Thursday, April 25, 2024

ගෝටා ගෝ ගමට පහර දීම සංවිධානාත්මක අපරාධයක්; වහාම නිසි පරීක්ෂනයක් කරන්න – තරුණ ජනමාධ්‍යවේදීන් නීතිපතිගෙන් ඉල්ලයි!

ගෝටා ගෝ ගමට පහර දීම සංවිධානාත්මක අපරාධයක් බවත්  වහාම නිසි පරීක්ෂනයක් කළ යුතු බවත් දන්වමින් තරුණ ජනමාධ්‍යවෙිදීන්ගේ සංගමය අදාළ බලධාරීන් වෙත ඊයේ ලිපියක් යවන ලදී. එය පහත පළවේ.

වෙත –
1) සංජය රාජරත්නම් මහතා, නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ.
2) ස්ථානාධිපති, පොලිස් ස්ථානය කොටුව.
3) සභාපතිනි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
4) ජගත් අල්විස්, ලේකම්, නීතිය හා මහජන සාමය අමාත්‍යංශය.

පිටපත් –
1) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා,  ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය
2) ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුතුමන්ලා
3) ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව
4) ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව

පැමිණිලිකරු – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

වගඋත්තරකරුවෝ –
1) ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති, ජනාධිපති මන්දිරය, කොළඹ.
2) මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අග්‍රාමාත්‍ය
3) කමල් ගුණරත්න, ආරක්ෂක ලේකම්.
4) මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු
5) මන්ත්‍රී සනත් නිශාන්ත
6) මන්ත්‍රී ප්‍රසන්න රණතුංග
7) මහින්ද කහඳගම
8) මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන
9) චන්දන වික්‍රමරත්න, පොලිස්පති.
10) දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
11) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර
12) සහකාර පොලිස් අධිකාරී ජයසේකර
13) කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති
14) අරලියගහ මැදුරට පැමිණිලි සියලුම දේශපාලනඥයන්

1) ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන බරපතල දේශපාලන සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් සෘජුව වගකිව යුතු  ගෝඨාභය රාජපක්ෂ හට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් රට පුරා මාස දෙකක පමණ කාලයක් තිස්සේ පුරවැසියන් විසින් කරගෙන ගිය සාමකාමී අරගලය මර්දනය ගත් ක්‍රියාමාර්ග පසුගිය මාස දෙකක කාලය ඇතුළතදී අපි නිරීක්ෂණය කළෙමු.
ඒ සම්බන්ධයෙන් අවස්ථානුකූලව පොලිස්පතිවරයාට සහ පොලිසිවලට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අපි ඇතුළු විවිධ පාර්ශ්ව පැමිණිලි කළෙමු.

2) කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිසියට කළ පැමිණිලි සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත්තේ සහ මර්දනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ මනුෂ්‍ය ඝාතන සිදු කර, ගිනි තැබීම් සිදු කර රට අර්බුදකාරී තත්ත්වයකට පත් කිරීමට බව අපි විශ්වාස කරමු.

3) ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී විරෝධතා පවතිද්දී, අපරාධයක් සිදුවන බවට දැන දැනම සහ එවැනි අපරාධ සිදු කිරීම සඳහා ඉහත සඳහන් සියලු වගඋත්තරකරුවන් හෝ වගඋත්තරකරුවන්ගෙන් කිහිප දෙනකු තනි තනිව සහ/හෝ පොදු චේතනාවෙන් කණ්ඩායමක් වශයෙන් මුදල්, අරක්කු සහ වෙනත් වරප්‍රසාද ලබාදී විශාල පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවනු ලැබීය.

4) එලෙස කැඳවීමෙන් පසු ඔවුන් තුල වෛරය, ක්‍රෝදය සහ අනාදරය ඇතිවන අයුරින් ඉහත සඳහන් වගඋත්තරකරුවන්ගෙන් දෙවැනි වගඋත්තරකරු ඇතුළු පිරිසක් දේශන/කතා පැවැත්වූහ.

5) එලෙස පවත්වා ඔවුන් විසින් කැඳවාගෙන ආ පිරිස ප්‍රකෝප කර මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදීම සඳහා ඉහත සඳහන් වගඋත්තරකරුවන්ගෙන් පිරිසක් ඔවුන් මෙහෙයවනු ලැබීය.

6) ඉහත නම වැනි සහ 10 වැනි වගඋත්තරකරු ඇතුළු පිරිසක් මෙම ක්‍රියාව නිසා අපරාධ සිදුවිය හැකි බව දැන දැනම එය සිදු කිරීමට ඉඩ හැර සිටියහ.

7) මෙවැනි අනතුරක් සිදුවිය හැකි බවට විවිධ පාර්ශ්වයන් 09 වැනි සහ 10 වැනි වගඋත්තරකරුවන් ඇතුළු පොලිසියේ පිරිසකට දැනුම්දී තිබුණු අතර ඔවුන් මේ සම්බන්ධයෙන් ඇතැම් පැමිණිලි බාර ගැනීම ප්‍රතික්ෂේප කළහ. එලෙස කටයුතු කරමින් අපරාධ සිදු කිරීමට ආධාර අනුබල ලබාදීම සහ/හෝ මෙකී අපරාධය සිදුවීමට ඉඩ හැරීමක් සිදු කරන ලදී.

