Friday, April 26, 2024

අර්බුදය විසඳීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යෝජනා

1. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ඉවත් විය යුතුය.
2. ඔහු ඉවත් වීමත් සමග තාවකාලික ජනාධිපතිවරයෙකු පත් කරගත යුතු අතර මසකට පසු නව ජනාධිපතිවරයෙකු පත්වනු ඇත.
3. වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති හෙයින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ලේ සහභාගීත්වය සහිත තාවකාලික අන්තර්වාර ආණ්ඩුවක් ගොඩනගා ගත යුතුය. මෙම තාවකාලික පාලනයේ ආයු කාලය මාස හයකට සීමා විය යුතුය.
4. එම තාවකාලික අන්තර්වාර පාලනය යටතේ පළමු හා ප්‍රමුඛ කටයුත්ත ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන නව ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරණයකට යොමු කළ යුතුය.
5. නව ව්‍යවස්ථාව තුළ පත්කළ නියෝජිතයන් යලි කැඳවීමේ බලය (Right to Recall), නියෝජිත ආයතන විසින් ගනු ලබන තීරණ සහ සම්මත කරන අණ පනත් සමාලෝචනය කිරීමේ බලය (Judiciary Review), ජනමත විචාරන කැඳවීමේ බලය ජනතාවට ලබාදීමේ ප්‍රතිසංස්කරණ, ජාතිවාදය සහ ජාතික පීඩනය නීතිමය වශයෙන් අහෝසි කෙරෙන ප්‍රතිපාදන ආදිය අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු අතර අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, පොදු ප්‍රවාහනය, අවම වැටුප් හා සේවා කොන්දේසි, විශ්‍රාම වයසේ සමාජ ආරක්ෂණය, ජීවිතය පිලිබඳ අයිතිය ආදී අයිතීන් පුළුල් කිරීම හරහා ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටස වර්ධනය කළ යුතුය.
6. මහජන නියෝජිතයන් ජනතාවට ඉහලින් භුක්ති විඳින විශේෂ වරප්‍රසාද ඉවත් කර සමානාත්මතාවය ස්ථාපිත කිරීමට ව්‍යවස්ථානුකූල පියවර ගත යුතු අතර මැතිවරණ වලදී මුදල් වියදම් කිරීම පූර්ණ විඝණනයකට යටත් කර මැතිවරණ වියදම් නීතියෙන් සීමා කළ යුතුය. ඒ සඳහා මැතිවරණ නීතිය පූර්ණ වෙනසකට බඳුන් කළ යුතුය.
7. මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී දැනට ගාලුමුවදොර ඇතුළු අරගල බිම් වල සිටින ජනතාවගේ, ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන ජනතා සභා ඇතුළු මහජන සංවිධාන වල, වෘත්තීය සමිති – ගොවි සංවිධාන – ධීවර සංවිධාන ඇතුළු වැඩකරන ජනතාවගේ සංවිධාන වල, ශිෂ්‍ය ව්‍යාපාරය – තරුණ ව්‍යාපාරය ඇතුළු සංවිධානාත්මක මහජන ව්‍යාපාර වලද, වෘත්තිකයන් – කලාකරුවන් – මාධ්‍යවේදීන් ආදීන්ගේ අදහස් විමසීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගත යුතුය. ඒ සඳහා ප්‍රාදේශීය ඒකක සහ ක්ෂේත්‍ර නියෝජනයක් සහිත ජාතික මහජන කවුන්සිලයක් ගොඩ නැගීම අවශ්‍ය වේ. එම අදහස් මත සකස් කරන කෙටුම්පත මහජන මතය සඳහා විවෘත කර සංශෝධනය කළ යුතු අතර ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුත්තේ එම සංශෝධිත කෙටුම්පතයි.

එසේම තාවකාලික සම්මුති ආණ්ඩුවේ හදිසි ක්‍රියාමාර්ග ලෙස අවධාරනය කරනු ලබන්නේ පහත කරුණු 4ය.

1. සිදුව තිබෙන මහජන මුදල් වංචා කිරීම් සම්බන්ධ පූර්ණ හා පාරදෘශ්‍ය පරීක්ෂණයක් කිරීමට පූර්ණ බලැති කොමිෂන් සභාවක් පත් කර මහජන මුදල් අපහරණය කළ දේශපාලඥයන්, නිලධාරීන් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනාට දඬුවම් දී එම සොරාගත් මහජන මුදල් යලි සමාජ සන්තක කිරීම.
2. පසුගිය කාලය පුරා දේශපාලන අනුග්‍රහය මත බදු වංචා කරමින් සහ විවිධාකාරයේ අක්‍රමිකතා කරමින් ධනය ඉපැයූ ගජ මිතුරු ව්‍යාපාරික කල්ලිය පිලිබඳ විමර්ශනයක් සිදු කර එම මුදල් සියල්ල යලි පවරා ගැනීම. විශේෂයෙන් නොගෙවා පැහැර හරින ලද බදු මුදල් වහාම අය කර ගැනීම සඳහා විශේෂ අධිකරණ ක්‍රියාමාර්ගයක් නිර්මාණය කළ යුතුය.
3. රාජ්‍ය බදු ප්‍රතිපත්තිය පූර්ණ පරිවර්තනයකට බඳුන් කර සෘජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය කණපිට හැරවිය යුතු අතර ආදායම් බදු අය කිරීමේදී අනුක්‍රමික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුය.
4. වත්මන් ආර්ථික අර්බුදය ඇති වීමේදී අධික ලෙස ණය වීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය විශේෂ දායකත්වයක් දක්වා ඇති අතර අර්බුදය විසඳීම සඳහා අලුතින් ණය ලබා ගැනීමේ විනාශකාරී ප්‍රතිපත්තිය අත්හිටුවා පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු ක්‍රියාමාර්ග වලට යාම. ණය ලබා ගැනීමේදී සහ ජාත්‍යන්තර ආයතන වල සහය ලබා ගැනීමේදී 2012 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද උපමාන වලට අනුව කටයුතු කිරීම.

Archive

Latest news

Related news