවට හැගී ගිය බැවින්)ුමදඑත මානව හිමිකම් කොමිෂන් සභාව මේ වන විට පෞද්ගලික පාර්ශවයන්ට එරෙහිව මෙවැනි විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ ද ? අප සංවිධානයට එරෙහිව එවැනි පැමිණිල්ලක් තිබේද ?

04. මානව හිමිකම් කොමිසම පෞද්ගලික පාර්ශවයන් මේ අකාරයෙන් කැදවා විමර්ශන සිදුකරන්නේ නම් ඉදිරියේදී මේ හා සමාන පැමිණිලි වලදී අපට මෙසේ පෞද්ගලික පාර්ශවයන් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී ද ?

05. මෙම විමර්ශනය සදහා සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති වශයෙන් මා කැදවා මෙවැනි පරීක්ෂණයක් සම්බන්ධයෙන් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දිවුරුම් පිට සාක්ෂි ලබා ගැනීමක් සිදු කලේ කුමන පදනමකින් ද ? යම් හෙයකින් එය suo moto පරීක්ෂණයක් නම් එවැනි අවස්තාවක ප්‍රශ්න අසමින් දිවුරුම් මත ප්‍රකාශ සටහන් කර ගැනීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ කුමන වගන්තියකට අනුව සිදු කලේද ?

06. මෙම විමර්ශන කටයුතු සදහා ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා තොරාගත් පදනම කුමක් ද ? සහ එය සිදුකලේ පනතේ කුමන වගන්තිය මතද ?

මෙම ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සිදුකරන පරීක්ෂණවලට සහයෝගය දැක්වීමේ පදනමින් මෙම කරුණු දැන ගැනීමට මා බලාපොරොත්තු වන අතර ම ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැදී සිටින ස්වාධීන කොමිෂන් සභාවක් වශයෙන් මේ සම්බන්ධව  ඔබ දරන ස්ථාවරය පොදු මහජන වැදගත් කමකින් යුක්ත බැවින් ඔබගේ පැහැදිලි කිරීම අපෙක්ෂා කරමි. තවද ඔබගේ ස්ථාවරය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අවධානයට යොමු කිරීමට මා අදහස් කර සිටිමි.

ස්තුතියි
මෙයට

නීතිඥ සේනක පෙරේරා

Archive

Latest news

Related news