8) ඒ අනුව ඉහත වගඋත්තරකරුවන්ගෙන් ඇතැමෙකුගේ සහභාගීත්වයෙන් සහ සෙසු වගඋත්තරකරුවන්ගේ අනුදැනුම මත මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදී සාමකාමී විරෝධතාකරුවන්ට තුවාල සිදුකරන ලද අතර  විරෝධතාකරුවන් සතු දේපලවලට ගිනිතබා දැඩි අලාබ හානියක් සිදු කරන ලදී.

09) මෙලෙස සිදු කිරීමට සහායක් ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය යටතේ තිබූ කැරලි මර්දන ඒකකය දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණයට ලබා දුන් අතර දේශබන්දු තෙන්නකෝන් මෙම ප්‍රධාන සිදුවීමට දින දෙකකට පෙර මහින්ද රාජපක්ෂට සහය දැක්වීමට පැමිණි පිරිස් වෙත ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකරන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට සූම් ඔස්සේ උපදෙස් දුන් බවටද තොරතුරු වාර්තාවේ.

10)  ඉහත වගඋත්තරකරුවන්ගේ සාපරාධී ක්‍රියාකලාපය නිසා රට තුල අර්බුදකාරී වාතාවරණයක් ඇතිවූ අතර දේපොළ විශාල සංඛ්‍යාවකට හානි සිදුවූ අතර වාර්තාවන අන්දමට මේ වන විට අට දෙනෙකු මිය ගොස් තිබේ. 200කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

11) මේ සියලු තත්ත්වයන් ඇතිවූයේ ඉහත සඳහන් වගඋත්තරකරුවන් අත්තනෝමතිකව කටයුතු කිරීම සහ නොකර හැරීම නිසාය.

12) ඉහත සඳහන් වගඋත්තරකරුවන් තනි තනිව සහ/හෝ වෙන් වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය සමඟ කියැවියයුතු 102, 112, 113 අ, 147, 300, 296 සහ 418 යන වරදවල් සිදු කර ඇති බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි අවධාරණය කරමු.

13) පොදු චේතනාවක් අනුව කටයුතු කිරීම සහ/හෝ අයුතු ජනරාෂියක සාමාජිකයන් වීම නිසා ඉහත සඳහන් වගඋත්තරකරුවෝ සියලුම දෙනා මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, බරපතල තුවාල සිදු කිරීම, දේපොළවලට හානි සිදුකිරීම ඇතුළු බරපතල වැරදි රැසක් සිදු කර ඇති බව අපි අවධාරණය කරමු.

14) එම නිසා කඩිනම් විමර්ශනයක් කර ඉහත වගඋත්තරකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, නීතියේ රාමුව තුළ ඔවුන්ට එරෙහිව දඬුවම් පැමිණවීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

15) මෙම සිදුවීමේ සැකකරුවකු විය යුතු පොලිස්පතිවරයා මෙම විමර්ශන බාරදී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න යටතේ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න යනු මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයකු ලෙස දීර්ඝ කාලයක් සිටි පුද්ගලයෙකි. ඔහු මහින්ද රාජපක්ෂගේ හිතවතකු ලෙස ප්‍රකටය. එමෙන්ම 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු වර්තමාන පොලිස්පතිවරයා සීඅයිඩී අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකර ඉවත් කළ අතර සීඅයිඩියේ සිටි දක්ෂ නිලධාරීන් රැසක් මාරු කරන ලදි. ඉන් අනතුරුව බරපතල චෝදනා එල්ලවූ නිලධාරීන් රැසක් එම ආයතනයට පත් කරනු ලැබීය. එසේ තිබියදී පොලිස්පතිවරයා මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබුවේ විමර්ශන යට ගසා සැකකරුවන් බේරාගැනීමට ද බරපතල සැකයක් පවතී.

16) මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ යුත්තේ රටම පිළිගත් විශ්‍රාමික හෝ දැනට සේවයේ සිටින ස්වාධීන මණ්ඩලයක් යටතේ බව ද අපි අවධාරණය කරමු.

17) ගෝඨාගෝගමට පහරදීමට විරෝධය දක්වමින් රට පුරා මේ වන විට විරෝධතා/කෝලහාල තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර එකී විරෝධතාකරුවන් ගෝඨාගෝගම සිද්ධියේ වගඋත්තරකරුවන් ලුහුබඳිමින් ඔවුන් විසින්ම යුක්තිය ඉටු කර ගැනීමේ කාරණාව සඳහා මැදිහත්ව සිටින බව පෙනෙන්නට තිබේ. එකී තත්ත්වය සමනය කළ හැක්කේ නොපමාව ගෝඨාගෝගම මැර ප්‍රහාරයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නීති ප්‍රකාරව කටයුතු කිරීමෙන් පමණක් වන බව අපගේ විශ්වාසයයි. යම් හෙයකින් එකී වගඋත්තරකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාධ කිරීම මගින් රට පුරා පවතින නොසන්සුන්කාරී කෝලහාල තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ පවතින බව අපි අවධාරණය කර සිටිමු.

18) ඒ අනුව ඔබගෙන් ඉල්ලා සිටින්නේ ගෝඨාගෝගම මැර ප්‍රහාරයට වගකිවයුත්තන් නොපමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්, එකී සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර හැකි ඉක්මණින් නඩු කටයුතු ආරම්භ කර ප්‍රමාධයකින් තොරව වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසත්ය.

Archive

Latest news

Related news