Saturday, April 20, 2024

ප්‍රචණ්ඩ 09දා: දේශබන්දු ගෙදර නොයවා කරන පරීක්ෂන බොරුවක් – රජිත් කීර්ති තෙන්නකෝන්

ගෝඨා go ගමට සහ, මයිනාගෝගම පරිශ්‍රයන් ට මැර කණ්ඩායම් පහරදීමෙන් ආරම්භවූ ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට ද සෘජු චෝදනා එල්ල වී ඇත. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ද නියෝග නිකුත් වී තිබියදී ඔහු සේවයේ නියුතුව සිටිය දී සිදු කෙරෙන පරීක්ෂණ අපක්ෂපාතී විනිවිද පෙනෙන සහ සාධාරණය නොවන බවත් එහෙයින් ඔහුගේ වැඩ තහනමකට ලක් කොට විනය පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින්  රාජ්‍ය සේවා කොමිෂන් සභාව සභාපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

එය පහත පළවේ.

සභාපති, රාජ්‍ය සේවා කොමිෂන් සභාව

මහත්මයාණෙනි,

මැයි 9 සිදු වූ ප්‍රහාරය සහ ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපක්ෂපාතී වීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි

පසුගිය දිනවල රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විශ්වාසනීය පරීක්ෂණ පවත්වා අදාල චූදිතයින්ට දඬුවම් පැමිණවීමේ වගකීම රටේ ව්‍යවස්ථාපති ආයතන මගින් සිදු කළ යුතුව ඇත.

රට පුරා පැතිරුණු ප්‍රචණ්ඩවත්වය 2022 මැයි 09 දින පෙරවරුවේ ගෝඨා go ගමට සහ, මයිනාගෝගම පරිශ්‍රයන් ට මැර කණ්ඩායම් පහරදීමෙන් ආරම්භ විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට ද සෘජු චෝදනා එල්ල වී ඇත. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ද නියෝග නිකුත් වී තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සේවයේ නියුතුව සිටිය දී සිදු කෙරෙන පරීක්ෂණ අපක්ෂපාතී විනිවිද පෙනෙන සහ සාධාරණය නොවේ. එහෙයින් ඔහුගේ වැඩ තහනමකට ලක් කොට විනය පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමි. එසේ නොවන්නේ නම්, අදාළ පරීක්ෂණ කිසිවක් සම්බන්ධ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව ද දන්වා සිටිනු කැමැත්තෙමි.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලද බලතල අනුව පොලිස් නිලධරයන් පත් කිරීම්, උසස් කිරීම් හා මාරු කිරීම් හා විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම් සම්බන්ධයෙන් සියලු බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාල වේ.

ගෝඨාගෝගම ආශ්‍රිත සංවාදය දෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව අවධානය යොමු කර ඇති බව මාගේ විශ්වාසය යි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හැර රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් කොමිෂන් සභාවන් හි ක්‍රියාකාරකම් පිළිබඳ තරුණ ප්‍රජාව තුල ඇති අවිශ්වාසය, සැකය සහ කෝපය ඔබ ආයතනය, ඔබගේ කොමිෂන් සභා සමාජිකයින්ට දැනී ඇතැයි මම විශ්වාස කරමි.

වචනයෙන් නොව, ක්‍රියාවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලය යුක්තිය, සාධාරණත්වය උදේසා භාවිත කරන බව පෙන්වීමේ අවස්ථාව පැමිණ ඇත. ඔබ වෙත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පැවරී ඇති වගකීම ඉටු නොකරන්නේ නම් ඔබ ආයතනය ද, එහි සභාපතිවරයා සහ කොමිෂන් සභා ද ඉතිහාසයේ අපකීර්තිමත්ම අදුරු මොහොතක තම වගකීම ඉටු නොකළ පිරිසක් ලෙස ඉතිහාසය ගත වනු ඇත.

මේ සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයට ලක්කොට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම තවදුරටත් සමනය නොවූ මහජන විරෝධතා නැවත නැවතත් ප්‍රචණ්ඩ ලෙස නැඟී සිටීම දායක වීමකි. ඒය වැළැක්වීම සඳහා වන ඔබගේ වගකීම පැහැර හැරීමකි.

ප්‍රහාරය සිදු කර ඇදට දින 10 ක් ගතවී ඇත. මේ දක්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැති බැවින් මෙය විධිමත් පැමිණිල්ලක්/ආයාචනයක්/සිහිකැඳවීමක් ලෙස සලකා කටයුතු කරන මෙන් ඉල්ලමි.

ස්තුතියි,

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

1. ශ්‍රී ලංකා පොලිස් කොමිසම
2. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
3. පොලිස්පතිතුමා
4. සියළුම ජනමාධ්‍ය

Archive

Latest news

Related news